සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 14 : හිටපු බ්රිතාන්ය අගමැති බොරිස් ජොන්සන් ඇතුළු යුරෝපා නියෝජිතයන් රැගත් දුම්රියක් ගමන් ගැනීමෙන් මිනිත්තු කිහිපයකට පසු පෝලන්ත දේශසීමාව ආසන්නයේ දුම්රිය ස්ථානයකට ඩ්රෝන ප්රහාරයක් එල්ල වී තිබේ.

සැප්තැම්බර් 13 වැනිදා යුක්රේනයේ Yahodyn දුම්රිය ස්ථානය ආසන්නයේ මෙම ප්රහාරය සිදුව ඇති අතර ජොන්සන් සමඟ හිටපු ස්වීඩන් අගමැති Carl Bildt සහ යුරෝපා සංගම් රටවල් කිහිපයක ආරක්ෂක උපදේශකයන් ද සිටි බව වාර්තා වේ.
මෙම පිරිස කියෙව්හි පැවති Yalta European Strategy සමුළුවකට සහභාගී වී පෝලන්තය බලා ආපසු යමින් සිටියදී මෙම සිදුවීම සිදුව ඇත.
යුක්රේන රාජ්ය දුම්රිය සමාගම වන Ukrzaliznytsia පවසන්නේ ආරක්ෂක තත්ත්වය හේතුවෙන් රාජ්ය තාන්ත්රික දුම්රිය නියමිත වේලාවට පෙර Yahodyn දුම්රිය ස්ථානයෙන් පිටත් කර තිබූ බවයි.
ඉන් මිනිත්තු කිහිපයකට පසුව එම ස්ථානයේ නවතා තිබූ තවත් මගී දුම්රියක එන්ජිමකට රුසියානු ඩ්රෝන ප්රහාරයක් එල්ල වී තිබේ. ප්රහාරයට ලක්වූ දුම්රියේ මගීන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව ඉවත් කර ගැනීමට හැකිවීම හේතුවෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාලයක් වාර්තා වී නොමැත.
යුක්රේන දුම්රිය බලධාරීන් පවසන්නේ ජොන්සන් ඇතුළු නියෝජිතයන් රැගත් දුම්රිය ප්රහාරයේ ඉලක්කය වන්නට ඇති බවට සැකයක් පවතින බවයි. කෙසේ වෙතත්, එම දුම්රියම ඉලක්ක කර ප්රහාරය එල්ල කළ බවට මේ වන විට ස්වාධීන තහවුරු කිරීමක් සිදුව නොමැත.
ප්රහාරය එල්ල වූ ස්ථානය පෝලන්ත දේශසීමාවේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටා තිබීම හේතුවෙන් මෙම සිද්ධිය යුරෝපා ආරක්ෂාව සම්බන්ධයෙන්ද දැඩි අවධානයකට ලක්ව තිබේ.
මේ අතර රුසියානු පාර්ශ්වය නිවේදනය කර තිබුණේ මෙම ඩ්රෝන ප්රහාරවලට යුරෝපයේ සිට යුක්රේනය වෙත හමුදා භාණ්ඩ ප්රවාහනයට භාවිත වන දුම්රියන් ඉලක්ක වූ බවයි. කෙසේ නමුත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතින අතර, ප්රහාරය යුරෝපා නියෝජිතයන් රැගත් දුම්රිය ඉලක්ක කර සිදු කළේද යන්න තවමත් පැහැදිලිව තහවුරු වී නොමැත.

