2016 වසරේ පෙබරවාරි මස 27 වන දා ශ්රී ලංකා මහ බැංකුව සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් මිලියන 688ක් පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුව නොවැම්බර් මස 02 වන දා පූර්ව නඩු විභාග සම්මන්ත්රණය සඳහා කැඳවන ලෙස කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (09) නියම කළේය.
ප්රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.
මහ බැංකුවේ හිටපු නියෝජ්ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි, පර්පෙචුවල් ට්රෙෂරීස් සමාගමේ අධ්යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, කසුන් පලිසේන, මුතුරජා සුරේන්ද්රන්, චිත්ත රන්ජන් හුළුගල්ලේ, පී. ගුණවර්ධන යන විත්තිකරුවන් ඊයේ දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටි අතර නඩුවේ පළමු වන විත්තිකරු වශයෙන් නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් අධිකරණය මගහැර සිටින බැවින් ඔහු නොමැතිව නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමටත් අධිකරණය මීට පෙර තීරණය කර තිබිණි.
ඊයේ දිනයේදී නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නවීන් මාරපන පැවසුවේ මෙම නඩුවේ විත්තිකරුවෙකු වශයෙන් පර්පෙචුවෙල් ට්රෙෂරීස් සමාගම නම් කර තිබෙන බවත් එම සමාගම වෙනුවෙන් නියෝජිතයෙකු පෙනී නොසිටින බවත් ය. එම සමාගමේ කටයුතු ශ්රී ලංකා මහ බැංකුව විසින් 2018 වසරේ තහනම් කෙරුණු බවත්, ඒ අනුව අදාළ සමාගම වර්තමානයේ ව්යාපාරික කටයුතු නොකරන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දුන්නේ, අදාළ සමාගම සඳහා නියෝජිතයෙකු පෙනී සිටීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා තුරු පූර්ව නඩු විභාග සම්මන්ත්රණය කල් තබන ලෙස යි.
ඒ අනුව, මෙම නඩුකරයට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්රණය නොවැම්බර් මස 02 වන දා දක්වා කල් තැබීමට විනිසුරු මඬුල්ල නියම කළේය.
මෙම නඩුකරය වසර 07ක් තිස්සේ අඩාලව පැවති එකක් වීම විශේෂත්වයකි. මෙහි පළමු විත්තිකරු වන අර්ජුන මහේන්ද්රන් අත් අඩංගුවට ගැනීම සඳහා ජාත්යන්තර රතු වරෙන්තුවක් ද නිකුත් කර තිබෙන නමුත් සිංගප්පූරුවේ සිටින බව පැවසෙන ඔහුව අත් අඩංගුවට ගැනීමට මෙතෙක් හැකියාවක් ලැබී නැත.


