වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති විසින් දියත් කරන ලද වැඩවර්ජනය ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වී තිබේ.
දුම්රිය ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් ෂන්ටින් රියදුරන්, රියදුරු සහායකයින්, දුම්රිය අංගන සේවකයින් ඇතුළු වෘත්තීය සමිති 26ක් මෙම වැඩවර්ජනය සහාය පළකර ඇති බව සඳහන්.
මෙම වැඩවර්ජනය පැය 48ක කාලයක් සිදුකෙරෙන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ.
“අපේ වර්ජනය ආරම්භ කිරීමට පෙර සාමාන්‍ය සම්ප්‍රදාය මත ඊයේ දුම්රිය ගණනාවක් අවලංගු වෙලා, මගීන් වැඩවර්ජනයට කලින්ම අපහසුතාවයට පත්වෙලා. මෙවැනි කාරණා නිසා තමයි අපි මේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කරන්න කියන්නේ. අද දිනේ මේ වෙද්දිත් දුම්රිය සාමාන්‍යාධිකාරි සහ විධායක නිලධාරීන් දඟලන්නේ දුම්රිය ධාවනය කරන්න. නමුත් දුම්රිය ආදායම, මගීන්ට අවශ්‍ය පහසුකම් සපයන්න කිසිදු වැඩපිළිවෙලක් සකස් කරලා නෑ. දුම්රිය ස්ථානාධිපතිවරු බහුතරයක් වැඩවර්ජනයට සහභාගී වෙලා තියෙනවා. රජයට හිතවාදී ස්ථානාධිපතිවරු කිහිපදෙනෙක් මේ වැඩවර්ජනය කඩාකප්පල් කරමින්, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නැවත තබාගැනීමට අවශ්‍ය කටයුතු සලසනවා. ඒ ගැන අපි විස්මයට පත්වෙනවා. මේක දේශපාලන අරමුණකින් නෙමෙයි දෙපාර්තමේන්තුව ගොඩගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වුණ වෘත්තීය සටනක්”
වෘත්තීය සමිති වැඩවර්ජනයක් සිදුකළත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාව ඉවත්කිරීමේ අදහසක් නොමැති බවයි විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ.
මේ අතර වැඩවර්ජනය ක්‍රියාත්මක වුවත් සියලු කාර්යාල දුම්රිය මේ වනවිට නියමිත ස්ථානවලින් ගමන් ආරම්භ කර ඇති බවයි දුම්රිය ගමනාගමන අධිකාරීවරයා සඳහන් කරන්නේ.



