රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11, කොළඹ LNW :
බොදු බල සේනා (BBS) සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පිරිනමන ලද ජනාධිපති සමාව අහෝසි කරමින් ශ්රේෂ්ඨාධිකරණය අවධාරණය කර ඇත්තේ, ජනාධිපතිවරයා ජනතාවගේ විධායක බලය ක්රියාත්මක කරන්නේ විශ්වාසනීය භාරයක් ලෙසින් බවත්, එම බලය මහජන යහපත උදෙසාම භාවිත කළ යුතු බවත්ය.
තීන්දුව ප්රකාශයට පත් කරමින් ජානක ද සිල්වා විනිසුරුවරයා නිරීක්ෂණය කළේ, ජනාධිපති සමාවක් යනු ජනාධිපතිවරයාගේ පෞද්ගලික, දේශපාලන හෝ වෙනත් පෞද්ගලික අභිමතාර්ථයන් ඉටු කර ගැනීම සඳහා භාවිත කරන පෞද්ගලික අනුකම්පාවක් නොවන බවයි.
විනිසුරු ද සිල්වා මහතා පෙන්වා දුන්නේ සමාව දීමේ බලය යනු ජනතාවගේ පරමාධිපත්යයෙන් පැවත එන ආණ්ඩුක්රම ව්යවස්ථාපිත බලයක් වන බැවින්, එය මහජන යහපතට අනුකූල වන පරිදි ක්රියාත්මක කළ යුතු බවයි.
ඥානසාර හිමියන්ට සමාව දීමට ගත් තීරණයට අදාළ හේතු ජනාධිපති ලේකම් කාර්යාලයේ පවත්වාගෙන යන වාර්තාවල ඇතුළත් වී නොමැති බව අධිකරණය නිරීක්ෂණය කළේය. එමෙන්ම, හිටපු ජනාධිපතිවරයාද තමා ඉදිරිපත් කළ දිවුරුම් ප්රකාශය මගින් එම සමාව දීමට හේතු දැක්වීමට අපොහොසත් වී ඇත.
ජනාධිපතිවරයා ආණ්ඩුක්රම ව්යවස්ථාපිත බලතල ක්රියාත්මක කිරීමේදී ගන්නා තීරණ සම්බන්ධයෙන් වගකීමට බැඳී සිටින අතර, එවැනි තීරණ සඳහා හේතු දැක්වීමටද බැඳී සිටින බව විනිසුරු ද සිල්වා මහතා වැඩිදුරටත් නිරීක්ෂණය කළේය.
තීන්දුවට අනුව, ජනාධිපති බලතල ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් නියම කර ඇති සීමාවන් තුළ ක්රියාත්මක කර ඇත්ද යන්න තීරණය කිරීමට සහ ජනාධිපති බලතල භාවිතය සඵලදායී අධිකරණ පරීක්ෂාවට යටත්ව පවතින බව තහවුරු කිරීමට එම හේතු දැක්වීමේ අවශ්යතාව අත්යවශ්ය වේ.
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 19 වැනි සංශෝධනයට පෙර ජනාධිපතිවරයා ධුරයේ කටයුතු සම්බන්ධයෙන් ව්යවස්ථාපිත වරප්රසාද (Immunity) භුක්ති වින්දද, 19 වැනි සංශෝධනය මගින් එම වරප්රසාද ඉවත් කර ජනාධිපතිවරයාගේ ක්රියාකලාපයන් අධිකරණ පරීක්ෂාවට යටත් කළ බව විනිසුරු ද සිල්වා මහතා සඳහන් කළේය.
අධිකරණය විසින් ක්රියාත්මක කරනු ලබන්නේ ජනතාවගේ අධිකරණ බලය බැවින්, පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා විසින් පිළිවෙලින් ක්රියාත්මක කරනු ලබන ජනතාවගේ ව්යවස්ථාදායක සහ විධායක බලතල කෙරෙහි ආණ්ඩුක්රම ව්යවස්ථාපිත පාලනයක් අධිකරණය මගින් සිදුකරන බවද එම තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ.


