8 වන සහ 9 වන පාර්ලිමේන්තු වාරයන් වලදී “අසීමිත” ඉන්ධන පරිභෝජනයක්: විගණන වාර්තාවක් හෙළි කරයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 , කොළඹ LNW :

ශ්‍රී ලංකාව මෑත ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින්, සාමාන්‍ය ජනතාව ඉන්ධන පෝලිම්වල පීඩා විඳිමින් සහ “QR” කෝටා ක්‍රමයකට හුරු වී සිටි වකවානුවක, රටේ ඉහළම ව්‍යවස්ථාදායකයේ වරප්‍රසාද ලත් පන්තිය හැසිරී ඇත්තේ කෙසේද? 8 වන සහ 9 වන පාර්ලිමේන්තු සභාවාරයන් පිළිබඳව නිකුත් වූ නවතම විගණන වාර්තාව මගින් අනාවරණය කර ඇති තොරතුරු අනුව, රාජ්‍ය සම්පත් අවභාවිතයේ බරපතලම පැතිකඩක් නිරූපණය කරයි. මහජනතාව දැඩි මූල්‍ය පාලනයක් සහ අරපිරිමැසුම් ක්‍රියාමාර්ග අනුගමනය කරද්දී, පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන් සහ මහජන නියෝජිතයන් පද්ධතියේ පවතින හිඩැස්වලින් අයුතු ප්‍රයෝජන ගෙන ඇති ආකාරය මෙහිදී මැනවින් පැහැදිලි වේ.

කථානායකවරයාගේ ඉන්ධන භාවිතයේ “ප්‍රශ්නගත” වර්ධනය

විගණන වාර්තාවට අනුව, පාර්ලිමේන්තුවේ කථානායකවරයාට ඉන්ධන භාවිතය සම්බන්ධයෙන් කිසිදු සීමාවක් පනවා නොතිබීම තුළ ඔහු "සීමාරහිත" පරිභෝජනයක නිරත වී ඇත. මෙහි ඇති වඩාත්ම උත්ප්‍රාසාත්මක සහ ගැටලුකාරී කරුණ වන්නේ, රටේ ආර්ථිකය කඩා වැටුණු 2022 වර්ෂයට සාපේක්ෂව, ඉන් පසු වසරවලදී ඔහුගේ ඉන්ධන භාවිතය අසාමාන්‍ය ලෙස ඉහළ යාමයි.

2023 වසරේදී ඔහුගේ ඉන්ධන භාවිතය 66% කින් ඉහළ ගොස් ඇති අතර, 2024 වන විට එය 155% ක දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරයි. 2023 වසරේදී මාසිකව සාමාන්‍යයෙන් ඉන්ධන ලීටර් 3,994 ක් ද, 2024 දී එය ලීටර් 6,122 ක් දක්වා ද ඉහළ ගොස් ඇත. මුළු රටම අරපිරිමැස්ම ගැන කතා කරද්දී, ප්‍රධානතම මහජන නියෝජිතයෙකුගේ පරිභෝජනය මෙලෙස දෙගුණයකටත් වඩා වැඩි වීම බරපතල ප්‍රශ්නාර්ථයකි.

කථානායකවරයාගේ වාර්ෂික ඉන්ධන පිරිවැය:

  • 2023 වර්ෂය: රුපියල් 19,373,866 (මිලියන 19.3 ක්)
  • 2024 වර්ෂය: රුපියල් 26,045,103 (මිලියන 26.04 ක්)

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති: නිල වාහන 3ක් මදිවට පෞද්ගලික වාහනයටත් රජයෙන් ඉන්ධන?

නියෝජ්‍ය කථානායකවරයාගේ වරප්‍රසාද පරික්ෂා කිරීමේදී පෙනී යන්නේ, ඔහු කැබිනට් නොවන අමාත්‍යවරයෙකුට සමාන කරමින් 2018 වසරේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබුණද, එම තනතුරට අදාළ ඉන්ධන සීමාවන් සිතාමතාම නොසලකා හැර ඇති බවයි. ලේකම්වරයාගේ රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය අනුව නියෝජ්‍ය කථානායකවරයාට හිමිවිය යුත්තේ නිල වාහන 3 ක් පමණි. එහෙත් ඔහු භාවිත කර ඇත්තේ “වාහන හතරක” බලඇණියකි.

  • නිල වාහන 3 ට අමතරව තමන්ගේ පෞද්ගලික මෝටර් රථයකටද රජයේ වියදමින් ඉන්ධන ලබාගෙන ඇත.
  • මෙම පෞද්ගලික වාහනය සඳහා පමණක් 2023-2024 කාලයේදී රුපියල් 8,545,037 ක් වැය කරමින් ඉන්ධන ලීටර් 21,299 ක් ලබාගෙන තිබේ.
  • මෙම අතිරික්තයට අමතරව, තමන්ට හිමි නිල වාහන සඳහාද නියමිත සීමාවන් ඉක්මවා 2023 දී ලීටර් 6,980 ක් සහ 2024 දී ලීටර් 1,515 ක් භාවිත කර ඇත.

මෙම "අසීමිත" ඉන්ධන සංස්කෘතිය නියෝජ්‍ය කථානායකවරයාට පමණක් සීමා නොවේ. විගණන වාර්තාව පෙන්වා දෙන්නේ නියෝජ්‍ය කථානායක ධුරයට පහළ තනතුරක් වන 'කාරක සභා සභාපති' (Chairman of Committees) තනතුර සඳහා ද කිසිදු නිසි තීරණයකින් තොරව නිල වාහන 3 ක් වෙන් කර සීමා රහිතව ඉන්ධන ලබා දී ඇති බවයි.

මහලේකම්වරයාගේ "වාහන දෙකේ" අභිරහස

මෙම අක්‍රමිකතා තනි පුද්ගලයෙකුට පමණක් සීමා නොවී, පද්ධතිය පුරාම පිළිකාවක් මෙන් පැතිර පවතින බව පෙනී යන්නේ මහලේකම්වරයාගේ වාර්තා පරීක්ෂා කිරීමේදීය. පාර්ලිමේන්තුවේ පරිපාලන ප්‍රධානියා වන මහලේකම්වරයා, 2022 සහ 2023 වර්ෂයන් හිදී එකවර නිල වාහන දෙකක් භාවිත කර ඇති බව විගණනයේදී හෙළි විය. ධාවන සටහන් පත්‍ර (Logbooks) අනුව මෙම වාහන දෙකම එකම කාල සීමාවක් තුළ ධාවනය කර තිබේ.

2024 නොවැම්බර් 30 දිනැති හැන්සාඩ් වාර්තාවට අනුව, මහලේකම්වරයාගේ දීමනා ‘ආයතන සංග්‍රහය’ සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛවලට අනුකූල විය යුතු වුවද, ප්‍රායෝගිකව එවැනි කිසිදු සීමාවක් ක්‍රියාත්මක වී නැත. 2022 සිට 2024 දක්වා කාලය තුළ ඔහු භාවිත කර ඇති ඉන්ධන ප්‍රමාණය ලීටර් 15,063 කි. මෙය වර්තමාන රාජ්‍ය සේවයේ ඉහළම ඉන්ධන කෝටාව හිමි අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ පරිභෝජනයට වඩා ලීටර් 2,300 ක අධික වීමකි.

රුපියල් 8 බැගින් ඉන්ධන ලබාගත් "අමුතු" ක්‍රමය සහ මූල්‍ය හානිය

විගණන වාර්තාවේ වඩාත්ම කම්පිත තොරතුර වන්නේ නියෝජ්‍ය මහලේකම් සහ සහකාර මහලේකම්වරුන් භුක්ති විඳි වරප්‍රසාදයයි. ඔවුන්ට පෞද්ගලික ගමන් සඳහා මාසිකව කිලෝමීටර් 1,200 ක් (සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට කිලෝමීටර් 960 ක්) ලබා දී තිබූ අතර, එම සීමාව ඉක්මවන සෑම කිලෝමීටරයකටම අය කර ඇත්තේ රුපියල් 8 ක් වැනි සොච්චම් මුදලකි.

වෙළඳපල මිල අහස උසට නැග තිබියදීත්, 2015 සැප්තැම්බර් සිට 2022 ජූනි දක්වා වසර හතකට අධික කාලයක් මෙම රුපියල් 8 මිලම පවත්වාගෙන යාම නිසා රජයට රුපියල් 2,712,995 ක මූල්‍ය අලාභයක් සිදුව ඇත. එහි විගණන මට්ටමේ breakdown එක පහත පරිදි වේ..

  • සහකාර පාර්ලිමේන්තු මහලේකම් (පාලන): රු. 512,312
  • සහකාර පාර්ලිමේන්තු මහලේකම් (ව්‍යවස්ථාදායක සේවා): රු. 1,107,876

ආර්ථික විශ්ලේෂණාත්මක නිරීක්ෂණය 2022 ජූලි මස සිට මෙම අතිරික්ත භාවිතය සඳහා වෙළඳපල මිල අය කිරීමට තීරණය කළ සැණින්, මෙම නිලධාරීන්ගේ වාහන භාවිතය සැලකිය යුතු ලෙස අඩු වී ඇත. මෙයින් මනාව තහවුරු වන්නේ, මීට පෙර පැවති ඉන්ධන නාස්තිය හුදෙක් අවශ්‍යතාවය මත නොව, ඉතා අඩු මිලට (රු. 8) ලැබුණු අයුතු වරප්‍රසාදය නිසා සිදු වූවක් බවයි.

මෙම විගණන වාර්තාව මගින් නිරාවරණය කරන්නේ පාර්ලිමේන්තුව තුළ මුල් බැසගත් “අසීමිත වරප්‍රසාද” සංස්කෘතියයි. රටේ පොදු රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ සහ ආයතන සංග්‍රහය පවා නොසලකා හරිමින්, මහජන මුදලින් මෙලෙස සුඛවිහරණය ලැබීම කිසිසේත්ම අනුමත කළ නොහැක. ඉදිරියේදී හෝ පාර්ලිමේන්තුවේ සමස්ත පරිපාලනයම ජාතික ප්‍රතිපත්ති සහ චක්‍රලේඛ සමඟ සමපාත විය යුතු අතර, එවැනි වගවීමක් නොමැති තාක් රාජ්‍ය සම්පත් කළමනාකරණය හුද මායාවක් පමණක් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (09) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 09) දිනයේදී දිවයිනේ බොහෝ...

ජංගම ගිණුම – අගෝස්තු 2026

මාස හතරකට පසුව, 2026 අගෝස්තු මාසයේදී විදේශ අංශයේ ජංගම...

Quantum AI Limited එක්ක ගනුදෙනු එපා – සුරැකුම්පත් කොමිසම අනතුරු හඟවයි

Quantum AI Limited නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත්...

විමල්ගේ අයථා වත්කම් නඩුව : සාක්ෂිකරුවන් තිදෙනෙකුට සිතාසි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ සිට 2014 වසර දක්වා...