*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

ටොක්සික් පිරිමිකමට එන්නතක් විදින ‘ද බෝයිස්’ කතාමාලාවෙන් උගනීමට කරුණු 05ක්!

සුපිරි බලවතුන් ආශ්‍රිත කතාමාලාවන් නිර්මාණය වන්නේ පීඩාකාරී යතාර්ථයෙන් මිදීමට වෙරදරන මිනිසා පරිකල්පනීය වශයෙන් සොයන ෆැන්ටසි ලෝකයට පිවිසුම් මඟක් ලෙසිනි. සැබෑ සමාජයේ සිදුවන වංචා, දූෂණ, සහ අපරාධ හමුවේ නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට අසමත් වන විට, දේශපාලන බලපෑම් මත සිදුවීම් යට ගසන විට, අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගසන විට, අයුක්තිය රජ කරන විට, මුහුණ වසාගෙන ලෝගුවක් හැඳ පැමිණෙන අසරුවකු, හෝ අහසින් පැමිණෙන වීරයකු අසරණයාට පිහිට වී, අයුක්තියට අසාධාරණයට එරෙහිව සටන් වදිනු ඇතැයි බලාපොරොත්තුවක් ගෙන දීම බොහෝ සුපිරි වීර කතා වලට පදනම වී තිබේ. මෙවන් කතාමාලාවන් ලොවට රැගෙන එන මාර්වල් චිත්‍ර කතා, ඩීසී චිත්‍ර කතා, මෙන්ම ඒ ආශ්‍රිත සිනමා සිත්තම් ලොකු පොඩි කා අතරත් අදටත් අතිශයින්ම ජනප්‍රිය ය.

නමුත්… සුපිරි වීරයකු තම සුපිරි බලය භාවිතා කරන්නේ අයුක්තිය, අසාධාරණය, දූෂණය සහ අපරාධ සඳහාම නම්???

‘ද බෝයිස්’ (The Boys) කතාමාලාව දිගහැරෙන්නේ මෙතනදී ය.

ගාර්ත් එනිස් සහ ඩැරික් රොබර්ට්ස්න් ගේ චිත්‍ර කතාමාලාවක් ඇසුරෙන් එරික් ක්‍රිප්කි විසින් නිශ්පාදිත ‘ද බෝයිස්’ යනු දේශපාලනික වශයෙන් අතිශය උණුසුම් ටෙලිනාට්‍ය මාලාවකි. එක්සත් ජනපදයේ ව්‍යාපාර ලෝකයේ සෑම ක්ෂේත්‍රයකම පාහේ ඒකාධිකාරියක් පවත්වා ගන්නා ‘වෝට්’ (Vought) නම් සමාගමේ පිටුබලය ලද, තමා ලෝකය අයුක්තිය සහ අසාධාරණයෙන් මුදවා ගැනීමට පැමිණි වීරයකු යැයි චිත්‍රයක් මවා පාන, එහෙත් සැබවින්ම අයුක්තිය, අසාධාරණය, දූෂණය සහ අපරාධ මතින් ම තම කීර්තිනාමය ගොඩනඟා ගන්නා ‘ද සෙවන්’ (The Seven) නම් සුපිරි වීරවරුන් සත් දෙනෙකු පිළිබඳව ‘ද බෝයිස්’ කතාමාලාව දිග හැරේ.


‘ද බෝයිස්’ කතාමාලාවෙන් සමාජය පිළිබඳව අපට උගත හැකි කරුණු පහක් කෙරේ අවධානය යොමු කිරීමට මම කැමැත්තෙමි. එහෙත්, මෙකී කරුණු දිගහැරීම හමුවේ පාඨක ඔබට ස්පොයිලර් එලර්ට් නිකුත් කිරීමට ද මා හට සිදුවේ. ඒ අනුව, මෙතෙක් ඔබ ‘ද බෝයිස්’ කතාමාලාව නරඹා නොමැති නම් මෙම ලිපිය කියවීමෙන් වැළකී සිටින්න.

