සටහන : සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) අගෝස්තු මස 25වන දින : ඉරානයේ ආර්ථික ආදායම් මාර්ග අඩපණ කරමින් එරට ජාත්‍යන්තර වශයෙන් තවදුරටත් හුදකලා කිරීමේ අරමුණින් ඇමෙරිකා එක්සත් ජනපදය “Operation Economic Outcast” නමින් නව ආර්ථික පීඩන මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් (Scott Bessent)විසින ඊයේ(24)දිනයේදී මේ බව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබුණේ, ඉරානයට එරෙහි සම්බාධක තවදුරටත් දැඩි කරන බවත්, ඉරානයට ආදායම් උපයා ගැනීමට සහ පවතින සම්බාධක මඟහැරීමට සහාය වන ජාල ඉලක්ක කර ගනිමින් මෙම පියවර ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ය.
මෙහිදී රානයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන තෙල් අපනයන කෙරෙහිද ඇමෙරිකාවේ අවධානය යොමුව ඇති අතර ඉරාන තෙල් වෙළඳාමට සම්බන්ධ සමාගම්, මූල්‍ය ආයතන සහ ප්‍රවාහන ජාලවලට එරෙහිව සම්බාධක දැඩි කිරීම මෙහෙයුමේ ප්‍රධාන අරමුණක් බව වාර්තා වේ.
එමෙන්ම ඉරානය සමඟ ව්‍යාපාරික සබඳතා පවත්වාගෙන යන ඇතැම් විදේශීය සමාගම් සහ රටවල්ද ඇමෙරිකානු සම්බාධකවල බලපෑමට ලක්විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර ඇමෙරිකානු රජය පවසන්නේ මෙම ක්‍රියාමාර්ග හරහා ඉරානයේ ආර්ථික හැකියාව සීමා කර, එරට ජාත්‍යන්තර ආර්ථික පද්ධතියෙන් තවදුරටත් හුදකලා කිරීම අපේක්ෂා කරන බවයි.
මෙම නව සම්බාධක වැඩපිළිවෙළ ගෝලීය තෙල් වෙළඳපොළට, ජාත්‍යන්තර වෙළඳාමට සහ ඉරානය සමඟ ආර්ථික සබඳතා පවත්වන රටවලට බලපෑම් ඇති කළ හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

