Monday, September 26, 2022
spot_img
spot_img

Latest Posts

ඉන්දියාවේ තුන් පිමි සහ අපේ තුන් පිමි.

වසර – 2006
ස්ථානය – සුගතදාස ක්‍රීඩාංගණය
පැවත්වෙමින් තිබෙන්නේ දකුණු ආසියාතික මලල ක්‍රීඩා තරගාවලිය.ඉසව්ව තුන් පිම්ම පිරිමි.එතරම් උස මහත නැති, ලංකාවෙ සුදු හීන්දෑරි තරුණයෙක් ඉසව්වේ කළාපීය අනන්‍යතාවය ගලවලා දාලා ශ්‍රි ලංකාවට රන් පදක්කම දිනා දෙන්නෙ චමින්ද සම්පත් වීරසිංහ.ඒ දකුණු ආසියාතික වාර්තාවක්ද සමඟ.දුර ප්‍රමාණය මීටර් 16.26 ක්.
ඒත් චමින්ද සම්පත්ව අපට දිගටම ක්‍රීඩාවේ රඳවාගන්න බැරි වෙනවා.ඔහුට තියෙන හැටියට කාලා පැනපං අපට පදක්කම් දිනලා දීපං.ලොකු උත්සවවල අපිට නිලධාරි හැටියට දේශපාලකයො හැටියට වැජඹෙන්න කයිවාරු ගහන්න උඹලගෙන් පදක්කම් ඕනි කියන සංස්කෘතිය ඇතුළෙ හිරවෙලා ක්‍රීඩාව එක්ක හැප්පෙනව වෙනුවට තමන් ඒ වෙනකොටත් වැඩ කරමින් හිටිය මාස් ආයතනයෙ අනුග්‍රහයෙන් ක්‍රීඩාව වගෙම දියුණු කරගෙන හිටිය වෘත්තිය දැණුමත් ප්‍රයෝජනයට අරගෙන සම්පත් ව්‍යාපාර කේෂ්ත්‍රයේ පිම්මක් පනිනවා.ඔහු අද යම් මට්ටමක ව්‍යවසායකයෙක්.
මේ අතර ඔහු විසින් ක්‍රීඩකයෙක් නිර්මාණය කරන බර දරමින් ග්‍රේෂාන් ධනංජය නිර්මාණය කරන්නට ගත් ආරම්භය අද ග්‍රේෂන්ව ජාතික වාර්තාලාභියා දක්වා ඔසවා තිබෙනවා.ඒ මීටර් 16.71 ක පිම්මකින්.නමුත් අද ව්‍යාපාරක වැඩ සඳහා ක්‍රීඩාවෙන් ඉසිඹුලන්නට තීරණය කරන සම්පත් ග්‍රේෂන්ගේ වගකීම පැවරූ තවත් තුන් පිම්ම සූරයෙක් වූ චාමර නුවන් ගමගේගේ මඟ පෙන්වීමත්,ලද විදෙස් පුහුණුවේ ප්‍රතිපලත් හරහා ග්‍රේෂන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.
මේ ප්‍රවේශයට හේතුව මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙ රන් පදක්කම ඉන්දියාවට හිමි වීම.ඒක දිනා ගත්තා වගේම ඉන්දියාවේ සූදානම ගැනත් කතා කරන්න වටිනවා.උදාහරණයකට හෙල්ල විසිකිරිම ඉසව්වෙ නිරාජ් චොප්රා සමඟ ඔවුන්ගේ රටේ හැදෙන්නෙ ඉසව්වෙ ප්‍රබලතාවය.පකිස්තානයේ අර්ෂාඩ් නදීම් හෙල්ල විසි කිරීමේ රන් පදක්කම දිනා ගෙන විප්ලවයක් කරාට ඉන්දියාවේ චොප්රා නොපැමිණි මේ තරගයට මීටර් අසූ ගණන් ඉක්මවා හෙල්ල වීසි කරන තවත් ක්‍රීඩකයො දෙන්නෙක් ඉන්දියාවෙන් එනවා.ඒ වගෙම මෙවර ඉතිහාසයේ පළමුවරට ඉන්දියානු තරගකරුවන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක තුන් පිම්ම පිරිමි ඉසව්වේ අවසාන තරගයට ඉදිරිපත් වෙනවා.එහි අපූර්වත්වය කියන්නෙ ඒ අවස්ථාවෙදිම පළමුවරට ඉන්දියාව තුන් පිම්ම ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නවා.එපමණක් නෙමෙයි පළමුවරට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක ඉන්දියාව තුන් පිම්ම පිරිමි ඉසව්වේ දිනූ රිදි පදක්කමත් දිනා ගන්නවා.ඉසව්වේ හතරවැනියා තව සෙන්ටි මීටර් 4 ක් පැන්නනම් ලෝකඩ පදක්කමත් ඉන්දියාව දිනා ගන්නවා.(ප්‍රතිපල ලේඛණය මෙහි දක්වා තිබෙනවා.)
සම්පත් වීරසිංහට ජිවිතය ගැන ක්‍රීඩාවෙන් හිතන්න බැරි වුණාම වෙනම මාර්ගයකට යන්න වෙන්නෙ තමන්ගේ ක්‍රීඩා දක්ෂතාවයන් අත හැරලා.අපට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙ රන් පදක්කම දිනා ගන්න ඉන්දියානුවාගේ අත්දැකීම කියැවෙන්නෙ මීට වෙනස් විදිහකට.ඔහු ක්‍රීඩාව තෝරගන්නෙ ජීවත්වෙන්න මාර්ගයක් විදිහට.ජයග්‍රාහකයා එල්ඩෝස් පෝල්.ඔහු කේරල ප්‍රාන්තයේ එර්නාකුලම් ඉපදුණු කෙනෙක්.
ඔහු අහිමිවීම්වලින් ජීවිතය වැටෙන්න නොදී දරා ගත් කෙනෙක්.ඒවා ක්‍රීඩාවෙන් ගොඩ දාන්න හිකාගෙන ක්‍රීඩාවට ආව කෙනෙක්.පෝල්ට සිය මව අහිමි වෙන්නෙ ඉතාම කුඩා අවදියෙ.ඇති හැකිකම් වෙනුනවට ආර්ථික වශයෙන් පතුලටම සිඳුණු පවුලක එදා වේල හොයාගන්න මහන්සි වෙන හැටි පෝල් පුංචි කාලෙ ඉදලම දැක්කා.අම්මාගේ ආදරය වෙනුවට මිත්තනියගේ රැකවරණය ලබන පෝලු ත් පුළුවන් වෙද්දි ආචිචිගේ ලීමෝලෙ වැඩවලට හවුල්වෙන්න ගියා.
පෝල් මේ සියල්ල මැඩ පෙරට එන්න ඇති මඟ හැටියට දැක්කෙ ක්‍රීඩාව සහ අධ්‍යාපනය.ඒ කාරණාවන් සමබරව පවත්වාගෙන යෑමේ දුෂ්කරතාවයත් ඔහුගේ දෛනික ජීවිතයේ දුෂ්කරතා ගොන්නට එකතු වුණා.
පෝල් අරමුණට හෙමින් ළඟා වෙමින් කොතමංගලම් මාර් අතනාසියස් විද්‍යාලයේ (MAC) ක්‍රීඩා නේවාසිකාගාරයට ඇතුළත් වීමට සමත්වෙනවා.ඒ 2013 දී.එහිදී ඔහුගේ පුහුණු වගකීම භාර ගත් ටී.පී.ඕෂප් කියන්නෙ පෝල් තමන් වෙත යමෙක් යොමු කළ බවත් ඔහුගේ උස ගැන තමාට මුලින් සෑහීමක් තිබුණෙ නැති බවත්ය.ඒ නොසෑහීම සෑහීමක් බවට පත් කරගන්න පෝල්ව පරික්ෂා කිරිමේදී ඕසෙෆ්ට හැකි වෙනවා.
හොඳ වේගයක්,නමනීය සිරුරක් සහ ඉහළ මට්ටමේ ඉල්පීමේ හැකියාවක් ඔහුට තිබුණා.ඕසෙෆ් පෝල්ව තුන් පිම්ම සදහා යොදවා ගැනීමට බල පෑ හේතු පැහැදිළි කරනවා.
ඔහු මුල් වසරේ හොඳම දක්ෂතාවය දක්වා තිබුණෙ මීටර් 13 ක් ලෙසයි.දෙවන වසරේ එය මීටර් 14 යි.ඒත් කෙවන වසර වෙන කොට එය මීටර් 16 දක්වා ඉහළ යනවා.මේ අතර පෝල් මහන්සියෙන් ක්‍රීඩාව වෙනුවෙන් කැප වුණත් සමහර විට සතියේ දින දෙකක් ආච්චිගේ තුරුල්ලට යනවා.ඒ ඕසෙෆ්ගේ විශේෂ අවසරය සමඟින්.යන්නෙ ආච්ච් එක්ක හුරතල් වෙන්න නෙමෙයි.ආච්චි වැඩ කරපු ලී මෝලෙ වැඩ කරන්න.ගෙදර ආර්ථිකයට හයියක් වෙන්න.
මේ විදිහට දක්ෂතා දවසින් දවස දියුණු වෙමින් ඉන්න අතරෙ පෝල් කලා අංශයෙන් උපාධියට ළංවෙන මොහොතක ඔහුව දෙපැත්තට අදින්න ගත්ත තැනක හිරවෙනවා.ඒ නාවික හමුදාවෙ රැකියාවට ලැබෙන ඉල්ලුම.
යන්න,ඔබට ජීවිතයෙ මේ මොහොතෙ වැදගත් මුදල්.
ඔසෙෆ් තමන්ගෙ තීරණය දෙනවා.ඒ 2016 වසරෙදි.ඊට පස්සෙ ඔහු නාවික හමුදා සේවය ඇතුළෙ වඩා දක්ෂ මගපෙන්වීමක් ලබා ගෙන මේ වසරෙ අප්‍රේල් 06 වන දා පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ඔහු මීටර් 16.99 ක පිම්මක් පනිමින් ජාතික සම්මේලන කුසලාන තරගාවලියෙ ප්‍රථමයා වෙනවා.එතනින් පසු තරග දෙකකදිම මැයි මස සහ ජූනි මස ඔහුට ජාතික මට්ටමෙන් හිමිවන්නෙ තෙවන තැන.නමුත් ඉන්දියාව පෝල්ගෙ 16.99 අපූරු පිම්ම අමතක කරන්නෙ නැහැ.දෙන්නෙක්ට පැරදුණා වෙයන් පැත්තකට කියන්නෙ නැහැ.තිදෙනාම පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට ඉදිරිපත් කරනවා.ඒකෙ ප්‍රතිපලය තමයි පෝල්ගේ මීටර් 17.03 ක අපූරු පිම්ම.දෙවැනි තැනට ආ ඉන්දියාවේම අබ්දුල්ලා අබුබකර්ගේ පිම්මත් මීටර් 17.02 ක් වෙද්දි පදක්කම් දෙකක් විතරක් නෙමෙයි මීටර් 17 ක් ඉක්මවා පනින තුන් පිම්ම සූරයන් දෙදෙනෙකුත් ඉන්දියාව සතු වෙනවා.
චමින්ද සම්පත් ක්‍රීඩාව තෝරගෙන ජීවිතය බේරගන්න වෙනත් රැකියාවකට යනවා.පෝල් ජිවිතය බේරගන්න ක්‍රීඩාව තෝර ගන්නවා.ඔහු දක්ෂයෙක් දිනන්න හැකි මිනිහෙක් බව සහතික කරාට පස්සෙ රටක් හැටියට ක්‍රීඩා පරිපාලකයන් හැටියට ඔවුන් පෝල්ව අත හැරියේ නැහැ.සෙන්ටි මීටර් ගාණකින් පස්සට ගියහම මාධ්‍යයටත් කියලා කකුල් කැඩිලා කියලා සටහන් දැම්මෙව්වෙ නැහැ.ඔහුට යළි උපරිමයට එන්න අවස්ථාව දුන්නා.ඒක දැක්කා.ඒකෙන් එක පදක්කමක් වෙනුවට පදක්කම් දෙකක් රටක් හැටියට දිනා ගත්තා.සම්පත් සහ පෝල් කියන්නෙ ලංකාවයි ඉන්දියාවයි තේරුම්ගන්න උදාහරණ දෙකක්.

RM

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.