*
Friday, May 17, 2024
spot_img

Latest Posts

මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% කින් කැපීම – බර මූල්‍ය අවියක් ද? නැත්නම් මහජනතාව රැවටීමක් ද?

මහ බැංකුව විසින් පසුගිය 8 දින ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% දක්වා 2% කින් පහළ දමා ඇත. ආර්ථික විද්‍යාව සහ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ යථා අවබෝධයක් නොමැති මහ බැංකුවට ආවඩන සමහර මාධ්‍යවේදීන් විසින් මෙය මහ බැංකුව විසින් ආර්ථිකය ගොඩ ගැනීම සඳහා තවත් බර මූල්‍ය අවියක් අතට ගැනීමක් ලෙස හුවා දක්වා ඇත. අනෙක් බර අවිය වන්නේ මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතයන් පසුගිය මැයි 31 දින සිට මේ දක්වා දෙවරක දී 4.5% කින් (11% සහ 12% දක්වා) පහළ දැමීම යි. 

මහ බැංකු ආර්ථික විද්‍යාඥයන් සහ ඔවුන්ගේ මාධ්‍ය ජාලය හුවා දක්වන්නේ, මෙම අවි තුළින් ආර්ථිකයේ පොලී අනුපාතයන් පහළ යාම සහ බැංකු ණය ප්‍රසාරණය හරහා ආර්ථිකය නැවත ක්‍රියාශීලී වී, බලා සිටිය දී වර්ධනය වන බව යි. 

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දැමීම පිළිබඳ ව මහ බැංකුව විසින් නිකුත් කළ පහත දක්වා ඇති පුවත්පත් නිවේදනයෙන් ද එවැනි මතයක් මහජනතාව වෙත ඉදිරිපත් කොට ඇත. එහෙත්, පුවත්පත් නිවේදනයේ අඩංගු කරුණු සියල්ලම තාක්ෂණික වශයෙන් සාවද්‍ය වෙයි.

එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කැපීම යනු මහ බැංකුව විසින් භාවිත කෙරෙන තවත් ගෝත්‍රීය මූල්‍ය මෙවලමක් බවත්, ණය සහ විදේශ මූල්‍ය අර්බුදයකට මුහුණ දෙන වත්මන් බංකොලොත් ආර්ථිකය ගොඩ ගැනීමට එමගින් කිසිම දායකත්වයක් නොමැති බවත් ඉදිරිපත් කිරීම යි.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය යනු කුමක් ද?

මින් සිදු කෙරෙන්නේ වාණිජ බැංකු විසින් මහජනතාවගෙන් රැස් කර ගන්නා තැන්පතු වගකීම්වලට සාපේක්ෂව යම් මුදල් ප්‍රතිශතයක් මහ බැංකුවේ නියමය පරිදි තබා ගැනීම යි. එය, සුළු කොටසක් බැංකුවල සේප්පු මුදල් ලෙස සහ බහුතරය මහ බැංකු ගිණුමේ මුදල් ලෙස තබා ගැනේ. මූල්‍ය ප්‍රතිපත්තිය තුළ මෙහි අරමුණ වනුයේ බැංකු විසින් තැන්පතු මුදල්වලින් ණය මැවීමේ හැකියාව සීමා කිරීම යි. එනම්, ණය ප්‍රදානය සඳහා බැංකු වෙත ඇති අරමුදල් ප්‍රමාණය සීමා කිරීම යි. 

එබැවින්, ආර්ථිකයේ බැංකු ණය ප්‍රසාරණය ඉහළ දැමීම සඳහා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දැමීමත්, බැංකු ණය ප්‍රසාරණය පහළ දැමීම සඳහා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉහළ දැමීමත් මහ බැංකුව විසින් අතීතයේ සිට අනුගමනය කෙරෙන සම්ප්‍රදායික මූල්‍ය ප්‍රතිපත්ති මෙවලමකි. ඊට අමතරව, මෙමගින් තැන්පතු හිමියන්ගේ අරමුදල්වලට යම් ආරක්ෂාවක් ද සැපයෙයි. ඊට හේතුව, හදිසි අවස්ථාවක දී මෙම අරමුදල් ප්‍රමාණය මහ බැංකුවේ පැවතීම යි.

මහ බැංකු පුවත්පත් නිවේදනයේ අඩංගු සාවද්‍ය කරුණු

අතීතයේ සිට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දැමීමේ දී මෙම කරුණු පුන පුනා ඉදිරිපත් කිරීම මහ බැංකුවේ පුරුද්ද යි. ඊට හේතුව, නූතන බැංකු සහ මූල්‍ය පද්ධතීන් ප්‍රයෝගිකව ක්‍රියාත්මක වන ආකාරය සැලකිල්ලට නොගෙන, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පිළිබඳ ගතානුගතික සංකල්පය අනුව කරුණු ඉදිරිපත් කිරීම යි. ආර්ථික විද්‍යා විෂය ග්‍රන්ථ තුළින් ඉගැන්වෙන්නේ ද මෙම කථාන්දරය යි.

