සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම මූලික කරගෙන මඟී ඩ්‍රෝන යානා සේවාවක් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට යෝජනාවක්…

රෂිකා හෙන්නායක අගෝස්තු 18 , කොළඹ LNW :

මඟී ඩ්‍රෝන යානා සේවාවක් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීම සඳහා සැලසුම් කිරීමට විශේෂ සාකච්ඡාවක් වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වූයේ, අමාත්‍යය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්.


නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ.එස්.මංගල, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් දමිත් රඹුක්වැල්ල මහත්වරුන් සමඟ අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම සාකච්ඡාවට එක් වූහ.


මෙම සාකච්ඡාවේ අනෙක් පාර්ශවය වූයේ මඟී ඩ්‍රෝන යානා සේවාව සැපයීමට ඉදිරිපත් වී සිටින චීනයේ ඊ – හැංග් (E – Hang) සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී කෝනර් යැං (Mr. Conor Yang) මහතා සහ මෙහෙයුම් සාමාන්‍යාධිකාරී ෂියාඕ නා ලී (Ms. Xiao Na Lee) මහත්මිය ප්‍රමුඛ නියෝජිතයින් කණ්ඩායමක්.

සාකච්ඡාවේදී ප්‍රථමයෙන්ම විෂයභාර අමාත්‍යවරයා කරුණු පැහැදිලි කරමින්, ශ්‍රී ලංකාව තුළ මඟී ඩ්‍රෝන යානා සේවාවක් ආරම්භ කිරීම, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයටත්, හදිසි ආපදා සේවා සඳහා යොදාගැනීමත්, සමුද්‍රීය ක්ෂේත්‍රය තුළ නාවික අවශ්‍යතා සපයාගැනීමටත් සුදුසු පරිදි යොදාගැනීම ප්‍රධාන අරමුණු බවයි.

එමෙන්ම මෙම යානා තුළ ගමන් කරන මඟීන්ගේ සුරක්ෂිතභාවය හා වගකීම කෙසේ විය යුතු ද යන්න සාකච්ඡාවට භාජනය විය. මඟී ඩ්‍රෝන යානා මෙහෙයුම් ශ්‍රී ලංකාවේ වාණිජ වශයෙන් ආරම්භ කිරීමට පෙර, ගුවන් ආරක්ෂාව, නියාමන රාමුව, ගුවන් මාර්ග පාලනය, හදිසි මෙහෙයුම්, සයිබර් ආරක්ෂාව, දත්ත ආරක්ෂාව සහ ගොඩබැස්සවීම් ස්ථාන ඇතුළු සියලු කරුණු සම්බන්ධයෙන් වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයෙන්, ශ්‍රි ලංකා සිවිල් ගුවන්සේවා බලධාරීන්ගේ විධිමත් අනුමැතිය අනිවාර්යයෙන් අවශ්‍ය බව විෂයභාර අමාත්‍යවරයා අවධාරණය කරනු ලැබුවා.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන්සේවා අධිකාරියට අමතරව ආරක්ෂක අමාත්‍යාංශය, ගුවන් හමුදාව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ආයෝජන මණ්ඩලය (BOI), වරාය නගර කොමිසම, ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගම බලධාරීන් ඇතුළු ආයතන රැසක් සමඟ සම්බන්ධීකරණය අවශ්‍ය බව තීරණය විය.

විශේෂයෙන් දුරස්ථ පාලනය සහ සන්නිවේදන තාක්ෂණය භාවිතා වන බැවින් විදුලි සංදේශ සම්බන්ධ අනුමැතීන් ද අවශ්‍ය බව, අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් පෙන්වා දුන්හ.

මෙම සාකච්ඡාවේදී ඊ හැංග් බලධාරීන් මඟී ඩ්‍රෝන යානා තාක්ෂණය පිළිබඳව දීර්ඝ ලෙස පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. මෙම යානා eVTOL (electric Vertical Takeoff and Landing) යාන ලෙස හඳුන්වනවා. එසේ වන්නේ යානාව සිරස්ව ඉහළට ගුවන්ගත වීමටත්, සිරස්ව පහළට ගොඩබෑමටත් හැකි සහ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන යානාවක් වීමයි. ඒ නිසා ‍ගොඩබෑමට හා ගුවන්ගත වීම අවශ්‍ය වන්නේ වර්ග මීටර් 900කට වඩා අඩු ඉඩ ප්‍රමාණයක්. මඟීන් දෙදෙනෙකුට ගමන් කළ හැකි යානයක ප්‍රචාලන පංකා 16ක් ක්‍රියාත්මක වේ. හදිසි අවස්ථාවකදී ගොඩබෑමට අවශ්‍ය වන්නේ පංකා 4ක ක්‍රියාකාරිත්වය පමණි.

එක් ප්‍රධාන පාලන මැදිරියක සිට යාන ස්වයංක්‍රීයව පාලනය කරන අතර, AI තාක්ෂණය ඒ සඳහා යොදාගනී. බැටරි කට්ටල 12ක් සහ ගුවන් පාලන පද්ධති 03කින් මෙම යානාව සමන්විත නිසා හදිසි හෝ දෝෂ අවස්ථාවකදී යානයේ ස්ථාවරත්වය සහ ආරක්ෂාව පවත්වාගැනීමට ද හැකි වේ.

සංචාරක ක්ෂේත්‍රයේ දී සීගිරිය, පිදුරංගල වැනි උස් මට්ටමේ ඓතිහාසික ස්ථාන නැරඹීමට වඩාත් ඵලදායී ලෙස යොදාගැනීමටත්, වරාය නගරයේ හා කොළඹ නගරය තුළ සංචාරකයින්ගේ අවශ්‍යතා සඳහා ද යොදාගැනීමටත් ඇති හැකියාව පිළිබඳව සාකච්ඡාවේදී අදහස් හුවමාරු විය.
වරාය නගරය තුළ මෙම යානා මෙහෙයුම් සිදු කරමින් ආදර්ශ කලාපයක් ඇති කිරීමට ද අදහස් යෝජනා පල විය.
ඊ හැංග් බලධාරීන් ප්‍රකාශ කළේ කටුනායක ගුවන්තොටුපළේ සිට කොළඹ නගරයේ පිහිටි හෝටලයකට පැමිණෙන සංචාරකයෙකුට එක් ගමනකට ඇමරිකන් ඩොලර් 20ත් 30ත් අතර මුදල් ප්‍රමාණක් වැය කිරීමට සිදුවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්ෂය රෝග මර්දනයට ඉන්දීය රජයෙන් අතහිත!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : රුපියල් මිලියන 52...

දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව ඔක්. 15 දින යළි කැඳවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත්...

හිටපු ඇමති බෝගොල්ලාගමත් අත්අඩංගුවේ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් හෝ දුෂණ චෝදනා...

CAA අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පලතුරු ඉදවුම් කිරීමේ...