*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

ජනාධිපතිවරණයද ? මහා මැතිවරණයද ? ජනපති දෙගිඩියාවක ?

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): රටේ වර්තමාන දේශපාලන හා ආර්ථික තත්වය අනුව හැකිතාක් ඉක්මනින් ජනාධිපතිවරණයකට යාම සුදුසු බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සමීපතමයන් අතර සාකච්ඡා වී තිබේ. මෑතකදී පවත්වන ලද දේශපාලන සමීක්ෂණද මෙම පිරිසේ අවධානයට ලක්ව තිබේ. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා, ඊට පෙර බලයේ සිටි ජනාධිපතිවරයාගේ පුර්ණ ධුර කාලය සම්පුර්න කල යුතුය. එසේ වුවහොත් ජනාධිපතිවරණය පවත්වන්නට සිදුවන්නේ 2024 වසරේ ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසයේය. එම නිසා ඉක්මන් ජනාධිපතිවරණය පවත්වන්නට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නව සංශෝධනයක් ගෙන විත් එය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කර ගත යුතුය. මේ මොහොතේ සැවොම ඉල්ලන්නේ මැතිවරණයක් බැවින් ඊට පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙක ලබා ගත හැකි වන බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. අනෙක් අතට එවැනි ව්‍යවස්ථා වෙනසකට ඡන්දය නොදෙන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවාහරින බවට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ප්‍රකාශ වුවහොත් තම විශ්‍රාම වැටුප බේරා ගැනීම සඳහා මුල් වරට පාර්ලිමේන්තුවට ගිය බහුතරයක් ඊට පක්ෂවීමට ඇති ඉඩ කඩ වැඩිය.

මහා මැතිවරණය පැවැත්වුවහොත් තීරකයා රනිල් ………

ඒ අතරේ ජනාධිපතිවරයාගේ හිතවතුන් තවත් පිරිසක් පෙන්වාදී ඇත්තේ වහාම ආණ්ඩුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මේ මොහොතේ කල හැකි සුදුසුම දෙය බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආණ්ඩුව විසුරුවා හරින්නට ජනාධිපතිවරයාට කිසිදු ව්‍යවස්ථාමය බාධාවක්ද නැත.මේ මොහොත මහා මැතිවරණයක් පැවැත්වූ විට කිසිදු පක්ෂයකට තනිවම 113 ක බහුතරය ලබා ගත නොහැකි බව දේශපාලන විශ්ලේශකයින්ගේ මතය වී තිබේ. කිසිදු පක්ෂයක් 113 ක බහුතරය තනිවම ලබා නොගැනීම තුල තමන්ට අවශ්‍ය පිරිස් එකතු කර ගෙන නව ආණ්ඩුවක් බිහි කරගන්නට ජනාධිපතිවරයා ලෙස රනිල්ට අවස්ථාව ලැබේ.

එසේම දැනට එක්සත් ජාතික පක්ෂය සතුව ඇත්තේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණි. මහා මැතිවරණයකදී මෙම ප්‍රමාණය වැඩි කර ගන්නටත් තම සමීපතමයන් පිරිසක් ඇමති මණ්ඩලයට එක්කරගන්නටත් රනිල්ට අවස්ථාව ලැබේ. අනෙක් අතට පොහොට්ටුවේ බහුතරය හමුවේ දැනට ඇති අනාරක්ෂිත වාතාවරණයෙන් මිදෙන්නටද ජනාධිපතිවරයාට අවස්ථාව ලැබේ. රාජපක්ෂවරුන්ගේ කේවල් කිරීම් වලින් තොරව අවශ්‍ය පත් කිරීම් සිදු කරන්නටත් තීරණ ගන්නටත් එවිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අවස්ථාව ලැබේ.

මේ අතරේ ලබන අයවැයේදී මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු ඇමතිවරුන්ගේ අයවැය පරාජය කිරීමට දැනටමත් පොහොට්ටු මන්ත්‍රීවරු පිරිසක් සුදානමින් සිටිති. මේ ඇමතිවරුන් දෙදෙනාගේ අමාත්‍යංශ වලට එරෙහිව චෝදනා රැසක්ද පොහොට්ටු මන්ත්‍රීවරුන් අතරේ පසුගිය දිනවල සාකච්ඡා වී තිබේ. එම නිසා අයවැයේදී කිසියම් හෝ සිදුවීමක් වන්නට ඇති ඉඩ කඩ වැඩිය.

