සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ආර්ථිකය අඩපණ කිරීම සඳහා එක්සත් ජනපදය දියත් කර ඇති මෙහෙයුමට සහාය නොදෙන ලෙස ඉරානය සියලු අසල්වැසි හා ගල්ෆ් කලාපීය රටවලින් ඉල්ලා තිබේ.
එම මෙහෙයුමට සහාය දක්වන රටවල් “සතුරන්” ලෙස සලකන බවට ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් මොහ්සෙන් රෙසායි අනතුරු අඟවා ඇත.

ඊයේ (22) IRIB වෙත අදහස් දක්වමින් රෙසායි පවසා ඇත්තේ, “එක්සත් ජනපදයේ ආර්ථික යුද්ධයට එක් නොවන්නැයි අපි සියලු අසල්වැසි රටවලින් ඉල්ලා සිටිමු. එසේ නොවුණහොත් අපි ඔවුන් සතුරන් ලෙස සලකනු ඇත” යනුවෙනි.
මේ අතර, ඉරානයට එරෙහිව තම රජය විසින් මෙතෙක් ක්‍රියාත්මක කළ “දරුණුතම ආර්ථික මෙහෙයුම” දියත් කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ඉරානයට ආර්ථික සහාය ලබාදෙන ඕනෑම රටකට දැවැන්ත ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවටද ඔහු අනතුරු අඟවා ඇත.
මෙම තත්ත්වය හමුවේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ අවධානයද තවදුරටත් ඉහළ ගොස් තිබේ. ලෝකයේ වැදගත්ම බලශක්ති ප්‍රවාහන මාර්ගයක් වන මෙම සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ගමනාගමනයට බාධා ඇති වුවහොත්, තෙල් ඇතුළු භාණ්ඩවල ගෝලීය මිල ගණන් කෙරෙහි දැඩි බලපෑමක් එල්ල විය හැකිය.
කලාපයේ රටවල් ඇමරිකානු ආර්ථික පීඩනයට සහාය දක්වනවාද, නැතහොත් ඉරානය සමඟ සබඳතා පවත්වාගෙන යනවාද යන්න ඉදිරියේදී තීරණාත්මක කරුණක් වනු ඇත.