01 – ජනප්‍රියතාවාදය

ඔබ ජීවත් වන්නේ කුමන රටක වූව ද, එහි පාලනය දක්ෂිණාංශික වූව ද, වාමාංශික වූව ද, ධනවාදී වූව ද, සමාජවාදී වූව ද, නව-ලිබරල්වාදී වූව ද, ලෝකයම බූවල්ලකු සේ තම ග්‍රහණයට නතුකර ගෙන සිටින ජනප්‍රියතාවාදයෙන් (popularism) අප කිසිවකු මිදීමට සමත් ව නැත. මෙලොව පවතින සෑම දෙයක්ම පාහේ වාණිජකරණය වී ඇත; වෙළඳ වටිනාකමකින් යුක්ත වී ඇත; ජනප්‍රියතාවය සොයා මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍ය සිසාරා ගමන් කරනු ඇත. ‘ද බෝයිස්’ කතාමාලාවේ පෙන්වන අන්දමට, ‘වෝට්’ සමාගමේ අරමුදල් මත පවත්වා ගන්නා ‘ද සෙවන්’ නම් සප්ත සුපිරි වීරවරුන් කණ්ඩායම සියලු වීර ක්‍රියා කරන්නේ මුදලට ය; ජනප්‍රියතාවය පවත්වා ගැනීමට ය; ඉන්ස්ටග්‍රෑම්, ට්විටර් අනුගාමිකයන් සංඛ්‍යාව වැඩිකර ගැනීමට ය; ජන විකාශනය තුළ බැබලීමට ය; මාධ්‍ය ආවරණය ලබා ගැනීමට ය. ආපදාවක දී, අපරාධයක දී පැමිණ මිනිසුන් බේරාගන්නේ කැමරාවට පෙනී සිටිමින් ය. එකී සෑම මොහොතකම ඊට අදාළ මාධ්‍ය ආවරණය උපරිමයෙන් ලැබෙන බව තහවුරු කිරීම ‘වෝට්’ සමාගමේ කාර්ය මණ්ඩලයේ ප්‍රමුඛතම කාර්යභාරයයි. ඉහත කී කිසිඳු නිර්ණායකයක් හෝ සපුරන්නේ නැති නම්, සමාජයේ සිදුවන ආපදා, අපරාධ, අයුක්තිය සහ අසාධාරණය මෙම සප්ත වීරවරුන්ට අදාළ නැත. ‘ද බෝයිස්’ ප්‍රබන්ධමය කතාමාලාවක් වූව ද ඉන් කියවෙන්නේ ජනප්‍රියතාවාදයට නතු වූ සමාජ යතාර්ථයක් ගැන ම බව මින් අපට පැහැදිලි වේ.


02 – සමාජීය චින්තනයේ පරිණාමය

වර්ගවාදය (racism), ස්ත්‍රී-විරෝධය (misogyny), පුරුෂාධිපත්‍යය (patriarchy), විසකුරු පිරිමිකම (toxic masculinity), සමලිංගිකභීතිකාව (homophobia) සහ ආගමික අන්තවාදය (religious zeal) මොනවට කියාපාන කතාමාලාවක් බවට ‘ද බෝයිස්’ හඳුනා ගත හැකිය. එමෙන්ම, මෙකී සමාජ ගති ලක්ෂණ යුගයෙන් යුගයට වෙනස්වන අන්දම ද ‘ද බෝයිස්’ කතාමාලාව ඔස්සේ හඳුනා ගත හැකිය. කාන්තාව කෙරේ මිනිසුන් දරන ආකල්පය, සමරිසි පුද්ගලයන් කෙරේ මිනිසුන් දරන ආකල්පය මෙන්ම කළු ජාතික හෝ වෙනත් වාර්ගික ජන කණ්ඩායමක් කෙරේ ජනතාව දරන ආකල්පය අතීතයේ පැවතියේ කෙසේ ද සහ වර්තමානයේ පවතින්නේ කෙසේ ද, සහ අතීතයේ පැවති අන්දම වර්තමානයේ පවතින අන්දමින් වෙනස් වන්නේ කෙසේ ද යන්න ‘ද බෝයිස්’ එපිසෝඩ මඟින් මනාව පැහැදිලි කරනු ලබයි.