චැනල් 4 ප්‍රහාරය ………

මේ සතියේදී බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකල අනාවරණයට ලොව පුරා අවධානය යොමු විය. ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම ආරක්ෂක ප්‍රධානීන් ද ප්‍රකාශ නිකුත් කරන ලදී. මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටියහ. කෙසේ වෙතත් රජයේ පාර්ශවයෙන් අදාළ චෝදනා සම්බන්ධව ප්‍රතිචාර දැක්වුයේ සීමිතවය.කෙසේ වෙතත් අදාල චෝදනා ඉදිරි මැතිවරණ වලදී කතෝලික ප්‍රජාවගේ ඡන්ද සම්බන්ධයෙන් තීරණාත්මක බලපෑමක් ඇති කරනු ඇත.

දයාසිරිගේ ඉරණම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර එම ලේකම් ධුරයෙන් ඉවත් කරමින් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම පසුගිය දින වල සිදු විය. ශ්‍රීලනිප සංවත්සරය නිසා එය තරමක් ප්‍රමාද වූ බව පැවසේ. මේ අතර ඊට ආසන්නතම හේතුව හිටපු ජනාධිපති හා පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කටයුතු විවේචනය කරමින් ඔහුට ලිපියක් යැවීමය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති එම තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි දයාසිරි ජයසේකර කළ ඉල්ලීමට අවසර දීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්‍ෂෙප කළේය.

දයාසිරි ජයසේකර මහතා දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයට සරත් ඒකනායක මහතා තාවකාලිකව පත් කර තිබේ.

දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ මහලේකම්ධුරයෙන් ඉවත් කිරීමට සිදුවූයේ ඔහු සියලු දෙනා පෙරළාගෙන පක්ෂයේ නායකයා වීමට ගිය නිසා යෑයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුව ප්‍රකාශ කර තිබිණි.

ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගැටලු රැසක් තිබූ බව කී සිරිසේන මහතා එම තත්වය හමුවේ ඔහු පක්ෂයේ ලේකම්වරයා ලෙස තවදුරටත් තබා ගත නොහැකි බවද සඳහන් කළේය.

ජයසේකර මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට පක්ෂය තීරණය කර ඇති බවත්,චෝදනා පත්‍රය ලබන සතියේ දී ඔහුට ලැබෙන්නට සලස්වන බවත්, හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් දයාසිරි යලිත් වරක් ජනාධිපති රනිල් සහ එක්සත් ජාතික පක්ෂය සොයා ගියහොත් එය පුදුමයක්ද නොවේ.

ශ්‍රීලංකා නිදහස් පක්ෂය

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම දේශපාලන වගකීමක් දිය යුතු බවට ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසගෙන් යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක යන මැති ඇමැතිවරුන් මේ පිළිබඳව සාකච්ඡා වී තිබේ.

විමුක්ති කුමාරණතුංග හා දහම් සිරිසේන එනම් ජනාධිපතිවරුන් දෙදෙනාගේ පුතුන් දෙදෙනා පක්ෂයට සම්බන්ධ කරගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී මොවුන් සාකච්ඡා කර ඇත. චන්ද්‍රිකාගේ ආකර්ෂණීය භාවය හා සංවිධාන ශක්තිය හරහා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාද සම්බන්ධ කරගෙන යලිත් ශ්‍රීලනිපය ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන්ද මෙම ඇමතිවරුන් අතර සාකච්ඡා වී තිබේ.

රටේ ආර්ථික තත්වය

පසුගියදා මුදල් අමාත්‍යංශය වෙත කැඳවන ලද රේගු නිලධාරීන්ට ,මුදල් අමාත්‍යංශ බලධාරීන් උපදෙස් දුන්නේ හැකි සෑම ආකාරයකින්ම රේගු අදායම වැඩිකර ගැනීමට කෙසේ හෝ බදු මුදල් ලබා ගන්නා ලෙසය. රටේ ආර්ථික තත්වය දැඩි අර්බුදකාරී තත්වයක ඇති බව මෙහිදී මුදල් අමාත්‍යංශ නිලධාරීහු පවසා ඇත.

මේ වන විට විදෙස්ගත ශ්‍රීලාංකික ජනතාවට තම පවුලේ සාමාජිකයන්ට පවා ආහාරපාන එවන්නට නොහැකි තරමට ඔවුන් ගසා කන භාණ්ඩ ප්‍රවාහන ජාවාරම්කාර සමාගම් කීපයක් ලොව පුරා බිහිවී තිබේ. මේවයේ හිමිකරුවන් ශ්‍රීලාංකිකයන්ය.විදෙස් රටවල සිට භාණ්ඩ පෙට්ටි එකතුකර ශ්‍රීලංකාවට එවීම මෙම සමාගම් සිදු කරයි.විදෙස් රටවලදී ඒ සඳහා ගාස්තු අය කරන අතර ශ්‍රීලංකාවට අදාළ භාණ්ඩ පැමිණි විට වෙනම ගාස්තුවක් ගෙවිය යුතුය. ඩොලරය මේ වන විට රුපියල් 325 ට පමණ පහල බැස ඇතත් ඔවුන් මිල නියම කරන්නේ ඩොලරය රුපියල් 500 කට නියම කරමිනි. මේ ගුදම් මාෆියාවට නිසි පාලනයක් එනම් නියාමනයක් අවශ්‍යවේ. මේ ජාවාරම්කාර සමාගම් මහා දවල් මංකොල්ලකන්නේ මැද පෙරදිග ගෘහසේවිකාවන් ඇතුළු ලොව පුරා විවිධ රටවල ශ්‍රමිකයන් දුක්විඳ උපයන සොච්චම් වැටුපය.

අයවැයෙන් ආගමික ස්ථානවලට විදුලි බිල්පත් වලට සහන අත්‍යවශ්‍යයි …

මෙවර අයවැයෙන් බෞද්ධ විහාරස්ථාන සහ අනෙකුත් ආගමික ස්ථාන සඳහා විදුලි බිල්පත් සඳහා යම් සහනයක් අත්‍යවශ්‍යය.අඩුම තරමින් පළමු ඒකක 250 ක ප්‍රමාණය නොමිලෙත් ඉන්පසු සාධාරණ ගාස්තුවකුත් ආගමික ස්ථාන සඳහා ලබා දිය යුතුය.සුවිසාල ආගමික ස්ථාන හා විශාල ආදායම් ලබන ආගමික ස්ථාන සඳහා වෙනත් ක්‍රමවේදයක් භාවිත කල යුතුය. එසේ නොමැතිව විදුලි බිල් හා අනෙකුත් වියදම් සොයාගන්නට භික්ෂුන් වහන්සේලා ව්‍යාපාර කරන්නට ගියහොත් විනාශ වන්නේ බෞද්ධ ආගමය. එම නිසා රටේ මහනායක හිමිවරුන් හා ප්‍රධාන නායක හිමිවරුන් එක්ව වහාම භික්ෂුන් වහන්සේලා එක්ව වර්තමානයේ බෞද්ධාගමට ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කල යුතුය. නව නීති පැනවීම කල යුතුය. භික්ෂුන් වහන්සේලා ව්‍යාපාර වලට ගියහොත් බෞද්ධාගමට සිදුවන විනාශය සලකා භිකෂුන් වහන්සේලාට ව්‍යාපාර කිරීම තහනම් කල යුතුය.

කොළඹ ප්‍රධානතම බෞද්ධ විහාරස්ථානයක භුමිය ලොව ප්‍රධාන පෙලේ ආහාරපාන සමාගමකට බදුදී තිබේ. මෙම ව්‍යාපාරික ස්ථානයේ ඌරු මස් සහිත ආහාර අලෙවි කරනු ලැබේ. අප දන්නා ආකාරයට මෙම විහාරස්ථානය සතුව විශාල ධනස්කන්ධයක් තිබේ. එසේම එම විහාරය මගින් විශාල සමාජ සේවාවක්ද සිදු කරන බව සැවොම දන්නා කරුණකි. විහාරස්ථානයේ දායක සභාවේ වැඩි දෙනා මෙරට සුපිරි ධනපතීන්ය. එම නිසා ලයිට් බිල් ගෙවීම වැනි කාරණා මෙම විහාරස්ථානයට ගැටළුවක් නොවේ. විහාරස්ථාන සතු දේපල බදු දෙන්නේ නම් නිර්මාංශ ආහාර මිස කිසිදු ආකාරයක මාංශ විකිණීම නොකරන්නට වගබලා ගත යුතුය.

විශ්වාසභංගය ජයගත්තත් සෞඛ්‍ය ඇමති ධුරය ගැන දෙගිඩියාවක් ?

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 40කින් පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය මෙම විශ්වාස භංගය රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ලෙස සලකා ආණ්ඩුව ක්‍රියාකර තිබිණි.යෝජනාවට විරුද්ධව ඡන්ද 113ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 73ක් පමණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පිරිසට සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය සහ නිදහස ජනතා සභාව යන පක්ෂවල මන්ත්‍රීවරු ඇතුළත් වූහ.

ඡන්දය විමසන අවස්ථාවේදී මන්ත්‍රීවරු 38ක් සභාවේ නොසිටියහ. කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් විසිනි.ආණ්ඩු පක්ෂයේ සිටියද අද රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වැටී ඇති තත්වය නිසා හිතට එකඟව ඇතැමුන් ඡන්දය පාවිච්චි කලේ නැත. වර්තමාන දේශපාලන ක්‍රමය තුල මන්ත්‍රීවරුන් පක්ෂ දේශපාලනය තුල සිරකරුවන් බවට පත්ව තිබේ. හෘද සාක්ෂියට එකඟව හෝ තමන් නියෝජනය කරන ජනතව වෙනුවෙන් හෝ නිවැරදි තීරණයක් ගැනීමට මන්ත්‍රීවරුන්ට අද අවස්ථාවක් නැත.

මේ අතර විශ්වාසභංගයෙන් දිනුවද සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ වෙනසක් සිදුකල යුතුය යන මතයක ජනධිපතිවරයා ද සිටී. ඒ තරමට සෞඛ්‍ය ක්ෂේත්‍රයම බිඳ වැටී ඇත. ඖෂධ සමාගම් වෙනුවෙන් මිස අද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් තීරණ නොගන්නා තරමට බරපතලය. ඖෂධ හිඟය ඇතිවන්නට ඉඩ හැර තාවකාලික මිලදී ගැනීම් හරහා මුදල් ඉපයීම නිරන්තරයෙන් සිදුවේ.

සුළු කැබිනට් සංශෝධනයක් ?

මේ අතරේ කැබිනට් සංශෝධනයක් මේ මාසය තුළ සිදුවනු ඇති බවට දේශපාලන ක්ෂේත්‍රවල තොරතුරු පැතිරෙමින් තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට තවත් අමාත්‍යධුර අටක් පත් කිරීමේ හැකියාව ඇත.

මෙම කැබිනට් සංශෝධනයේදී අමාත්‍ය ධුර හතරක් අලුතින් ලබා දීමට නියමිතය.
නව අමාත්‍ය ධුර නිර්මාණය කරනු ඇත්තේ දැනට ඇමැති ධුර දරන අයගේ විෂයයන් කිහිපයක් ඉවත් කරමිනි. මේ අනුව සෞඛ්‍ය ඇමති ධුරයේද ඇතැම් විට වෙනසක් සිදුවීමට ඉඩ තිබේ. කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඉදිරි දිනවලදී විදෙස් ගත වීමට නියමිත බැවින් මෙය කවර අවස්ථාවක සිදුවන්නේද යන්න හවමත් පැහැදිලි නැත.

දුම්රිය හරස් මාර්ග අනතුරු සංඥා පද්ධති සඳහා බන්දුලට – සජිත්ගේ අනුග්‍රහය

විදුලි බස් රථ ගෙන්වීම ඇතුළු තවත් විවිධ කාරණා සම්බන්ධයෙන් මහත් උනන්දුවෙන් කටයුතු කලද පුරවැසියන්ගේ ජීවිත සුරැකීම උදෙසා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග අනතුරු සංඥා පද්ධති සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධනට හැකියාවක් නොමැත.

අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග 400කට අධික ප්‍රමාණයක් තිබෙන බවත් ඒ සඳහා විශාල වියදමක් දරා අනතුරු සංඥා පද්ධතියක් සවි කිරීමට මෙම අවස්ථාවේ රජයට හැකියාවක් නොමැති බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

මෙහිදී පුරවැසියන්ගේ ජීවිත සුරැකීම වගකිව යුතු මහජන නියෝජිතයන්ගේ වගකීම බැවින්, මේ සඳහා අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබා දීමට තමන් ප්‍රමුඛ සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.මෙම ක්‍රියාවලිය සඳහා කැබිනට් අනුමැතිය ලැබෙන තෙක්, එම ව්‍යපෘතියට අදාල ඇස්තමේන්තුව ලබා දෙන ලෙසත් කඩිනමින් ඊට සහාය ලබා දීමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මිනී මැරුම් සොරකම් දිනෙන් දින ඉහලට

මේ වසරේ ජනවාරි මස සිට මේ මාසය දක්වා මිනිස් ඝාතන 370ක් සිදුවී ඇත. එමෙන්ම රට තුළ මසකට ඝාතන 46 ත් 50 ත් අතර සිදුවේ. ශ්‍රී ලංකාව නීතියේ ආධිපත්‍ය බිඳ වැටුණු රටක් බවට පත්වෙමින් තිබේ. දිනපතා සොරකම් මංකොල්ලකෑම් සියගණන් සිදුවේ.

කෙසේ වෙතත් මේ දින වන විට රට පුරා ආරක්ෂාව දැඩි කර තිබේ. කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල ස්ථාන රැසක පොලිස් මාර්ග බාධක සෝදිසි කිරීම් සිදු කෙරේ. ප්‍රධාන පෙලේ දේශපාලනඥයින් සහභාගී වන රැස්වීම් සඳහාද ආරක්ෂාව දැඩි කර තිබේ. මීට අමතරව බුද්ධි අංශ තම සේවාවන් පුළුල් කර තිබේ.

රටේ ආරක්ෂාව පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ පළමු පියවර වන “ආරක්ෂක තත්ත්ව සමාලෝචනය -2030” යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු කෙරෙන මූලධර්මවලට අනුකූලව අනාගත උපායමාර්ගික අභියෝගවලට මුහුණ දීම සඳහා වන විකල්ප ප්‍රතිපත්ති අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා “ආරක්ෂක තත්ත්ව සමාලෝචනය – 2030” අවශ්‍ය වේ.
මෙම සමාලෝචනය මගින් 2030 දක්වා ගත යුතු පියවර මෙන්ම 2030 සහ ඉන් ඔබ්බට ගත යුතු පියවර ගැන සමාලෝචනය කරයි.

එජාප 56 වන සම්මේලනය – ඔක්තෝම්බර් 21 – නව මහා ලේකම්වරයෙක් ?

එක්සත් ජාතික පක්ෂයේ 56 වන සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඔක්තෝම්බර් මස 21 සෙනසුරාදා පැවැත්වීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පසුගියදා රැස් විය.

පක්ෂය සම්මේලනය සැප්තැම්බර් 10 වැනිදා පවත්වන්නට මීට පෙර තීරණය කර තිබූ අතර එය කල් දැමීමට පසුව තීරණය කෙරිණි.

එක්සත් ජාතික පක්ෂයට ස්ථාවර මහා ලේකම්වරයකු පත් කර ගැනීමට නියමිතය. ප්‍රධාන භාෂා තුනම කතා කල හැකි ජාත්‍යන්තරය සමග කටයුතු කල හැකි මෙන්ම පාක්ෂිකයන් සමග නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වන මනා පෞර්ෂයක් හා සංවිධාන ශක්තිය ඇති පුද්ගලයෙකු මේ තනතුරට පත් කර ගන්නට යන බව පැවසේ.

උද්ධික ප්‍රේමරත්න ස්වාධීන වෙයි

තමන් මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරීපත් පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා
පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේය.

එහි මුල් පියවර ලෙස තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කළ බවත් රට වෙනසක් කරා ගෙන යන ගමන තමන් තනිවම ආරම්භ කරන බවත් එම අරමුණ සහිත යහපත් පුරවැසියන්ට තමා සමග එක්වන ලෙස ආරාධනා කරන බවත් ඔහු කියා සිටියේය. කෙසේ වෙතත් උද්ධිකගේ මේ පියවර කාගේ දෑත් ශක්තිකමත් කිරීමටදැයි ඉදිරි දිනවලදී ප්‍රදර්ශනය වනු ඇත.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan