රෂිකා හෙන්නායක අගෝස්තු 26 , කොළඹ LNW :
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ග්‍රාම සංවර්ධන පුහුණු හා පර්යේෂණ ආයතනය මඟින් ප්‍රථම වතාවට සංවිධානය කරන ලද පර්යේෂණ සම්මන්ත්‍රණය ඊයේ (25) පෙරවරුවේ, විෂය භාර අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන්, පිළිමතලාවේ පිහිටි ග්‍රාම සංවර්ධන පුහුණු හා පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
පර්යේෂණ දැනුම, ප්‍රතිපත්තිමය දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් හුවමාරු කර ගැනීමේ අරමුණින්, “තිරසාර ග්‍රාමීය සංවර්ධනය: සියල්ලන් ඇතුළත්, අභියෝග හමුවේ ශක්තිමත්ව නැගී සිටින අනාගතයක් සඳහා ප්‍රජාව සවිබලගැන්වීම” යන තේමාව යටතේ පැවති මෙම පර්යේෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ ජපානයේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එන්. එස්. කුරේ මහතා විසිනි.
එහිදී ආරාධිත දේශනය සිදු කරමින් අමාත්‍ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ, ග්‍රාමීය සංවර්ධනය මාර්ග, ගොඩනැගිලි, කෘෂිකර්මාන්තය හෝ යටිතල පහසුකම් සංවර්ධනයට පමණක් සීමා නොවන බවත්, ජනතාවගේ ජීවන තත්ත්වය සහ හැකියාවන් වර්ධනය කිරීම එහි මූලික අරමුණ විය යුතු බවත්ය.
තවද, දරිද්‍රතාව පවුලක ආදායමෙන් පමණක් මැනිය නොහැකි බවත්, නිවාස, පෝෂණය, අධ්‍යාපනය, සෞඛ්‍යය, රැකියා, කුසලතා, මූල්‍ය ප්‍රවේශය සහ ආරක්ෂිත පරිසරය වැනි සාධක ද දරිද්‍රතාව සමඟ සම්බන්ධ වන බවත් ඒ මහතා අවධාරණය කළේය.
එමෙන්ම, ආර්ථික අර්බුද, දේශගුණික විපර්යාස, ස්වාභාවික ආපදා, ආහාර අනාරක්ෂිතභාවය සහ වෙළෙඳපොළ වෙනස්කම් හමුවේ ග්‍රාමීය ප්‍රජාවන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අමාත්‍ය උපාලි පන්නිල මහතා, දරිද්‍ර පවුල් සඳහා විවිධ ආදායම් මාර්ග, තාක්ෂණය, දැනුම, මූල්‍ය පහසුකම් සහ වෙළෙඳපොළ අවස්ථා ලබාදීමේ වැදගත්කම අවධාරණය කළේය.