(අ) නාසිවාදී, වර්ගවාදී ස්ටෝර්ම්ෆ්‍රන්ට්/ලිබර්ටි


‘ද බෝයිස්’ කතාමාලාවේ සිටින දරුණුතම චරිතයක් වන ස්ටෝර්ම්ෆ්‍රන්ට් (Stormfront) අතිශයින්ම වර්ගවාදී සුපිරි වීර කාන්තාවකි. 19 වන සියවසේ නාසි සම්භවයක් සහිත ව උපත ලද ඈගේ වයස අවුරුදු 103 පමණ වන අතර, ඈ සතු සුපිරි බලය මත තම තරුණ පෙනුම ඒ අන්දමින්ම පවත්වා ගැනීමට ඈ සමත්ව ඇත. ඇඩොල්ෆ් හිට්ලර් සමඟ ද සමීප සබඳතාවයක් පැවති ඈ, 70 දශකයේ ලිබර්ටි (Liberty) යන නාමයෙන් සුපිරි වීරවරියක් ලෙස පෙනී සිට කළු ජාතික ඇමරිකානුවන් ඉලක්ක කරමින් එළිපිට වාර්ගික අපරාධ රැසක් සිදුකළ තැනැත්තියකි. වර්තමානයේ ස්ටෝර්ම්ෆ්‍රන්ට් නමින් සුපිරි වීරවරියක් ලෙස පෙනී සිටිමින් ද අවස්ථා ගණනාවකම ඈ විසින් වාර්ගික අපරාධ සිදුකර ඇත. හිට්ලර් සිටි යුගයේ මෙන්ම, 60 – 70 දශකයේ එක්සත් ජනපදයේ වාර්ගික අපරාධ යනු සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබූ අයුරු සහ නූතන සමාජයේ වාර්ගික අපරාධ හඳුනා ගන්නා අන්දම ස්ටෝර්ම්ෆ්‍රන්ට් හරහා ‘ද බෝයිස්’ මනාව පිළිඹිබු කරයි.

(ආ) සෝල්ජර් බෝයි දකින රමණය කළාට කමක් නැති ආදරය කරාම අමුතු සමරිසියන්


80 දශකයේ ‘වෝට්’ සමාගමේ නිශ්පාදනයක් වන සෝල්ජර් බෝයි (Soldier Boy) නම් සුපිරි වීරයා, රුසියාව විසින් පැහැර ගෙන දශක හතරක කාලයක් තිස්සේ සිසිල් කුටීරයක සිර කර තැබූ අයෙකි. දශක හතරකට පසු ඔහු නැවත එක්සත් ජනපදයට පැමිණෙයි. ඔහු මහමඟ ගමන් කරන සමරිසි යුවළක් දැක විශ්මයට පත්වෙයි. එහෙත් සෝල්ජර් බෝයි ට අයත් සුපිරි වීරයන් වෙනුවෙන් වෙන් වූ ලිංගික සංවාසය සඳහා වූ නිවසක් තිබෙන අතර, විෂමරිසි මෙන්ම සමරිසි සුපිරි වීරයන් ට ලිංගික ක්‍රියා වල නිරත වීම සඳහා එම නිවස නිර්මාණය කර තිබේ. සෝල්ජර් බෝයි ට මෙම නිවසේ සමරිසි පුද්ගලයන් ලිංගික ක්‍රියාවල නිරතවීම සාමාන්‍ය දෙයක් වී මහමඟ සමරිසි යුවළක් ගමන් කිරීම අසාමාන්‍ය දෙයක් වීම හරහා සමාජය සමරිසි ප්‍රජාව පිළිබඳව එදා දැරි සහ අද දරන ආකල්ප මනාව පිළිඹිබු කරයි. මහමඟ පෙමින් වෙලී ගමන් කරන සමරිසි යුවළ සෝල්ජර් බෝයි ට අරුමයක් වන්නේ ඔහු අවසාන වරට ඇමරිකානු සමාජය දුටුවේ 80 දශකයේ වීම නිසා ය. එවකට සමරිසි පුද්ගලයන් ට වර්තමානයේ ඇති නිදහස සහ සමාජීය පිළිගැනීම නොපැවති අතර, සමරිසියන් යනු හුදෙක් ලිංගික ආශාවක් ඉටුකර ගැනීමට අවශ්‍ය ජන කොට්ඨාශයක් ලෙස එදා සමාජය දැකීමට පුරුදු වී තිබීම සෝල්ජර් බෝයි හරහා පෙන්වීමට ‘ද බෝයිස්’ කතාමාලාව සමත් වෙයි.

(ඇ) පිරිමිකම ඉවවහා ගිය ඩීප් සහ ට්‍රාන්ස්ලූසන්ට්


‘ද බෝයිස්’ කතාමාලාවේ මෝඩයා ගේ චරිතය නිරූපණය කරන්නේ ඩීප් (Deep) නම් සුපිරි වීරයා ය. දිය යට හුස්ම ගත හැකි ඩීප් සිතන්නේ ඔහුට අවශ්‍ය විටක කාන්තාවක වසඟයට ගැනීමට හැකිය කියා ය. කතාමාලාව ආරම්භයේදී ම ස්ටාර්ලයිට් (Starlight) නම් ‘ද සෙවන්’ කණ්ඩායමට එකතුවන අලුත් සුපිරි වීරවරියට කලිසම ගලවා තම ලිඟුව පෙන්වා ඈට ලිංගික ක්‍රියාවකට ආරාධනා කිරීම හරහා ඔහු තම පිරිමිකම වරප්‍රසාදයක් කරගෙන තිබෙන අයුරු පෙන්වයි. මේ හා සමානම අනෙක් සුපිරි වීරයා වන්නේ ට්‍රාන්ස්ලූසන්ට් (Translucent) ය. ඔහුට අදෘෂ්‍යමානව සිටිය හැකි අතර, කාන්තාවකගේ පෞද්ගලිකත්වය තඹයකට මායිම් නොකරමින් සිය අදෘෂ්‍යමානභාවය යොදාගනිමින් කාන්තාවන්ගේ නිරුවත සොයා යෑම ට්‍රාන්ස්ලූසන්ට් ගේ පුරුද්දයි. මෙය විහිළුවක් සේ පෙනුන ද, සමාජයේ පුරුෂාධිපත්‍යයේ සහ අපයෝජනය සාධාරණීකරණය කරන සමාජ ක්‍රමයේ පිළිඹිබුවක් ලෙස එය විග්‍රහ කළ හැකිය. කාන්තාවක් ලිංගික අපයෝජනයට ලක්වීම කාන්තාවගේ හැසිරීමේ වරද මත සිදුවූ බවට සාධාරණීකරණය කරන සමාජයක අප ජීවත් වේ. එහෙත් කිසිවිටක පිරිමියකුට තම ලිඟුව රිසි සේ හැසිරවීමට අවසර ලබාදුන්නේ කවුරුන් විසින් ද යන්න අප ප්‍රශ්න කරන්නේ නැත. ‘ද බෝයිස්’ කතාමාලාව මෙම විසකරු පිරිමිකම සුනුවිසුණු කර දමන්නේ එකී සමාජ පිරිහීම මනාව නිරූපණය කරමිනි.

