පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව එල්ල කළ තස්ත්‍රවාදී කණ්ඩායමේ නායකයා වූ සහරාන් හෂිම් සමග තමන්ට කිසිදු සම්බන්ධයක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූර්දීන් පවසයි.
සහරාන් හෂීම්ට ඉන්දියාවට පළායාම සඳහා තමන් විසින් දේශපාලන රැකවරණ දුන්නේ යැයි බුද්ධි අංශවලට පවසා ඇත්තේ හිටපු LTTE මුහුදු කොටි සාමාජිකයකු වන බවත් ඔහුගේ එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් රිෂාඩ් බදූර්දීන් මහතා සඳහන් කළේය.
“මම තමයි පාස්කු සිද්ධියට මහමොළකරු කියලා ගෝඨාභයගේ ආණ්ඩුව ඒ කාලේ ප්‍රචාරය කළා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයට අත්සන් කළේ ගෝඨාභය රාජපක්ෂ. කොටුව උසාවියෙන් මට විරුද්ධව කිසිම සාක්ෂියක් නැහැ කියලා මාව නිදහස් කළා. පොලිසිය භාර අමාත්‍යාංශයේ දැන් ඉන්න ලේකම්තුමා ඒ කාලේ CIDය භාර ජ්යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙලා හිටියා. එතුමාගේ යටතේ පරීක්ෂණ කරලා විශේෂ කමිටුවට පාර්ලිමේන්තුවට ලියලා එව්වා පාස්කු ඉරිදා ත්‍රස්තවාදයට හෝ වෙනත් ත්‍රස්තවාදයකට හෝ කිසිම සම්බන්ධයක් රිෂාඩ් බදූර්දීන්ට නෑ කියලා නිශ්චිතව එවලා තියෙනවා. ඔය ඊයෙ පෙරේදා LTTE මුහුදු කොටි එක්කෙනෙක් බුද්ධි අංශයට කියලා තියෙනවා ලු සහරාන්ට මම දේශපාලන රැකවරණයක් දුන්නා කියලා ඉන්දියාවට ගිහින් ඉන්න කියලා. ඒ උසාවියටම මාස තුනකට පෙර මාව ඇරෙස්‍ට් කරපු වෙලාවේදී CID භාර DIG කියලා තියෙනවා රිෂාඩ් බදූර්දීන්ව ඇරෙස්ට් කරන්න කියලා ගෝඨාභය රාජපක්ෂ සලේ හරහා ඉල්ලීමක් කළා, අපි කෙරුවේ නෑ, ඇයි කෙරුවේ නැත්තේ ? සාක්ෂි තිබුණෙ නැති නිසා අපි ඇරෙස්ට් කෙරුවේ නෑ. ඊටපසුව ගෝඨාභය කියලා ඇයි PTA එක යටතේ ගන්න පුළුවන්නේ කියලා. ඒකෙන් තේරෙනවා මේ ගෝඨාභය රාජපක්ෂට වුවමනා වෙලා තිබුණා මේ ත්‍රස්තවාදී කටයුතු මගේ උඩට දාලා එයා බේරෙන්න. ඔයාලා දන්නවා මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමා ආණ්ඩුව වෙනස් කරලා අලුත් අගමැති පත්කරපු වෙලාවේ මටත් එන්න කියලා සහයෝගය ඉල්ලුවා. මම දුන්නෙ නෑ. ඒ තරහට තමයි මට විරුද්ධව මම හිතන්නෙ බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ පැමිණිලි 80ක් විතර දැම්මා. LTTE සංවිධානය මුස්ලිම් ජනතාව ලක්ෂයක් විතර උතුරෙන් එළවලා දැම්මා. මමත් ඒ වෙලාවේ අනාථ වෙලා ආව එක්කෙනෙක්. LTTE අය ඉතින් මට විරුද්ධව කොහොමත් බොරු තමයි කියන්නේ”
රිෂාඩ් බදූර්දීන් මහතා මේ බව පැවසුවේ ඊයේ (19) අම්පාර, නින්දවූර් ප්‍රදේශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
තමන්ට පාස්කු සිද්ධියේ වින්දිතයකු බව පැවසූ ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම පක්ෂ නායකයකු ද වූ තමන්ව කථානායකවරයටත් නොදන්වා එක රැයින් අත් අඩංගුවට ගෙන සිරගත කළ බවත් දේශපාලනඥයකු ලෙස මේ සිද්ධියෙන් තමන් ද දැඩි පීඩාවට පත්වූ බවත් සඳහන් කළේය.
එමෙන්ම තමන්ට එරෙහිව පදනම් විරහිත චෝදනා එල්ල කරන ඕනෑම අයකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් රිෂාඩ් බදූර්දීන් මහතා එහිදී අවධාරණය කළේය.