එනම්, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දැමීමේ දී, බැංකුවල ද්‍රවශිලතාවය ඉහළ යාමත්, අරමුදල් රැස්කිරීමේ පිරිවැය පහළ යාම හරහා බැංකු ණය පොලී අනුපාතයන් පහළ යාමත්, ඒ අනුව, බැංකු ණය ප්‍රසාරණය ඉහළ යාමත්, එමගින් ආර්ථික වර්ධනය සහ රැකියා අවස්ථාවන් ඉහළ යාමත් සිදුවන බවත් ය. මෙම කථාන්දරය ඉදිරිපත් කෙරෙන්නේ මහ බැංකුව විසින් සිදු කෙරෙන ආර්ථික මැජික් එකක් මෙනි. 

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉහළ දැමීමේ දී මීට ප්‍රතිවිරුද්ධ කථාන්දරයක් ඉදිරිපත් කෙරේ. එහි අවසාන සිද්ධිය බලා සිටිය දී ආර්ථිකයේ උද්ධමනය පහළ යන බව යි. ප්‍රතිපත්ති පොලී අනුපාතයන් වෙනස් කිරීම පිළිබඳ ව ද ඉදිරිපත් කෙරෙන්නේ මෙම මැජික් කථාන්දර යි.

එබැවින්, මහ බැංකු පුවත්පත් නිවේදනයේ සාවද්‍යභාවය පහත දැක්වෙන ශීර්ෂයන් 7 යටතේ ඉතා පහසුවෙන් ඉදිරිපත් කළ හැකිය.

1. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියලු බැංකු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ බව

මෙය අදාළ වන්නේ බංකු අතර තැන්පතු සහ රාජ්‍ය තැන්පතු හැර අනෙක්  රුපියල් තැන්පතු වගකීම් සඳහා ය.

2. බැංකු පද්ධතිය වෙත ද්‍රවශීලතාවයක් සැපයෙන බව

ව්‍යවස්ථාපිත සංචිත ප්‍රමාණය ද බැංකු පද්ධතියේ ද්‍රවශිලතාවයේ කොටසකි. එබැවින්, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% කින් කැපීම හේතු කොට, රුපියල් බිලියන 200 කින් ඉහළ යන්නේ බැංකු වෙත ඇති නිදහස් හෝ අතිරික්ත ද්‍රවශීලතාවය මිස සමස්ත බැංකු ද්‍රවශීලතාවය නොවේ. එබැවින්, මෙය බැංකු සංචිත සංයුතියේ වෙනස් වීමක් පමණි.

තව ද, ව්‍යවස්ථාපිත සංචිත ප්‍රමාණය සෑම දිනකම අවශ්‍ය උපරිම ප්‍රමාණයෙන් පවත්වා ගැනීමට අවශ්‍ය නොවන බැවින් බැංකුවලට අවශ්‍ය පරිදි තම ද්‍රවශීල අවශ්‍යතාවන් සඳහා දෛනික ව්‍යවස්ථාපිත සංචිත ප්‍රමාණය හැසිරවිය හැකිය.

3. වෙළෙඳපොළ ද්‍රවශීලතා හිඟය ස්ථිර පදනමකින් අඩු කිරීමේ අරමුණ

  • වෙළෙඳපොළ ද්‍රවශීලතාවය හිඟයක් ද? හෝ අතිරික්තයක් ද? යන්න මූලික වශයෙන් තීරණය වන්නේ ආර්ථිකයේ සහ ණය වෙළෙඳපොළේ ඉල්ලුම් සහ සැපයුම් තත්ත්වය, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝව මත පදනම් වූ විවට වෙළෙඳපොළ ක්‍රියාකාරකම් සහ රජයට ණය දීම වෙනුවෙන් මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් කළඹ (දැනට රුපියල් ට්‍රිලියන 2.7 ක් පමණ) මත ය.
  • මෑත කාලයේ ද්‍රවශීලතාවය හිඟයක් වීම ප්‍රධාන හේතු දෙකක් ප්‍රතිඵලයකි. පළමුව, බැංකු පද්ධති අවදානම් සහ අන්තර් බැංකු විශ්වාසය පිළිබඳ ගැටළු හේතු කොට අන්තර් බැංකු වෙළෙඳපොළ අක්‍රීය වීම. දෙවනුව, මහ බැංකුව විසින් දෛනික උපරිම නිත්‍ය ණය පහසුකම ව්‍යස්ථාපිත සංචිත ප්‍රමාණය මෙන් 90% කට සීමා කිරීම හේතු කොට මහ බැංකුවෙන් සැපයෙන දෛනික ණය ප්‍රමාණය සීමා වීම. එබැවින්, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය/ප්‍රමාණය පහළ යාම හේතු කොට බැංකු විසින් මහ බැංකුවෙන් ලබා ගන්නා එක් දින ණය (නිත්‍ය ණය පහසුකම) ප්‍රමාණය පහළ යාමෙන් බැංකු ද්‍රවශීලතා හිඟය තවත් ඉහළ යා හැකිය.
  • මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාත කොරිඩෝව පවත්වා ගෙන යාමට යෝග්‍ය පරිදි බැංකු පද්ධතියේ ද්‍රවශීල අරමුදල් ප්‍රමාණය දෛනික ලෙස පාලනය කෙරෙන බැවින් ද්‍රවශීල හිඟයක් හෝ අතිරික්තයක් ඇති නොවේ. එනම්, මහ බැංකුව විසින් විවට වෙළෙඳපොළ ක්‍රියාකාරකම් හරහා බැංකුවල ද්‍රවශීල අතිරික්තය උකහා ගැනීමටත්, ද්‍රවශීල හිඟය පියවීමටත් ක්‍රියා කිරීම යි. නිදසුනක් ලෙස පසුගිය මාස කිහිපය පුරා මහ බැංකුව විසින් එක් දින සහ කාලීන ප්‍රති විකුණුම් වෙන්දේසි හරහා විශාල වශයෙන් නව මුදල්/ද්‍රවශීලතාවය බැංකු වෙත සපයා ඇත. ඊයේ දින පමණක් රුපියල් බිලියන 170 ක් සැපයීමට වෙන්දේසි ඉදිරිපත් කොට, රුපියල් බිලියන 116.7 ක් ද, අද දින රුපියල් බිලියන 150 ක් ඉදිරිපත් කොට, රුපියල් බිලියන 146 ක් ද සපයා ඇත. එබැවින්, වෙළෙඳපොළ ද්‍රවශීලතාවය යනු ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙන් නොව, ප්‍රතිපත්ති පොලී අනුපාතයන් මත පදනම් වූ මහ බැංකු විවට වෙළෙඳපොළ ක්‍රියාකාරකම් හරහා කළමනාකරණය කෙරෙන මූල්‍ය තත්ත්වයකි.

4. දේශීය මුදල් වෙළෙඳපොළට රුපියල් බිලියන 200 ක ද්‍රවශීලතාවයක් මුදාහැරෙන බව

ඉහත පැහැදිළි කිරීම අනුව මෙය දේශීය මුදල් වෙළෙඳපොළට ද්‍රවශීලතාවය නිදහස් කිරීමක් නොව, බැංකු පද්ධතිය සතු ද්‍රවශිලතාවයේ සංයුතිය හෝ භාවිතය වෙනස් කිරීමකි. දේශීය මුදල් වෙළෙඳපොළ යනු බැංකු පද්ධතියට වඩා පුළුල් මුදල් වෙළෙඳපොළකි.

5. බැංකු අරමුදල් පිරිවැය පහළ යාම හරහා වෙළෙඳපොළ ණය පොලී අනුපාතයන් තවදුරටත් පහළ යන බව සහ ආර්ථිකයට ගලා යන ණය ප්‍රවාහය ප්‍රසාරණය කිරීමට හැකි බව 

