*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

රුපියල් 1000ක් දෙන්න බැරි කර්මාන්තයෙන් ඇති ඵලය කුමක්ද? – අනුර

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වතු ජනතාව මුහුණ දෙන ප්‍රශ්න විසඳීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු පවසන්නේ මෙරට වතුකරයේ ජනතාවට
අවුරුදු 200ක් ගතවීමෙන් පසුවත් ඔවුන්ගේ ජීවිතවල අවශ්‍යතාවයන් සපුරාගැනීමට නොහැකිවී තිබෙන බවයි.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (10) පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමිනි.

” මීට වසර 200කට පමණ පෙර ලංකාවේ වතුවල වගා වැඩ සඳහා ගෙන එන ලද ප්‍රජාවන් පිළිබඳවයි අපි කතා කරන්නේ. අවුරුදු 200ක් ගතවීමෙන් පසුවත් ඔවුන්ගේ ජීවිතවල අවශ්‍යතාවයන් සපුරාගැනීමට නොහැකිවී තිබෙනවා. ඔවුන් එදා වරායෙන් ගොඩබැස පයින්ම මාතලේට පැමිණි දවසේ සිට විශාල දුක් වේදනාවන්ට මුහුණ දුන් ජනතාවක්. ඔවුන්ගේ සාහිත්‍යයේ තිබෙනවා,

කූඩ කරේ එල්ලාගෙන අපට පුරුදු නෑ
දළු නෙළනා වැඩ කරලත් අපට පුරුදු නෑ
කංකානිට යටත්වෙලා කොහොමද ඉන්නේ
අප යවනු මැනවි අපේ බිමට සාම සාමිනේ

එදා වතුකරයේ ජනතාවගේ ඇත්ත හැඟීම තමයි ඒ. ඔවුන්ට නුහුරු නුපුරුදු රටකට ගෙනැවිත් අතහැරියාට පස්සේ ඔවුන්ට ඇතිවන වේදනාව තමයි මේ කියාපාන්නේ.
ඔවුන් මේ කඳුවල වැඩ කළ දුක්ඛිත ආකාරය ප්‍රකාශ කළේ මේ විදිහට.

කුදු ගැහෙමින් කඳු නැගලා
කෝපි ඵල නෙළන අතරේ
එක ඵලයක් බිම වැටුණොත්
පයින් ගහයි සින්න දොරේ

ඔවුන් වතුවලට එදා හිරකර තිබුණේ මේ ආකාරයට. එංගලන්තය 1807 දී වහල් වෙළඳාම නතර කිරීමේ නීති සම්පාදනය කළා. 1833 දී වහල්භාවය අහෝසි කළා. හැබැයි ඒ වකවානුවේදී එංගලන්තය වහල් මෙහෙය හා සමාන ලෙස වහල් ශ්‍රමයක් අපේ රටේ ඇති කරනවා. මේ වන විට ශත වර්ෂ දෙකක් පමණ ගතවී තිබෙනවා. එහෙත් තවමත් ඔවුන්ට සාධාරණ ජීවිතයක් ලබාදීමට අපි අසමත් වී තිබෙනවා. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් යටතේ අවුරුදු 125කට ආසන්න කාලයකුත් වර්තමාන පාලකයන් යටතේ අවුරුදු 75කට අධික කාලයකුත් ඔවුන් ජීවත් වී තිබෙනවා. ඕනෑම ජීවිතයක මූලික අවශ්‍යතාවයන් තිබෙනවා.
පළමුකොටම හොඳ ආදායම් මාර්ගයක් ලැබිය යුතුයි. අපේ රටේ පොදුවේ ලැබෙන ආදායම් මාර්ග හා සසඳා බලන විට, ඉතාමත් අඩු වැටුපක් සහිත ආදායමක් තමයි වතුකරයේ ජනතාවට තිබෙන්නේ. අපේ රටේ තේ නිෂ්පාදනයෙන් විශාල ධනයක් උපයනවා. ප්‍රධානම වතු සමාගම් 23ක් අතේ මේකෙ විශාල ඉඩම් ප්‍රමාණයක් හොබවනවා. හැබැයි රුපියල් 1000ක වැටුපක් දෙන්න බැහැයි කියනවා. රුපියල් 1000ක් දෙන්න බැරි කර්මාන්තයෙන් ඇති ඵලය කුමක්ද? මේ වතු හිමියන් තමන්ගේ දාසයන් ලෙස තමයි මේ පුරවැසියන්ට සලකන්නේ. මේ සම්බන්ධයෙන් දේශපාලනයට විවේචනයක්ද තිබෙනවා”

කඳුකරයේ ජීවත් වෙන ජනතාවට ජීවිතයේ සාධාරණ ලෙස පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වැටුපක් ලබා දිය යුතු බවත්, අවශ්‍ය වැටුප් ලබාදීමට සමාගම් හිමිකාරිත්වය සූදානම් නැතිනම්, ඒ සමාගම් පවරා ගත යුතු බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

“ඔබලා විටින් විට ඔබලාගේ දේශපාලනයට මේ ප්‍රජාව යටපත් කරගෙන සිටියා මිස සාධාරණ විසඳුම් සෙවීමට කටයුතු කළේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ මූලික වුවමනාවන් ඉටුකර ගැනීමට සමත් වෙන ආදායම් මාර්ගයක් නැහැ. ජීවත්වීමට සාධාරණ වැටුපක් නැතිනම් ඔවුන් මිනිසුන්ද? පළමු කොටම කඳුකරයේ ජීවත් වෙන ජනතාවට ජීවිතයේ සාධාරණ ලෙස පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වැටුපක් ලබා දිය යුතුයි. අවශ්‍ය වැටුප් ලබාදීමට සමාගම් හිමිකාරිත්වය සූදානම් නැතිනම්, ඒ සමාගම් පවරා ගත යුතුයි.

1992 සිට මේ වන විට අවුරුදු 31ක්.  මේ වතු කඩාවැට්ටුවා, සංවර්ධනය කළේ නැහැ, ගස් කපා විකිණුවා, පාළු කළා. ෆැක්ටරි ටික වසා දැමුවා. ජනතාව කබලෙන් ලිපට ඇදදමා තිබෙන තත්වයක් ඇති වී තිබෙනවා. ඒ නිසා පළමුකොටම ආණ්ඩුව රටේ පුරවැසින් පිළිබඳව වගකීමක් දරනවා නම්, වත්තේ වැඩ කරන ජනතාව සඳහා සාධාරණ වැටුපක් ලබාදීමට කටයුතු කළ යුතුයි. රුපියල් 1000 ලබාගන්න සටන් පාඨය ගෙනත්, අවුරුදු තුනකට වඩා වැඩි කාලයක් ගෙවිලා ගියා. 1000 ලැබෙන විට රුපියල් 1000 වටිනාකම රුපියල් 100ට පමණ අඩුවෙලා. වත්තේ වැඩ කරන ජනතාවට තමන්ගේ ජීවිත සාධාරණව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වැටුපක් ලබාදීමට, ඕනෑම නීතියක් සම්පාදනය කරන්න අපි සූදානම්”
ලෙස මන්ත්‍රීවරයා කියා සිටියා.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan