සටහන – පුලී
අගෝස්තු 04, LNW (කොළඹ): ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ ඇති වූ දැවැන්ත ලැව්ගිනි හේතුවෙන් Le Porge ගම්මානයේ භූගතව සැඟවී තිබූ දෙවන ලෝක යුද්ධ සමයේ භාවිතා කළ බවට සැලකෙන ෂෙල් වෙඩි සහ වෙනත් පුපුරණ ද්‍රව්‍ය 400කට ආසන්න ප්‍රමාණයක් අනාවරණය වී තිබේ.
ගින්න පැතිර යන අතරතුර ඇසුණු ප්‍රබල පිපිරීම් මුලින් ගෑස් සිලින්ඩර් පුපුරා යාමක් ලෙස සැක කළද, පසුව ගිනි නිවීමේ නිලධාරීන් පවසා ඇත්තේ අධික උෂ්ණත්වය හේතුවෙන් එම යුද සමයේ පුපුරණ ද්‍රව්‍ය සක්‍රීය වී පිපිරී ඇති බවයි.
Le Porge නගරාධිපති මාර්ෂල් සැනිනෙට්ටි පවසා ඇත්තේ ගින්න පැවති දෙවන රාත්‍රියේදී පමණක් පිපිරීම් 100කට වැඩි සංඛ්‍යාවක් ඇසුණු බවත්, එය “යුද්ධයක හඬක්” මෙන් දැනුණු බවත්ය. ඔහුට අනුව, එක් ෂෙල් වෙඩියක් නිවසක් හරහාද ගමන් කර තිබේ.
බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ කණ්ඩායම් විසින් බොහෝ පුපුරණ ද්‍රව්‍ය ඉවත් කර ඇති අතර, බොහෝ පදිංචිකරුවන්ට නැවත නිවෙස් වෙත යාමට අවසර ලබාදී ඇත. කෙසේ වෙතත්, ඇතැම් ප්‍රදේශ තවදුරටත් ආරක්ෂක හේතු මත වසා තබා ඇති බව බලධාරීන් පවසයි. මෙම ලැව්ගින්නෙන් නිවාස 180කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී තිබේ.