  • බැංකු අරමුදල් පිරිවැය යනු බැංකුවලට තැන්පතු සහ ණය ගැනීම සඳහා දරන පිරිවැය යි. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ යාම තුළින් අරමුදල් පිරිවැය පහළ යන ආකාරය ඇස්තමේන්තු කළ නොහැකිය. මහ බැංකුව විසින් ද එය සිදු නොකෙරේ.
  • වෙළෙඳපොළ ණය පොලී අනුපාතයන් බොහෝ දුරට තීරණය වන්නේ ණය කරුවන්ගේ අවදානම් සහ ආර්ථිකයේ ණය ඉල්ලුම් සහ සැපයුම් තත්ත්වයන් මත ය. අවදානම් සහ ද්‍රවශීල අරමුදල් මූලයන් මත පදනම් වී බැංකු විසින් තම ගිණුම් සටහන් හරහා ණය/මුදල් මවන බැවින් අරමුදල් පිරිවැය යනු ණය පොලී අනුපාතයන් සහ ණය ප්‍රවාහය/පරිමාව තීරණය කෙරෙන සෘජු සාධකයක් නොවේ.
  • පසුගිය වර්ෂයකට වැඩි කාලයක් පුරා මහ බැංකුව විසින් අනුගමනය කළ අධික තද මූල්‍ය ප්‍රතිපත්තිය හේතු කොට සංකෝචනය වී ඇති සාර්ව ආර්ථිකය, රාජ්‍ය ණය පැහැර හැරීම, විදේශ මුදල් අර්බුදය සහ ඒ ආශ්‍රිත ව්‍යාපාරික අවදානම් ඉහළ යාමේ වත්මන් ආර්ථික සංදර්භය තුළ හුදෙක් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දැමීමෙන් ණය පොලී අනුපාතයන් පහළ යාමක් සහ ණය ප්‍රවාහය නැවත යාවත්කාලීන වීමක් නුදුරු අනාගතයේ දී අපේක්ෂා කළ නොහැකිය. එය බලාපොරොත්තු විය හැක්කේ, ආර්ථිකය වත්මන් ණය සහ විදේශ මුදල් අර්බුදයෙන් ගොඩ ඒමත් සමඟ ය.
  • නිදසුනක් ලෙස ආර්ථික අර්බුදයට පෙර සමය සමඟ සැසඳීමේ දී, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මෙතරම් ප්‍රමාණයකින් පහළ යාමට ප්‍රතිචාර ලෙස ඊයේ සහ අද දින අන්තර් බැංකු පොලී අනුපාතයන් සහ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි පොලී අනුපාතයන් ඊයේ පහළ යාමක්  සිදු නොවීය.

6. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දැමීමේ වාසිය ප්‍රමාදයකින් තොරව ගනුදෙනු කරුවන්ට ලබා දීමේ අපේක්ෂාව

  • ඉහත දැක්වූ පැහැදිළි කිරීම අනුව බැංකු ණය පොලී අනුපාතයන් පහළ යාමක් හෝ බැංකු ද්‍රවශීලතාවය ඉහළ යාමක් බලාපොරොත්තු විය නොහැකි බැවින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% කින් පහළ යාමෙන් බැංකු ණය ගනුදෙනුකරුවන්ට ප්‍රදානය කළ හැකි වාසියක් හඳුනා ගත නොහැකිය.
  • එසේම, මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතයන් අඛණ්ඩව පහළ යන මූල්‍ය ප්‍රතිපත්ති චක්‍රයක් තුළ තැන්පතු පොලී අනුපාතයන් පහළ යාම මිස ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% කින් පහළ යාම හරහා තැන්පතු ගනුදෙනු කරුවන්ට ප්‍රදානය කෙරෙන පොලී අනුපාතයන් ඉහළ යාමක්  සිදුවිය නොහැකිය.

7. අවශ්‍ය වුවහොත් වෙළෙඳපොළ ණය අනුපාතයන් අඩු වීමේ සීග්‍රතාව තහවුරු කිරීම සඳහා සුදුසු නියාමන ක්‍රියාමාර්ගයන් ගන්නා බව 

පාර්ලිමේන්තුවෙන් දැනට සම්මත වී ඇති නව මහ බැංකු පනත යටතේ මෙවැනි නියාමනයන් සඳහා ප්‍රතිපාදනයන් නොමැත. දැනට අවලංගු වී ඇති මුදල් නීති පනතේ එවැනි බැංකු ණය නියාමනයන් සඳහා ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයන් රැසක් පැවති අතර මහ බැංකුව විසින් ඒවා වරින්වර ක්‍රියාත්මක කරන ලදි.

