කොළඹ LNW:චීන-ඉන්දීය දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් දෙරට විශේෂ නියෝජිතයින්ගේ 25වැනි සාකච්ඡා වටය ඊයේ(25) බෙයිජිංහිදී පැවැත්වුණා. එහිදී දේශසීමා ගැටලුව සහ ද්විපාර්ශ්වික සබඳතා ඇතුළු කරුණු සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.
චීන – ඉන්දීය දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් චීන විශේෂ නියෝජිත විදේශ අමාත්‍ය Wang Yi මහතා එහිදී පැවසුවේ, සබඳතා යහපත් හා ස්ථාවර ලෙස වර්ධනය වීම, දෙරටේ ම ජනතාවගේ මූලික අවශ්‍යතාවලට අනුකූල වන බවයි. එය ගෝලීය හා උපායමාර්ගික වශයෙන් වැදගත් වන බව ද හෙතෙම අවධාරණය කළා.
සාකච්ඡාවේදී ඇති කරගත් එකඟතා දෙපාර්ශ්වයම ක්‍රමවත් ලෙස ක්‍රියාත්මක කරමින් සිටින බව සඳහන් කළ Wang Yi මහතා, ද්විපාර්ශ්වික සබඳතා තුළ දේශසීමා ගැටලුවට නිසි අවධානය ලබා දෙමින්, පසුබෑමකින් තොරව ඉදිරියට යා යුතු බව ද සඳහන් කළා. චීන-ඉන්දීය දේශසීමා කටයුතු සම්බන්ධයෙන් ධනාත්මක ආඛ්‍යානයක් ගොඩනගාගත යුතු බව ද ඔහු සඳහන් කර තිබෙනවා. එමෙන්ම සංවාද, සාමය, සාකච්ඡා සහ සහයෝගීතාවය ප්‍රධාන ප්‍රවණතාව බවට පත් කළ යුතු බව ද හෙතෙම අවධාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී ඉන්දියාවේ විශේෂ නියෝජිත සහ ජාතික ආරක්ෂක උපදේශක Ajit Doval මහතා පැවසුවේ, චීනය සමග උපායමාර්ගික සන්නිවේදනය තවදුරටත් ශක්තිමත් කිරීමට, දේශසීමා ඵලදායී ලෙස කළමනාකරණය කරමින් දේශසීමා ගැටලුවට විසඳුම් සෙවීමටත් චීන–ඉන්දීය සබඳතා වේගවත් ලෙස වැඩිදියුණු කර සංවර්ධනය කිරීමටත් ඉන්දියාව සූදානම් බවයි.
දිනූෂි ධීරසිංහ