(ඈ) ආගමට අනුව සියලු දෑ කරන, කරවන එස්කියෙල්


ආගම දහමට අනුව ජීවත් වන බව පෙන්වන සුපිරි වීරයකු වන එස්කියෙල් (Ezekiel) සෑම විටම දෙවියන් වහන්සේ ගේ ගුණ වර්ණනා කරමින් අනුගාමිකයන් පිරිසක් තමා වටා එක්රොක් කර ගැනීමට වෙරදරයි; තමා මෙලොවට එව්වේ දෙවියන් වහන්සේ බව පවසයි; විවාහයට පෙර ලිංගිකව හැසිරීම පාපයක් බව පවසයි; විවාහ විය යුත්තේ කාන්තාවක සහ පිරිමියකු පමණක් බවත්, සමරිසිභාවය පාපයක් බවත්, සමරිසිභාවය සුවකළ යුතු රෝගයක් බවත් ඔහු තම අනුගාමිකයන්ට පවසයි. එහෙත් රාත්‍රියට සමාජශාලාවකට ගොස් පිරිමින් සමඟ හොඳින් ලිංගිකව හැසිරීමට ද එස්කියෙල් අමතක නොකරයි. මෙවන් පුද්ගලයන් හරහා සමාජයේ විවර වන්නේ කුමන අන්දමේ පැතිකඩක් ද සිතා ගැනීම පාඨක ඔබට භාර ය.

03 – මජර දේශපාලනය

පෙර සඳහන් කළ පරිදි ‘ද බෝයිස්’ යනු අතිශයින්ම දේශපාලනික කතාමාලාවකි. සමස්ත කතාමාලාව පුරාම පෙන්වන්නේ බලය අවභාවිතා කිරීම සහ එම වරප්‍රසාදය හරහා සමාජ වීරෝධී ක්‍රියා රැසක් රිසි සේ කරන සුපිරි වීරවරුන් කණ්ඩායමක් සහ ඔවුන්ගේ අපරාධ මනාව සඟවා තබාගෙන තම දේශපාලන න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරන ‘වෝට්’ නම් සමාගම පිළිබඳව ය. ‘ද බෝයිස්’ ට අනුව ‘වෝට්’ යනු ඇමරිකාවේ බලවත් ම ව්‍යාපාර සමූහයයි. ස්ටෑන් එඩ්ගර් නැමැත්තාගේ පාලනය යටතේ තිබෙන ‘වෝට්’ සමාගමට ඇතැම් විට එක්සත් ජනපදයේ කොංග්‍රස සාමාජිකයන් ද යටත් ය. එකී සියලු වැරදි හමුවේ තවමත් ‘ද සෙවන්’ යනු ඇමරිකාව උවදුරුවලින් බේරා ගැනීමට පැමිණි වීරයන් පිරිසක් යැයි ගැතිකම් කරන ජනතාවක් ද ‘ද බෝයිස්’ හරහා පෙන්වයි. මෙම බල අවභාවිතයේ හිනිපෙත්තේ සිටින්නේ ‘ද සෙවන්’ කණ්ඩායමේ නායක හෝම්ලෑන්ඩර් (Homelander) ය. හෝම්ලෑන්ඩර් යනු කැමරා කාචය ඉදිරියේ වීරයකු වන, තමාට අවශ්‍ය දෑ සිතුනේ කොයි මොහොතේ ද එය එම මොහොතේම ලබා ගන්නා පුද්ගලයෙකි. මිනිසකු ඝාතනය කිරීමට ඔහු දෙවරක් නොසිතයි. ඔහුට ප්‍රජාතන්ත්‍රවාදය අදාළ නැත; මානව හිමිකම් අදාළම නැත. එමෙන්ම, හෝම්ලෑන්ඩර් ප්‍රමුඛ ‘ද සෙවන්’ කණ්ඩායම හරහා ඇමරිකාවේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව එරට රජය පෙන්වන අතර, සැබවින්ම සිදුවන්නේ ‘ද සෙවන්’ කණ්ඩායම විසින්ම ත්‍රස්තවාදය වපුරවා ඔවුන් විසින්ම එය මැඬලා ජනතා ප්‍රසාදය දිනා ගැනීමයි. ඒ අනුව, එක්සත් ජනපදයේ රාජ්‍ය ත්‍රස්තවාදය පෝෂණය කිරීමට ‘වෝට්’ සමාගමේ පිටුබලය ලැබීම සහ තිරය පිටුපස සිදුවන මෙම දූෂණය නොදකින හුරේ තබන ජනතාව ‘ද බෝයිස්’ ඔස්සේ පෙන්වයි. මෙම දූෂණය දකින ජනතාව නිල් පාටින් සැරසී ඊට විරෝධය පාන අතර, එම දූෂණය පිළිගන්නා ජනතාව රතු පාටින් සැරසී ‘ද සෙවන්’ කණ්ඩායමට පක්ෂපාතීව එම විරෝධතාකරුවන්ට පහර දෙන අයුරු ‘ද බෝයිස්’ කතාමාලාවේ පෙන්වීම හරහා සැබෑ ඇමරිකාවේ ඩිමොක්‍රටික් – රිපබ්ලිකන් ගැටුම සංඥා කරනු ලබයි.