සමාප්ත සටහන්

  • මහ බැංකු පුවත්පත් නිවේදනයේ අඩංගු වන්නේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දැමීමේ දී මහ බැංකුව විසින් පුරුද්දට දක්වන කරුණු මිස, ඉන් ආර්ථිකයට සහ මහජනයාට සත්‍ය වශයෙන් ලැබෙන බවට අධ්‍යයන මගින් තහවුරු කොට ඇති කරුණු නොවේ.
  • ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය යනු ගෝත්‍රීය මූල්‍ය ප්‍රතිපත්ති මෙවලමක් වන අතර එය වෙළෙඳපොළ මත පදනම් වූ නුතන මූල්‍ය ප්‍රතිපත්ති ආකෘතින්හි දැකිය නොහැක.
  • එබැවින්, මහ බැංකුව විසින් උද්ධමනය පාලනය කොට ආර්ථිකය නැවත ක්‍රියාශීලී කිරීමේ මෙහෙයවුමක් සිදු කරන බවට දේශපාලනික නායකයන් නොමඟ යැවීම සඳහා මහ බැංකුව සහ එහි මාධ්‍ය ජාලය විසින් භාවිතා කෙරෙන මෙවලමක් වීම හැර,  මහ බැංකු පොලී අනුපාතයන් සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කැපීමෙන් වත්මන් බංකොලොත් ආර්ථිකයට ඉන් ගොඩ ගැනීම සඳහා ලැබෙන සාර්ව ආර්ථික වාසියක් නොමැත. එබැවින්, මෙය මහ බැංකුව විසින් පුරුද්දට කරන පැරණි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රීඩාව වන අතර එයට වත්මන් ආර්ථිකය මුහුණ දෙන ඉහළ මට්ටමේ ණය සහ ව්‍යාපාරික අවදානම් පහළ හෙළා බැංකු ණය ප්‍රවාහය නැවත යාවත්කාලීන කිරීමේ හැකියාවක් නොමැත. එබැවින්, මෙම මහ බැංකු ළිහිල් මූල්‍ය ප්‍රතිපත්ති කථාන්දරය සැබෑ ලොව දත්ත මගින් තහවුරු වීමක් නොමැති ගෝත්‍රීය මූල්‍ය සංකල්පයකි. එහෙත්, මහ බැංකුව පවසන්නේ, නීතිය අනුව මහ බැංකුවට ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්ති මෙවලම් වන්නේ මේවා බව යි. මුදල් නීති පනත අවලංගු කිරීමෙන් මෙම තත්ත්වය හට ගෙන ඇත.
  • ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දැමීම හරහා තැන්පතු හිමියන්ගේ ආරක්ෂාව පහළ යාමක් සිදු වෙයි. ඊට හේතුව, හදිසි අවස්ථාවක දී භාවිතා කළ හැකි අරමුදල් ප්‍රමාණය පහළ යාම යි. නව මහ බැංකු පනත යටතේ බැංකුවලට අවසාන ණය දෙන්නා ලෙස ක්‍රියාකිරීමට මහ බැංකුවට නිදහස නොමැති බැවින් ව්‍යවස්ථාපිත සංචිත ප්‍රමාණය බැංකු ද්‍රවශීල අර්බුද අවස්ථාවල තැන්පතු හිමියන්ගේ ආරක්ෂාවට උපකාරී වනු ඇත. එහෙත්, නව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% ක් වන බැවින් සමස්ත බැංකු පද්ධතිය තුළ පවතින ව්‍යවස්ථාපිත සංචිත ප්‍රමාණය රුපියල් බිලියන 200 ක් පමණි. එබැවින්, මෙය බැංකු පද්ධති ස්ථායිතාවයට අහිතකර විය හැකිය. බැංකු පද්ධති ස්ථායිතාවය අමතක කොට මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ පරම බලයක් මහ බැංකුවට නොමැත.

එබැවින්, මහ බැංකුවේ කාර්යසාදනය ආර්ථික විද්‍යා විෂය ග්‍රන්ථවල ඉදිරිපත් කෙරෙන සංකල්පීය කථාන්දරයන් සහ මහ බැංකු පුවත්පත් දැන්වීම් මත නොව, සැබෑ ආර්ථික කාර්යසාදනය මත පදනම් වී ඇගයීමේ ක්‍රමවේදයක් සකස් කිරීම රජයේ කාලීන වගකීමකි. ඊට විශේෂ හේතුව, වත්මන් ආර්ථික බංකොලොත්භාවය මහ බැංකු මූල්‍ය ප්‍රතිපත්තියේ සහ රාජ්‍ය ණය කළමනාකරණයේ අසමත්වීම තුළින් හට ගැනීම යි.

රතිපත්ති පොලී අනුපාතයන් සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අත්තනෝමතික ලෙස එහාට මෙහාට කිරීමෙන් මහ බැංකුව සහ මහ බැංකු මාධ්‍යය පවසන පරිදි සර්ව බලධාරී දේව කාර්යයක් මෙන් ආර්ථිකය ස්ථායිකරණය වෙත මෙහෙයවීමට මහ බැංකුවට හැකි නම්, මෙතරම් වියදම් සහිත රාජ්‍ය අධිකාරී පද්ධතියක් අවශ්‍ය නොවේ. මහ බැංකුවේ අසමත්කම 2022-23 ආර්ථික අර්බුදයෙන් මනාව ඔප්පු වෙයි.

(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ග්‍රන්ථය සකසන ලදි.)

පි සමරසිරි

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව 

(හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 11 ක කතෘ)

Source: Economy Discovery

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan