සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 07, (LNW) කොළඹ :
නදීශා දිල්හානි ලේකම්ගේ වසර 17 ක් තිස්සේ වෙහෙසුණාය.ඒ ලෝකයේ ඔලිම්පික් ක්‍රීඩාවක් කරන ඕනෑම ක්‍රීඩිකාවක සතු විශාලතම මූලික බලාපොරොත්තුව වන ජාත්‍යන්තර ඔලිම්පික් උළෙලක් නියෝජනය කිරීමේ සිහිනය පෙරදැරිවය.ඇය එම කඩ ඉමට ආවාය.පදක්කම් නොලැබුණත් ඒ සහභාගීත්වයම පදක්කමක්ය.
නදීශා යනු අවුරුදු 17 ක් ශ්‍රී ලංකාවට සිහිනයක්ව තිබුණු පදක්කම් ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් සිහිනය නිමා කරමින් ඉකුත් වසරේ කාන්තා හෙල්ල වීසි කිරීමේ රිදී පදක්කමෙන් ශ්‍රී ලංකාව යළි පදක්කම් සටහනට ඇතුළත් කළ ක්‍රීඩිකාවය.එතරම් ඓතිහාසින වටිනාකම් සහිත ජයග්‍රහණ රටට එකතු කළ ද,122 ක හෝ හයිලෙවල් පාරේ කොළඹ එන 99 ක බස් එකකට ඇය ගොඩ වූවාට කවුරුත්ම දන්නේ නැත.තරු හැකියාව තිබුණත්,ක්‍රිකට් විතරක් තරු ලෙස බබලවන්නට උත්සාහ කරන සංස්කෘතියක නදීශා නොදන්නීය.
සමහර විටෙක පරකඩුවෙන් ගොඩවෙන ඇය කොළඹට එනතෙක්ම හෙල්ලය විසි කරන අත බස් එකේ වහලට සවිව දිවෙන පොල්ලේ විය හැකිය.බ්‍රේක්වලින් නොවැටී එල්ලී සිටින ආසියාවේම රදී අතක් බව දන්නා කෙනෙක් නැත.එහෙත් නදීශා පසුතැවුණේ නැත.ක්‍රීඩාවේ මහා මංගල්ලයේ දි තමා තම හෙල්ලත් සමඟ හිට ගන්න බව ඇය සිතුවාය.වසර 38 ක් සිය ජීවිතයට පිරුණු පසු ඇය එම සිහිනය සැබෑ කර ගත්තාය.ලෝකයේ විවිධ ජාතීන්ගේ විවිධ බස්වලින් කියන දිරි ගැන්වීම් අසමින් ඇය තරග වැදුණාය.
ලෝකයේ සිටින හොඳම හෙල්ල වීසි කිරීමේ සූරියක ලෙස ඇය තරග වඳින මොහොතේ ලොව හොඳම උස පනින්නෝ ද,ධාවකයෝ ද තව තවත් විවිධ ඉසව්වලින් තරග බිමට ආහ.ඒ එක එකිනෙකාට තිබුණේ එක එක භාෂාය.ඇයට ඒ හැම භාෂාවකින්ම කතා කරන පරිසරයක සිටගෙන තරග කරන්නට ලැබීමේ භාග්‍යය උදා වී තිබිණ.ඒ මනරම් ලෝකය නරඹන්නට නොව එහි සාමාජිකාවක වෙන්න ලැබුණු ඇය හෙටත් පරකඩුවෙන් 122 ට හෝ 99 වැනි දුර බස් එකට ගොඩ වෙනවා ඇත.හෙල්ලට හුරු අතින් සිය නො’උස් සිරුර බස් වහලේ එල්ලාගෙන ගමන් කරනු ඇත.විමසිලිමත්ව බැලුවොත් ඔබ මවක් හෝ පියෙක්නම් ඒ ඔබ ඔබේ දරුවාට අප්‍රතිහත දිරියෙන් පෙරට යාම ගැන ඉගැන්විය යුතුම ජීවිත කතාවක උරුමක්කාරිය ය.
මිටර් 53.66 ක දුරක් ඔලිම්පික් උළෙලක හෙල්ල වීසි කිරීම ගැන නොව ඔබ අනාගගතය තිබෙන තාක් දුරට විහිදුණු කතා කළ යුතු චරිතයකි.විශේෂයෙන්ම පලබර වන විට බිමට නැමෙන ගසක් මෙන් පහතට නැමුණු මිත්‍රශීලීත්වය සහ සුහදශීලීත්වය පිරුණු චරිතයකි.