04 – දුර්වල මානව සංවර්ධනය

මානව සංවර්ධනයේ ඇති ගැටළු ‘ද බෝයිස්’ හරහා මනාව පිළිඹිබු කරනු ලබයි. මෙය පිළිඹිබු කරන ප්‍රධාන චරිත දෙක වන්නේ හෝම්ලෑන්ඩර් සහ බුචර් ය.

(අ) හෝම්ලෑන්ඩර්


හෝම්ලෑන්ඩර් යනු ‘වෝට්’ සමාගමේ නිශ්පාදනයක ප්‍රතිඵලයකි. සැබවින්ම ඔහු සෝල්ජර් බෝයි ගේ ජීවවිද්‍යාත්මක දරුවා බව ද එක් එපිසෝඩයක හෙළිකරනු ලබයි. ඔහු දෙමාපිය උණුසුම හඳුනන්නේ නැත. ඔහුට කුඩා කළ දෙමාපිය රැකවරණය ලැබී ද නැත. ඔහු කුඩා කළ හැදී තිබෙන්නේ ‘වෝට්’ සමාගමේ රසායනාගාරවල ගිනිපිග් මීයකු මෙන් ය. ඔහුව රැකබලාගෙන තිබෙන්නේ ‘වෝට්’ සමාගමේ එවකට සුපිරි වීරවරයන් නිර්මාණය කිරීම භාරව සිටි ප්‍රධාන විද්‍යාඥයා වූ ජොනා වෝගල්බාම් ය. පූර්ව ළමාවිය සම්පූර්ණ නොවූ හෝම්ලෑන්ඩර් සුපිරි වීරයකු වූව ද ඇතුළතින් කුඩා දරුවකු බඳු ය. ඔහු නිර්භීත බවක් පෙන්වා ගෙන සිටිය ද ඇතුළතින් බියගුලු චරිතයකි. ‘වෝට්’ සමාගම විසින් පැවරෙන කුමක් හෝ ක්‍රියාන්විතයක් අවසානයේ තමාට පරාජය හිමි වූ බව හැඟෙන්නේ නම්, ඔහු කරන්නේ ඇඳුම් ගලවා ස්වයංවින්දනයේ යෙදීමය, නැතහොත් ‘වෝට්’ සමාගමේ වීරයන් කළමනාකරණය කරන අංශයේ උප සභාපතිනි මැඩලින් ස්ටිල්වෙල් ගේ තනපුඩු උරා කිරි බීම ය. මවකගෙන් නොලද උණුසුම මැඩලින්ගෙන් ලැබීමට හෝම්ලෑන්ඩර් කැමති ය. මීට අමතරව, තමා විසින් අපයෝජනය කරන ලද කාන්තාවකට දරුවකු ලැබී ඇති බවට දැනගන්නා හෝම්ලෑන්ඩර් එම දරුවා තමා ගේ බව දැනගෙන තමාට අහිමි වූ පිය සෙනෙහස එම දරුවාට ලබා දීමට උනන්දු බවක් පෙන්වයි. සමස්ත කතාමාලාව තුළ හෝම්ලෑන්ඩර් විසින් පෙන්වන එකම යහපත් මනුෂ්‍ය ගුණාංගය වන්නේ මෙම දරුවාට ලබා දීමට ඔහු උත්සාහ කරන පිය සෙනෙහසයි. හෝම්ලෑන්ඩර් ගේ හැසිරීම හා ඔහු සහ ඔහුගේ දරුවා අතර පවතින සබඳතාවය ඔස්සේ නූතන සමාජයේ මානව සංවර්ධනයේ දුබලතා පෙන්වීමට ‘ද බෝයිස්’ සමත් වෙයි.

