නිශ්මං රණසිංහ සැප්තැම්බර් 13, කොළඹ LNW:
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශය එක්දින පිටියේ දක්වා ඇති දක්ෂතාවල සමානකමක් පෙනෙන්නට තිබෙනවා.එසේම ආසියානු විස්සයි විස්ස තරගාවලියේ දී ටෙස්ට් කණ්ඩායම් වන ඉන්දියාවට,පකිස්තානයට,ඇෆ්ගනිස්තානයට මෙන්ම බංගලාදේශයට ද ලැබුණු මුල් තරග බැලූ බැල්මටම ජය ගැනීමට අපහසු හෝ තර්ජණාත්මක ඒවා වුණේ නැහැ.
එහෙත් ශ්‍රී ලංකාවට තරගාවලිය ආරම්භ කිරීමට සිඳුවන්නේ මේ දක්වා තරග දත්ත අනුව තමන්ට බොහෝ සෙයින් සමාන දස්කම් දක්වා ඇති බංගලාදේශය සමඟයි.එයද බංගලාදේශය මේ වන විටත් වඩා පහසු කණ්ඩායමකට එරෙහිව සටන් වැද ජයගෙන,ජයග්‍රාහී මානසික මට්ටමක සිටින අවස්ථාවකයි.
එහෙත් ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගත් විට සෑම විටකදීම හොඳම දස්කම් දක්වන්නට සමත් වී ඇත්තේ වැඩි පීඩන අවස්ථාවක බැවින් මේ තරගයේදී සිය සුපරුදු දස්කම් අතරට ඒමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවනු ඇති බවට විශ්වාස කළ හැකියි.ගෙවුණු සිම්බාබ්වේ සංචාරයේදී ද වඩාත් පහසු ස්ථානයකදී ලකුණු 84 ට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තීරණාත්මක තරගයේදී අති විශිෂ්ඨ හඹා යාමක් කරමින් ජයගත් ආකාරයම ඊට උදාහරණ ලෙස ගත හැකියි.
එහෙත් බංගලාදේශයද විශාල ජාත්‍යන්තර තරග අත්දැකීම් සහිත මේ වන විටත් තරගයක් ජය ගනිමින් සිටින කණ්ඩායමක් බැවින් ඔවුන්ගේ මානසිකත්වයද පළට දමා සිතිම අනුවණ කමකි.මෙය පහසු තරගයක් නොවන බව අවබෝධයෙන් අඩුම වැරදි සංඛ්‍යාවක් කරන කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්විය යුතුයි.වේගවත්වීම මෙන්ම වේගවත්වීමේ අවශ්‍යයතාවය පමණක් සිතා අපරික්ෂාකාරීව කඩුලු වීසි කර දමන්නට නො යුතුයි.වේගය මෙන්ම පරික්ෂාව සහ ඉවසීමද සමානව තිබිය යුතුයි.
එසේම දක්වා ඇති දක්ෂතා අනුව විස්සය විස්ස කණ්ඩායම් අතර ශ්‍රී ලංකාව සිටින්නේ 8 වන තැන වන අතර බංගලාදේශය සිටින්නේ 10 වන තැනයි.පිතිකරණ සහ පන්දු යවන දක්ෂතා ගත්ත ද,තුන් ඉරියව් දක්ෂතා ගත්ත ද මුල් 10 දෙනා අතර බංගලාදේශයේ කිසිවෙකු දකින්නට නැහැ.පිතිකරණයේදී පැතුම් නිශ්ශංක සහ කුසල් ජනිත් පෙරේරා මුල් දස දෙනා අතර සිටින අතර පන්දු යැවිමේදී මෙන්ම තුන් ඉරියව් දක්ෂතාවලදී ද වනිඳු හසරංග මුල් දස දෙනා අතර සිටිනවා.මේ ආකාරයට කිරා බැලීමේදි මේ තීරණාත්මක තරගයේදී දක්ෂතා අතින් වන ගණන් බැලීමේදී ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිනවා.ඒ නිසා ශ්‍රී ලංකාව මේ තරගයේදී වඩාත් අවධානයේන් සිටිය යුත්තේ පියවරක් ඉදරියට තැබීමට වඩා පියවරක් පසුපසට ඇඳ දැමීමට ප්‍රතිවාදීන් දරන උත්සාහය වැළක්වීමටයි.
කෙසේ නමුත් දෙරට අතර තරගය මෑත කාලයේ දක්ෂතා අතින් මෙන්ම ක්‍රීඩකයන් පෞද්ගලිකව හැසිරෙන ආකාරයෙන්ද උණුසම් ස්වරූපයක් ගන්නා බැවින් දෙරටට පමණක් නොවන ක්‍රිකට් ලෝකයටම රස විදිය හැකි තරගයක් වන බවනම් නිසැකයි.
