හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩු 5ක් වහාම විභාගයට ගන්නා ලෙස අභියාචනාධිකරණය මහාධිකරණයට නියෝග කර තිබේ.
ඒ, අල්ලස් කොමිසම විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ ප්රතිශෝධන පෙත්සමක් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් සලකා බැලීමෙන් අනතුරුව ය.
සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සේවකයින් පිරිසක් රාජකාරිවලින් බැහැරකොට දේශපාලන කටයුතුවල යෙදවීමෙන් රුපියල් මිලියන 60ක පමණ පාඩුවක් රජයට සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩු 05 අල්ලස් කොමිසම විසින් පවරා ඇත.
මෙම නඩුවල පළමු විත්තිකරුවා වශයෙන් එවකට සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු නම්කර තිබිණි.
මෙම එක් නඩුවකින් විත්තිකරුවන් නිදහස් කිරීමට මීටපෙර මහාධිකරණය දී තිබූ නියෝගය ද අභියාචනාධිකරණය විසින් ඊයේ (04) අවලංගු කරන ලදී.


