“ප්‍රජා ශක්ති” වැඩසටහනට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගෙන් පැසසුම්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ LNW :

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා අතර හමුවක් පසුගියදා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

වර්තමාන රජයේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ කාර්යභාරය, දිළිඳුකම තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සහ යෝජිත නව රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය හා අධීක්ෂණ පනත පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම මෙම හමුවේ අරමුණ විය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය මගින් ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මෙන්ම, වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින් වැඩිහිටි ප්‍රජාව රැකබලා ගැනීම සහ ඔවුන්ට වඩාත් යහපත් ජීවිතයක් උදාකර දීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන නව වැඩසටහන් පිළිබඳවද අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය.

එමෙන්ම, අවිධිමත් ක්ෂේත්‍රයන්හි නිරත මිලියන 5.6කට පමණ වන ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන විශ්‍රාම වැටුප් ක්‍රම ඇතුළු සමාජ ආරක්ෂණ වැඩසටහන් පිළිබඳවද අමාත්‍යවරයා කරුණු ඉදිරිපත් කළේය.

අස්වැසුම ප්‍රතිලාභ ලබන පුද්ගලයන් යැපුම් මානසිකත්වයෙන් මුදා සවිබලගැන්වීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන සවිබලගැන්වීමේ වැඩසටහන් පිළිබඳවද මෙහිදී පැහැදිලි කෙරිණි.

එමෙන්ම, රුපියල් බිලියන 25ක ආයෝජනයක් සහිතව ක්‍රියාත්මක කරනු ලබන රජයේ ප්‍රධානතම දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන වන “ප්‍රජා ශක්ති” ව්‍යාපාරයේ අරමුණු, ක්‍රියාකාරකම් සහ වර්තමාන ප්‍රගතිය පිළිබඳවද අමාත්‍යවරයා කරුණු ඉදිරිපත් කළේය.

රටේ සෑම ක්ෂේත්‍රයකම පරිවර්තනීය වෙනසක් සිදු කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බවත්, ඒ සඳහා විශාල සමාජ, ආර්ථික, සංස්කෘතික මෙන්ම දේශපාලනික වෙනසක් සිදු කිරීමට රජය පියවර ගෙන ඇති බැවින් රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රයද පරිවර්තනීය වෙනසකට සූදානම් වීමේ අවශ්‍යතාවක් පවතින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය හා අධීක්ෂණය පිළිබඳ නව පනත එම ක්‍රියාවලියේ මූලික පියවරක් බවත්, රාජ්‍ය නොවන සංවිධානවල අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් පනතේ සඳහන් අහිතකර වගන්ති ඇත්නම් ඒවා සංශෝධනය කිරීමට රජය සූදානම් බවත් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේය.

මේ සඳහා අනුකමිටුවක් පත් කිරීමට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික මහලේකම් කාර්යාලය දැනටමත් කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය. සියලු පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් රටට, ජනතාවට සහ සෑම ක්ෂේත්‍රයකම උන්නතියට හේතුවන ආකාරයෙන් නව පනත ඉදිරිපත් කිරීමට රජය අපේක්ෂා කරන බවද ඔහු අවධාරණය කළේය.

වර්තමාන රජය රටේ සංවර්ධනය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා ශක්ති” වැඩසටහන පිළිබඳව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතාගේ පැසසුමට ලක් වූ අතර, දිළිඳුකම තුරන් කිරීමේ ක්‍රියාවලියේදී සහ රටේ සංවර්ධන ක්‍රියාවලියේදී බ්‍රිතාන්‍ය රජයේ සහයෝගය අඛණ්ඩව ලබා දෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

විවිධ අභියෝග හමුවේ ජනතා අභිලාෂයන් ඉටු කිරීම සඳහා ගරු ජනාධිපතිවරයා සහ රජය දරන වෙහෙස මහ කොමසාරිස්වරයාගේ ඇගයීමටද ලක් විය.

මෙම අවස්ථාවට රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න විතානගේ මහතා සහ එහි අධ්‍යක්ෂ ලසඳමාලා මුහන්දිරම් මහත්මියද සහභාගි වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...

ගාසා අර්බුදය සහ ලෝක බලවතුන්ගේ හෘද සාක්ෂිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: පලස්තීන රාජ්‍යත්වයට ප්‍රංශය, කැනඩාව...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...

වසර පහකට පසු දික්වැල්ල T20I සංචිතයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි...