කොළඹ LNW:හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධ බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළ නඩුකරය පසුගියදා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග විය.
දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් අයට සාධාරණය ඉටුවිය යුතුය යන්න අවධාරණය කරමින් ගැමි කාන්තා පෙරමුණ නිහඬ විරෝධයක් දක්වන ලදී.
ඔවුන් එම විරෝධය අඛණ්ඩවම සිදුකරමින් හිඳියි.
මෙවරද එම නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී ගැමි කාන්තා පෙරමුණ නියෝජනය කරමින් නීතීඥවරියන් සිව් දෙනෙකුගේ කණ්ඩායමක් පෙනී සිටියහ.
මෙහිදී දැකගත හැකි වූ දෙයක් වූයේ දැරිය වෙනුවෙන් විවිධ සංවිධාන, කණ්ඩායම් සහ පුද්ගලයන් පසුගිය නඩුවාරයේ නීතීඥ නියෝජනය ලබාදී තිබුණ ද මෙවර එය සීමා සහිත වීමයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජනය ද මෙවර දැරිය වෙනුවෙන් තිබී නැත. ඒ අනුව සිවිල් සංවිධාන නීතීඥ නියෝජනය මෙවර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් සිදුවූ කැපී පෙනෙන සිදුවීමක් විය. සුපුරුදු පරිදි මෙවර ද සැකකාර හිමිනම වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් ඇතුළු 20 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් පෙනී ඉඳ තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් විමර්ශනය සිදු කෙරෙන අනුරාධපුර අධිකරණය වෙත අද දින වන විට DNA වාර්තා 3 ක් ලැබී තිබිණි. තවද වින්දිත දැරියගේ මානසික සෞඛ්‍ය පිළිබඳ වාර්තාවක් ගැනීම සඳහා රාගම රෝහලේ විශේෂඥ මනෝවෛද්‍යවරයෙකු වෙත නොතීසි නිකුත් කිරීම ද සිදුවිය. සිද්ධිය සම්බන්ධ දුරකථන ඇමතුම් වාර්තා අද දිනය වන විට ද ලැබී නොතිබිණි. ඒ අනුව ඉදිරි නඩු දිනය වශයෙන් දිගු දිනයක් වන 2027 ජනවාරි 8 වැනිදා ලබාදීම සිදුවිය.
සැකකාර පල්ලේගම හේමරතන හිමි අද දින ද සුපුරුදු පරිදි කිසිදු ගේට්ටු පරීක්ෂාවකින් තොරව, විනිසුරුවරුන් නීතීඥවරුන් සහ අධිකරණ කාර්ය මණ්ඩලය පැමිණෙන ගේට්ටුවෙන් පැමිණ ඇති බව ට අධිකරණය ඉදිරියේ නීතීඥවරයෙකු විසින් මතු කරන ලදී. මෙය ගරු විනිසුරුගේ අවධානයට යොමු වූ අතර, අධිකරණයේ ආරක්ෂාව භාරව සිටින ස්ථානාධිපතිවරයාගෙන් මේ සම්බන්ධව විමර්ශන වාර්තාවක් කැඳවන ලෙස ද නියෝග නිකුත් කෙරිණි.







ජායාරූප – අජිත් සෙනෙවිරත්න