(ආ) බුචර්


ඉහත කී හෝම්ලෑන්ඩර් අතින් අපයෝජනයට ලක්වන කාන්තාවගේ ස්වාමිපුරුෂයා විලියම් බුචර් ය. බුචර් යනු ‘ද බෝයිස්’ කතාමාලාවේ ප්‍රධාන චරිතයයි. ඔහුගේ පරම ඉලක්කය වන්නේ සමාජය කෙළසන හෝම්ලෑන්ඩර් ප්‍රමුඛ සුපිරි බලවතුන් සමූහය විනාශ කර දැමීමයි. බුචර් යනු වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම අතිශයින් කිපෙනසුළු චරිතයකි. ඔහු සෑම විටම සිටින්නේ දුම්මල වරම අතට ගත් පුද්ගලයකු මෙනි. ඔහු ප්‍රමුඛ සුපිරි බලවතුන් විනාශ කිරීමේ මෙහෙයුමේ සිටින කණ්ඩායම ‘ද බෝයිස්’ යනුවෙන් හැඳින්වෙයි. ඔහුට සුපිරි බලවතුන් සමඟ තිබෙන්නේ පෞද්ගලික වෛරයකි. මෙම වෛරය ජනිත වන්නේ ඔහුගේ බිරිඳ හෝම්ලෑන්ඩර් අතින් අපයෝජනය වූ දා පටන් මුත්, ඔහුගේ කිපෙනසුළු මානව ලක්ෂණය ඊටත් වඩා පැරණි අතීතයකට දිව යයි. බුචර් කුඩා අවධියේදී ඔහුට බාල සොහොයුරකු සිට ඇති අතර, ඔහුගේ පියා බේබදු සහ ප්‍රචණ්ඩකාරී පුද්ගලයෙකි. ඔවුන් කුඩා අවධියේදී බුචර්ගේ පියා බීමතින් නිවසට පැමිණ ඔවුනට සෑමවිටම පහර දෙන අතර, මෙම පීඩනය දරා ගත නොහැකි තැන ඔහුගේ බාල සොහොයුරා සිය දිවි හානි කර ගනියි. තම බාල සොහොයුරාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වීමේ වරදකාරී හැඟීම තුළ ඔහු කැකෑරී ජීවත් වෙයි. වැඩිහිටි බුචර් ගෙන් විද්‍යමාන වන්නේ ඔහුගේ පියාගේ රෞද්‍ර ලක්ෂණම වන අතර, ඔහුගේ පියා ඔහු වෙත දියත් කළ ප්‍රචණ්ඩත්වයම ඔහු සුපිරි වීරයන් මර්දනය කිරීමේ මෙහෙයුමේ දී දියත් කරන බව ‘ද බෝයිස්’ කතාමාලාව නරඹන ප්‍රේක්ෂකයන්ට පැහැදිලි වෙයි. ඇතුළතින් සංවේදී චරිතයක් වන බුචර් එම සංවේදීකම වසාගෙන සිටින්නේ මෙම ප්‍රචණ්ඩකාරී හැසිරීම මත ය. ඒ අනුව, දෙමාපිය සෙනෙහස අහිමි වීම සහ කෙණෙහිලිකාරී දෙමාපියන් සිටීම මත පුද්ගලයකු සමාජගත වන්නේ කෙසේ ද, බුචර් ඊට කදිම නිදසුනක් බවට ‘ද බෝයිස්’ පැහැදිලි කර දෙයි.

05 – දෙවියන් වහන්සේ කෙනෙකු ඇත්තේ නැත?


‘ද බෝයිස්’ කතාමාලාවෙන් උගනීමට ඇති අවසාන කරුණ ලෙස මා දකින මින් අදහස් කෙරෙනුයේ ආගමික විශ්වාසවලට ගැරහීමක් නොවන අතර සමාජීය ප්‍රායෝගිකත්වය පිළිබඳවයි. දෙවියන් වහන්සේ සැබෑ ද යන වග වාද කිරීමට වඩා, මෙම කරුණෙන් අදහස් කෙරෙනුයේ, ඇසට නොපෙනෙන ස්වර්ගීය භාවරූපයක් (celestial entity) මත ජීවිතයේ සියලු දේ රඳා පැවතීමේ ඇති නිශ්ඵලභාවයයි. සමස්ත ‘ද බෝයිස්’ කතාමාලාව තුළම පෙන්වන වැදගත් කරුණක් වන්නේ ජීවිතයේ වැඩි වශයෙන් සිදුවන්නේ ප්‍රාතිහාර්යයන් නොව ප්‍රායෝගික ලැබීම් හෝ නොලැබීම් බව ය. ‘ද බෝයිස්’ කතාමාලාව අනුව, සුපිරි වීරයන් උපදින්නේ නැති අතර, කම්පවුන්ඩ් වී (Compound V) නම් ‘වෝට්’ සමාගම විසින් රහසිගතව නිශ්පාදනය කරන ලද රසායනික ද්‍රව්‍යයක් එන්නත් කිරීම හරහා සුපිරි වීරයන් කෘතිමව නිර්මාණය කිරීම සිදුවෙයි. ඒ අනුව, සමස්ත කතාමාලාව පුරාවටම දකින සුපිරි වීරයන්ගේ විශ්මකර්ම සියල්ලක්ම බිහිව තිබෙන්නේ ‘සාමාන්‍ය’ මිනිසුන්ගේ ඩීඑන්ඒ වලට කම්පවුන්ඩ් වී නම් රසායනික ද්‍රව්‍යය ඇතිකළ බලපෑමේ ප්‍රතිඵල මත ය. එසේ තිබිය දී, ‘වෝට්’ සමාගම ප්‍රමුඛ ‘ද සෙවන්’ සප්ත සුපිරි වීර කණ්ඩායම ජනතාවට පවසන්නේ, සුපිරි බලවතුන් යනු ජනතාව උපද්‍රව වලින් ගලවා ගැනීමට දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කර එවන ලද උසස් ජීවින් කොට්ඨාශයක් බව යි. දෙවියන් වහන්සේ කෙනෙකු සිටියද නොසිටිය ද, නූතන වෛද්‍ය විද්‍යාවට කළ හැකි දෑ බොහෝ බවත්, අප සමාජයක් වශයෙන් ජීවත් විය යුත්තේ එම ප්‍රායෝගිකත්වය මත පිහිටා බවත් ‘ද බෝයිස්’ කතාමාලාව කියා දෙන බව මාගේ විශ්වාසයයි.

Isuru Parakrama_OBT




Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan