- සමරිසි වීම මත කාන්තාවකට එරෙහිව පැවරූ නඩුව වත්තල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉවත දමයි!
- සමරිසිභාවය මානසික රෝගයක් නොවේ, අපරාධයක් ද නොවේ, අධිකරණය නිගමනය කරයි!
සමරිසි වීම මානසික රෝගයක් හෝ අපරාධ වරදක් නොවන බවට නිගමනය කරමින් කාන්තාවකට ඇගේ සමරිසිභාවයට එරෙහිව පොලීසිය විසින් පැවරූ නඩුවක් වත්තල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිශ්ප්‍රභා කර තිබේ.
සිදුවූයේ කුමක්ද?
22 හැවිරිදි සමරිසි කාන්තාවකට එරෙහිව වත්තල මහේස්ත්රාත් අධිකරණයේ මෝසමක් ගොනු කිරීමට කටයුතු කර තිබුනේ ඇගේ දෙමාපියන්ගේ සහාය ද ඇතිව වැලිසර මහබාගේ පොලීසිය විසිනි. මීට පාදක වූ සිදුවීම වූයේ මෙම කාන්තාව තමා සමරිසි බවත් තමාට පෙම්වතියක සිටින බවත් නිවසට හෙළිකිරීමත් සමඟ ඈට වධහිංසා පමුණුවා, සිරකර තැබීමට දෙමාපියන් කටයුතු කිරීමත්, ඈ ‘නිවැරදි කිරීමට’ හෙවත් විෂමලිංගිකත්වයට ‘පරිවර්තනය කිරීමට’ විවිධ පූජකයන් වෙත ඈ යොමුකර තිබීමත් ය.
වින්දිත කාන්තාවගේ ප්‍රේම සබඳතාව ‘මානසික රෝගයක්’ මත ඇතිවූවක් බවට ඒත්තු ගන්වමින් පැමිණිල්ලක් සිදුකරන ලෙස මහබාගේ පොලීසිය විසින් වින්දිත කාන්තාවගේ දෙමාපියන්ට උපදෙස් ලබා දී ඇති අතර, ඒ මත අධිකරණ නියෝගයක් ලබා ගෙන අධිකරණ වෛද්‍යවරයකු ලවා ඈ ශාරීරික හා මානසික පරීක්ෂා වෙත යොමු කිරීම පොලීසියේ අභිලාෂය වී ඇත. මෙය වැලිසර මහබාගේ පොලිස් ස්ථානාධිපතිගේ උපදෙස් මත සිදුව ඇති බව සඳහන්.
වින්දිත කාන්තාව සම්මුතිගත සමරිසි ප්‍රේම සබඳතාවක් පැවැත්වීම මත ඈට වධහිංසා පැමිණවීමට කටයුතු කළ දෙමාපියන් ට ඈ නිවැරදි කිරීමට අවශ්‍ය වී ඇත. තමා බලහත්කාරයෙන් නිවසේ සිරකර සිටි අතරවාරයේ වින්දිත කාන්තාව සිය මිතුරකුට ඊමේල් පණිවුඩයක් හරහා සිදුවීම දැනුම් දීමත් සමඟ වැලිසර මහබාගේ පොලීසියට සිදුකළ පැමිණිල්ලක් මත ඈ පොලිස් ස්ථානයට ගෙනවිත් ප්‍රශ්න කර ඇත. පොලීසිය විසින් මෙම වින්දිත කාන්තාවට තර්ජනය කර සමරිසි වීම මානසික රෝගයක් යැයි පවසා ඊට විරුද්ධව පැමිණිල්ලක් සිදුකරන ලෙස ඇගේ දෙමාපියන්ට උපදෙස් ලබා දුන් බවත්, ඇගේ සමරිසිභාවය ‘ඔප්පු කිරීමට’ සාක්ෂි ලෙස ඇගේ ජංගම දුරකතනය හා ලැප්ටොප් පරිගණකය ද පොලිස් භාරයට ගෙන ඇති බවත් සඳහන්.
ඉන් අනතුරුව වින්දිත කාන්තාවගේ දෙමාපියන් තම දියණියට එරෙහිව පොලීසියට පැමිණිල්ලක් කර සඳහන් කර තිබෙන්නේ ඇය සමරිසි ඇසුරක සිටින බවත් මානසික රෝගයකින් පෙළෙන බවත්, ඒ නිසා ඇයව මානසික වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත ඉදිරිපත් කළ යුතු බවත් ය. මීට අදාළව අධිකරණ නියෝගයක් ලබාගෙන නොතිබීම මත වින්දිත පාර්ශවය සිය විරෝධය පා ඇත.
වින්දිත කාන්තාවට එරෙහිව කිසිඳු සාක්ෂියක් හමු නොවීම මත, ඉන් සතියකට පසු පොලීසිය සියලු පාර්ශව නැවත පොලිස් ස්ථානයට කැඳවා ඈ අතින් වරදක් සිදු වූ බවට කිසිඳු සාක්ෂියක් නොමැති බව පවසමින් ඈ සතු පොලිස් භාරයට ගත් බඩු බාහිරාදිය නැවත ලබා දී ඇත. ඉන් අනතුරුව වින්දිත කාන්තාවගේ දෙමාපියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දේපළවල අයිතිය සම්බන්ධයෙන් තර්ක කර ඇති අතර, එවිට පොලීසිය ප්‍රකාශ කර තිබෙන්නේ මෙම ආරවුල මහේස්ත්‍රාත්වරයා විසින් විසඳා අධිකරණයට කරුණු ඉදිරිපත් කළ යුතු බවයි.
ඇගේ දෙමාපියන්ගේ සහාය ද ඇතිව මහබාගේ පොලීසිය විසින් වත්තල මහේස්ත්රාත් අධිකරණයේ මෝසමක් ගොනුකර ඇති අතර, එමඟින් පොලීසිය ඉල්ලා තිබෙන්නේ වින්දිත කාන්තාව ‘මානසික රෝගයකින්’ පෙළෙන බැවින් ඈ ප්‍රතිකාර වෙත යොමුකරන මෙන් තීන්දුවක් ලබා දෙන ලෙස ය.
ඈ ගුරුවරියක් ලු. සමලිංගික නිසා දරුවන් ‘වැරදි ක්‍රියා’ වලට පොළඹවා ගනී ලු – අමුතු දරු කැක්කුමක් ගහපු පොලීසිය
2022 මාර්තු 21 වන දින වත්තල මහේස්ත්රාත් අධිකරණයේ අතුරු මහේස්ත‍්‍රාත්වරයකු ඉදිරියේ නඩුව කැඳවන ලද අතර, වින්දිත කාන්තාව මානසික රෝගයකින් පෙළෙන බවත් සමලිංගිකත්වය හේතුවෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියකු (JMO) ලවා ඈ මනෝචිකිත්සාවකට ලක් කළ යුතු බවත් දෙමාපියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ. නිශ්චිත වරදක් හෝ වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා නීතිමය පදනමක් නොතිබුණද, වින්දිත කාන්තාව මීළඟ නඩු විභාගයට පෙර වෛද්‍ය පරීක්ෂාවක් සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත ඉදිරිපත් කරන ලෙස අතුරු මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබේ.
අතුරු මහේස්ත‍්‍රාත්වරයාගේ මෙම තීරණය වින්දිත කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් විසින් අභියෝගට ලක්කර ඇති අතර, ඊට එරෙහිව මීගමුව මහාධිකරණයට ප‍්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කර තිබේ. වින්දිත කාන්තාව ගේ නීතීඥයන් තර්ක කළේ අතුරු මහේස්ත‍්‍රාත්වරිය ඇයගේ තීරණයට එළඹ ඇත්තේ පැමිණිලිකරු විසින් ඉදිරිපත් කරන ලද කරුණු මත මිස නීතිමය තර්කයක් මත නොවන බවයි.
අදාළ මෝසම හරහා මහබාගේ පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති සඳහන් කර තිබෙන්නේ “ඈ සමලිංගික කටයුතු සිදුකිරීම තුළින් ඇගෙන් ඉගෙනුම ලබන දරුවන් ද මෙවැනි ක්‍රියාවලට බොහෝ දුරට නැඹුරු වීමට ඉඩ ඇති බවට සාධාරණ සැකයක් මතුවන බවත්, එයින් සැබෑ ලෙසම සමාජීය පරිහානියක් සිදුවීමට ද ඉඩ ඇති බැවින් මෙම තැනැත්තිය ඉදිරි නඩු විභාගයේදී රාගම රෝහලේ මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියෝගයක් ලබා ගැනීමට අවශ්‍ය බවත් ය.”
සමලිංගිකත්වය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), එක්සත් ජාතීන් (UN), ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය (SLCP), ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුව, සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කීවේ කුමක්ද?
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ ‘අස්වාභාවික වැරදි’ මැයෙන් ඇතැම් ලිංගික ක්‍රියාවලට අදාළව 365/365අ වගන්ති වලට සම්බන්ධ වැරදි යොදාගනිමින් විවිධ ලිංගික අනන්‍යතා දරන ප්‍රජාවට පොලීසියේ විවිධ අඩත්තේට්ටම් වලට ලක්වීමට සිදුවීම අනාදිමත් කලක පටන් සිදුවූ දෙයක් බව නොරහසකි. 2014, 2017 සහ 2019 යන වර්ෂ වල විවිධ ලිංගික අනන්‍යතා දරන පුද්ගලයන්ගේ මානව හිමිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සුරක්ෂිත වී ඇති බවත්, පවතින නීතිය හරහා ඔවුනට වෙනස්කොට සැලකීම් සිදුකළ නොහැකි බවත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් පිට පිට තහවුරු කර තිබේ. මීට ආසන්නතම සිදුවීම ලෙස 2022 මාර්තු මස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක විසින් ගොනුකළ පැමිණිල්ලකට අදාළව කාන්තාවන්ට එරෙහි සියළු අන්දමේ වෙනස්කොට සැලකීම් වලට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුවේ (Committee on the Elimination of All Forms of Discrimination Against Women: CEDAW) විභාගයට ගැණුනු නඩුව සැලකිල්ලට ගත හැකි අතර, එහිදී ශ්‍රී ලංකා රජය නියෝජනය කළ පාර්ශවය නැවත වරක් තහවුරු කර සිටියේ ලිංගික දිශානතිය මත පුද්ගලයන්ට වෙනස්කොට සැලකීම් සිදුකරන නීතියක් ශ්‍රී ලංකාවේ නොමැති බවත්, එසේ තිබෙන්නේ නම් එය ව්‍යවස්ථා විරෝධී බවත් ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් සමලිංගිකත්වය යනු මානසික රෝගයක් නොවන බවට ප්‍රකාශ කරන ලද්දේ 1990 මැයි මස 17 වන දින ය. ශ්‍රී ලංකාවේ මනෝවිද්‍යාව පිළිබඳ ඉහළතම විද්‍යායතනය වන ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය (Sri Lanka College of Psychiatrists: SLCP) විසින් ඉකුත් 2018 වර්ෂයේදී සහ 2021 වර්ෂයේ අගෝස්තු මස 18 වන දින මාධ්‍ය නිවේදනයක් හරහාම තහවුරු කරන ලද්දේ විවිධ ලිංගික අනන්‍යතා මිනිසුන් අතර දක්නට ලැබීම සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයක් මිස මානසික රෝගයක් සේ සැලකිය නොහැකි බව ය. එපමණක් නොව දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ හරහා විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට සිදුවන අසාධාරණය හමුවේ එම වගන්ති අවලංගු කරන ලෙස ද ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම, ඉකුත් මාර්තු 11 වන දින සමරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ඉලක්කකර ගනිමින් සිදුවන පුද්ගලයකුගේ ලිංගික දිශානතිය (Sexual Orientation) හෝ සමාජභාවය (Gender) වෙනස්කළ හැක්කේ යැයි විශ්වාස කෙරෙන වෛකල්පිත මනෝචිකිත්සක ක්‍රමවේදයක් වන ‘පරිවර්තන චිකිත්සා’ (Conversion Therapy) තහනම් කරන පනතක් හඳුන්වාදෙන මෙන් ඉල්ලා යොමුකළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ සම්මත විය.
දණ්ඩ නීති සංග්‍රහය අනුව ඇත්තටම සමලිංගිකත්වය සාපරාදී වරදක් ද?
දණ්ඩ නීති සංග්‍රහය සමලිංගිකත්වය පිළිබඳව කිසිඳු කරුණක් ප්‍රකාශ කරන්නේ නැති අතර, දණ්ඩ නීති සංග්‍රහයේ (1995 සංශෝධිත) වගන්ති කියවූ සැනින් මෙය අවබෝධ කර ගත හැකිය.
365: යම් පුරුෂයක, ස්ත්‍රියක හෝ සතකු සමඟ ස්වභාව ධර්මයට විරුද්ධව, කැමැත්තෙන් ම කාමුක සංසර්ගයෙහි යෙදෙන තැනැත්තෙකුට අවුරුදු දහය දක්වා කාලයක, දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කළ යුතු ය. ඔහු දඩයකට ද යටත් විය යුතු ය. මෙම වරද වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයෙකු විසින්, වයස අවුරුදු 16 ට අඩු පුද්ගලයෙකුට එරෙහිව සිදු කර ඇති විට අවුරුදු දහයකට නොඅඩු, අවුරුදු විස්සකට නොවැඩි බරපතල සිර දඬුවමක් සහ දඩයක් ද පැනවිය යුතුයි. එසේම අධිකරණය විසින් නියම කරන මුදලක් වැරැද්දට ලක් වූ පුද්ගලයාට සිදු වූ හානි වෙනුවෙන් වන්දි මුදලක් වශයෙන් ද ගෙවීමට නියම කළ යුතුයි.
365අ: ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ වෙනත් තැනැත්තකු සමඟ යම් දැඩි අශිෂ්ට ක්‍රියාවක් සිදු කරන නැතහොත් එවැනි යම් ක්‍රියාවකට පාර්ශවකරුවකු වන හෝ, එබඳු යම් ක්‍රියාවක් යම් තැනැත්තකු විසින් කරනු ලැබීම කුට්ටනය කරන හෝ කුට්ටනය කිරීමට තැත්කරන කවර හෝ තැනැත්තකු වරදකට වරදකරු වන අතර, ඔහුට අවුරුදු දෙකක් දක්වා දීර්ඝ විය හැකි කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ ඒ බන්ධනාගාරගත කිරීම හා දඩය යන දඬුවම් දෙකින්ම හෝ දඬුවම් කරනු ලැබිය යුතු ය. එම වරද සිදු කර ඇත්තේ අවුරුදු 16 ට අඩු පුද්ගලයෙකුට එරෙහිව නම් අවුරුදු දහයකට නොඅඩු අවුරුදු විස්සකට නොවැඩි සිර දඬුවමක් සහ දඩයක් ද එවැනි පුද්ගලයකුට වන හානි සම්බන්ධයෙන් උසාවිය විසින් නියම කරන මුදලක් වන්දි වශයෙන් ද ගෙවිය යුතුය.
පුරුෂයන්ට පමණක් සීමා වී තිබූ මෙම නීතිය 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධනය පරිදි ඕනෑම පුද්ගලයකු අතර බවට සංශෝධනය විය. ඒ අනුව, මෙය සමරිසි පුද්ගලයන්ට සීමාවන නීතියක් නොවේ.
මෙම නීතීන් වල පවතින අපැහැදිලි සහ ප්‍රශ්නසහගත ස්වභාවය නිසා සිතැඟි පරිදි විවිධ අන්දමින් එය අර්තනිරූපණය කරමින් LGBTIQ ප්‍රජාව අත්අඩංගුවට ගැනීම, ඔවුනට වෙනස්කොට සැලකීම්, හිංසනයන් හා ප්‍රචණ්ඩත්වයන් දියත් කිරීම ශ්‍රී ලංකා ඉතිහාසය පුරාවට සිදුවිය. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති භාවිතයෙන් පුද්ගලයන් අපරාදකරුවන් බවට පත්කරන්නේ 1883 යටත් විජිත සමයේ තෝමස් මැකෝලේ සාමිවරයා විසින් ස්ථාපිත කරන ලද යල්පැන ගිය නීති අනුවය. එකී වගන්ති වල දැක්වෙන විවිධ කරුණු හේතූන් ගණනාවක් නිසා සහජයෙන්ම ගැටළු සහගත ය. උදාහරණයක් වශයෙන් ‘ස්වභාවධර්මයට එරෙහිව’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිලිව නිර්වචනය කිරීමට ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය අපොහොසත් වේ. මීට අමතරව, ‘තදබල අශෝබන ක්‍රියා/දැඩි අෂිශ්ට ක්‍රියා’ යනු මොනවාද යන්න පවා නිර්වචනය කර නොමැත. නමුත් මේ හා සමානව සමලිංගික හැසිරීම් සාපරාදී කරන වෙනත් රටවල ‘ස්වභාවධර්මයට එරෙහිව’ ආදී කොටස් වලින් අදහස් කරන්නේ ප්‍රජනනය කොට දරුවන් ජනිත කිරීමේ අරමුණින් තොරව සිදුකරන ඕනෑම අන්දමේ ලිංගික ක්‍රියාවක් ය. එකී අර්ත නිරූපණය අනුව, ස්වයංවින්දනයේ යෙදීම, මුඛ සංසර්ගයේ යෙදීම, උපත් පාලනය සඳහා කොන්ඩම භාවිතා කර ලිංගික සංසර්ගයේ යෙදීම, හෝ සිපවැළඳ ගැනීම ඇතුළු දරු පිළිසිඳගැනීමක් සිදුනොවන ඕනෑම අන්දමක ලිංගික ක්‍රියාවක් නීතිවිරෝධීය. මෙම අර්ත නිරූපණය අනුව, ලිංගිකත්වය කුමක් වූව ද දරුවන් නොලබන ඕනෑම පුද්ගලයකු නීතිය අනුව අත්අඩංගුවට ගැනීමට හැකිවිය යුතුය. එසේ නම් දරුවන් නැති දෙමාපියන් ලක්ෂ ගණනින් සිරබත් කෑ යුතු ය.
මෙහි පවතින විසිලුකාරීබව නිසාම, යටත් විජිත පාලනයේ රෝමානු කතෝලික බයිබලයේ අනුග්‍රහය මත රෝම ලන්දේසි නීතියට අනුව සම්පාදනය වූ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධනය කිරීමට එම නීති සම්පාදනය කළ රටවල් ද ඇතුළුව බොහෝ යටත් විජිතයන් මේ වන විට කටයුතු කර ඇත. මීට කදිම උදාහරණය ඉන්දියාවයි. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය හා බොහෝ සෙයින් සමාන ඉන්දියාවේ සමලිංගික හැසිරීම් සාපරදීකරන නීති ඉවත්කරනු ලැබුවේ 2018 සැප්තැම්බර් 06 වෙනිදා ය.
දරුවන් ආරක්ෂා කරගත යුත්තේ සමරිසියන්ගෙන් ද?
මෙහිදී පැමිණිල්ලේ නීතීඥයා විසින් තර්ක කර සිටියේ ඇය ගුරුවරියක බැවින් ඈ නිදහස් කිරීම හරහා දරුවන් අනතුරේ වැටිය හැකි බවයි. සමලිංගිකත්වය යනු ලිංගික දිශානතියකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, “පුද්ගලයකු ශාරීරිකව, ප්‍රේමණීයව, සහ/හෝ චිත්තවේගීයව තවත් පුද්ගලයකුට ආකර්ෂනය වීම ලිංගික දිශානතිය යනුවෙන් හැඳින්වේ. ලිංගික දිශානතිය සමාජභාවී අනන්‍යතාවයෙන් වෙනස්වෙන අතර, ලිංගික දිශානතිය ප්‍රධාන වශයෙන්ම ලිංගික ආකර්ශනය, ලිංගික චර්යාව සහ ලිංගික අනන්‍යතාව යනුවෙන් අංග තුනකින් සමන්විත වේ.”
ඒ අනුව, ලිංගික දිශානතිය හුදෙක් ලිංගික ක්‍රියාවකට සීමාවන කරුණක් නොවන අතර, ශාරීරිකව, ප්‍රේමණීයව, සහ/හෝ චිත්තවේගීය ආදී වශයෙන් කරුණු සංකලනයක් මත නිර්මාණය වේ. ඒ අනුව, පුද්ගල සබඳතාවලට සම්මුතිභාවය තිබිය යුතු අතර, ඒ සඳහා වැඩිහිටියකු විසින් කුඩා දරුවකු සම්බන්ධ කර ගැනීම සම්මුතිගත සබඳතා යන සන්දර්භය හා කිසිසේත්ම සමපාත කළ හැක්කක් නොවේ.
දරුවන් ආරක්ෂා කරගත යුත්තේ සමරිසියන්ගෙන් නොව ළමා අපයෝජකයන් ගෙන් ය. පෙඩොෆීලීයා (paedophilia) හෙවත් කෞමරකාමය තත්ත්වය මත දරුවන් ලිංගික ක්‍රියාකාරකම් වලට යොදාගන්නන් හුදෙක් එක් ලිංගිකත්වයකට සීමා වන්නේ නැති අතර, ළමා අපයෝජකයන් විෂමරිසි පුද්ගලයන් හෝ සමරිසි පුද්ගලයන් අතර සිටිය හැකි බව අවබෝධ කර ගත යුතු ය.
‘සමලිංගික’ ඇසුණු සැනින් දරු කැක්කුම ගහපු පොලීසියට අධිකරණයෙන් කන පැලෙන්න උත්තරයක්!
ඉහත සිදුවීමට අදාළ නඩුව ඉකුත් දින වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබූ අතර, අතුරු මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගයට එරෙහිව ඉදිරිපත් කර ඇති ප‍්‍රතිශෝධන අයදුම්පත්‍රය පිළිබඳව මහේස්ත‍්‍රාත්වරයාට දැනුම් දී තිබෙන්නේ ඉන් අනතුරුවයි. වින්දිත කාන්තාවගේ සම්මුතිගත ප්‍රේම සබඳතාව පිළිබඳ කරුණු විකෘති කරමින් වින්දිත පාර්ශවයේ ප්‍රකාශ ද නොතකා පැමිණිලි පාර්ශවය විසින් තර්ක කර තිබෙන්නේ ඇගේ සහකාරිය විසින් ඇගේ ‘මොළය සෝදා’ ‘පැහැරගෙන’ යාමට කටයුතු කර ඇති බවයි. වින්දිත කාන්තාව තම දෙමාපියන් සමඟ ජීවත් වීමට අකමැති බවට මහබාගේ පොලිස් ස්ථානයට මීට පෙර ප්‍රකාශයක් කර තිබියදී ම මෙසේ තර්ක කිරීම විශේෂත්වයකි.
වින්දිත පාර්ශවයේ නීතීඥවරුන් විසින් තර්ක කරන ලද්දේ ඇගේ වයස අවුරුදු 22ක් වන බැවින් ඇය වැඩිහිටියකු බවත්, ඈට ස්වකීය කැමැත්ත මත තීරණ ගැනීමේ පූර්ණ හැකියාව ඇති බවත්ය. ‘සමලිංගිකත්වය මානසික රෝගයක්’ යන තර්කය බැහැර කළ ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ මාධ්‍ය නිවේදනය ද මෙහි දී වින්දිත කාන්තාවගේ නීතිඥවරුන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. මෙම වින්දිත කාන්තාව ව්‍යාපාර පිළිබඳ උපාධියක් ලබා ගුරුවරියක ලෙස සේවයේ නියුතුව සිටි බැවින් සිරගත කිරීමට අවශ්‍ය කිසිඳු මානසික රෝගයකින් පීඩා විඳ නැති බවට ද සාක්ෂි ඉදිරිපත් විය.
වින්දිත කාන්තාවගේ නීතීඥවරුන් වැඩිදුරටත් තර්ක කර සිටියේ ඇගේ ලිංගික දිශානතිය මත ඈ සමරිසියකු ලෙස ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් කර නොමැති බවයි. මෙහිදී පැමිණිල්ලේ නීතීඥයා විසින් තර්ක කර සිටියේ ඇය ගුරුවරියක බැවින් ඈ නිදහස් කිරීම හරහා දරුවන් අනතුරේ වැටිය හැකි බවයි. එහෙත්, මහබාගේ පොලීසිය විසින් ඉදිරිපත් කරන ලද අවසන් වාර්තාවේ ද වින්දිතයා විසින් කිසිඳු වරදක් සිදු කර ඇති බවට සාක්ෂි නොමැති බව සඳහන් කර තිබීම ද විශේෂත්වයකි.
මෙම කරුණු විභාගයට ගැනීමෙන් අනතුරුව වත්තල මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබෙන්නේ ඇත්ත වශයෙන්ම මෙම සිදුවීමේදී මානසික රෝගයක් පිළිබඳ සාක්ෂි නොමැති බවත් වින්දිතයා විසින් වරදක් සිදු කර නොමැති බවත්ය. වින්දිතයා මානසික රෝගයකින් පෙළෙන බවට සාක්ෂි නොමැති බැවින් අධිකරණ වෛද්‍ය නිලධාරී පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව පවසමින් මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව නිෂ්ප්‍රභා කර තිබේ. ඒ අනුව සමලිංගිකත්වය මනසේ රෝගයක් නොවන බවට අධිකරණට විසින් සෘජුවම පිළිගෙන තිබේ.
වින්දිත කාන්තාව වෙනුවෙන් පෙනී සිටියේ නොමිලේ නීති සහාය සපයන සංවිධානයක් වන අයිප්‍රෝබෝනෝ සමඟ කටයුතු කරන නීතීඥ කණ්ඩායමකි. ඈ වෙනුවෙන් ජනාධිපති නීතීඥ දිල්රුක්ෂි වික්‍රමසිංහ සමඟ එරන්දි අබේනායක, තිෂ්‍යා වෙර්ගොඩ සහ ෂෙවින්ද්‍රි මැනුවෙල් යන නීතීඥවරු පෙනී සිටියහ.
විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාව හෙවත් LGBTIQ පුද්ගලයන් ගුද හෝ යෝනි පරීක්ෂා සහ ලිංගාශ්‍රිත රෝග පරීක්ෂාවට ලක්කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණ විසින් නියෝග නිකුක් කිරීම බොහෝ කලක පටන් සිදුවූ දෙයක් වන අතර, මෙසේ නියෝග නිකුත් කිරීම සිදුවන්නේ හුදෙක්ම පොලීසියේ හිතළු මත නිමවූ චෝදනා සහ ඉල්ලීම් මත ය. එවැනි තීරණ ප්‍රතිශෝධන අයදුම්පත් හරහා අභියෝගයට ලක්කළ හැකි අතර, වත්තල අධිකරණයේ නඩු තීන්දුව ඓතිහාසික වන්නේ මේ නිසා ය.
මෙය සමරිසි, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා දරන පුද්ගලයන්ට අතිශය වැදගත් වන අධිකරණ තීන්දුවක් වනු නිසැකය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2016 වර්ෂයේදී සමරිසි ලිංගික ක්‍රියාවකට අදාළව ලබා දුන් අත්හිටවූ සිරදඬුවම සහ ප්‍රගතිශීලී විනිශ්චයෙන් පසු, ශ්‍රී ලංකා අධිකරණයක් විසින් සමලිංගිකත්වය යනු ‘අපරාධ වරදක් නොවන’ බවට සෘජුවම ප්‍රකාශ කළ පළමු අවස්ථාව මෙය බවට පත්වීම මීට හේතුවයි. ඉදිරියේදී සමරිසි ලිංගික ක්‍රියා සාපරාදී කරන නීති සංශෝධනය කිරීම සඳහා අධිකරණය තුළ හා ඉන් පිටත සිදුකරනු ලබන සංවාදයන් වලදී මෙම නිර්වචනය බෙහෙවින් වැදගත් වනු ඇත.
සංස්කාරක (LGBTIQ)