සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 20: යේමනයේ හූති සටන්කාමීන් සෞදි අරාබියේ අගනුවර වන රියාද්හි King Khalid International Airport ඉලක්ක කර බැලස්ටික් මිසයිලයක් එල්ල කළ බවට වාර්තා වීමත් සමඟ, සෞදි අරාබියේ ආරක්ෂාව සඳහා අවශ්‍ය හමුදාමය සහාය ලබාදීමට තුර්කිය සූදානම් බව තුර්කි විදේශ අමාත්‍ය හකාන් ෆිදාන් ප්‍රකාශ කර තිබේ.
සෞදි බලධාරීන් පවසන්නේ රියාද් වෙත එල්ල වූ බැලස්ටික් මිසයිලය සෞදි ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ බවයි. ප්‍රහාරයෙන් සිදුවූ පුද්ගල හෝ දේපළ හානි පිළිබඳ තහවුරු කළ වාර්තා නොමැත.
මේ අතර, තුර්කි විදේශ අමාත්‍ය හකාන් ෆිදාන් සඳහන් කර ඇත්තේ හූති ප්‍රහාර හමුවේ සෞදි අරාබියට ඇතැම් හමුදාමය හා තාක්ෂණික අවශ්‍යතා ඇති විය හැකි බැවින්, ඒවා සපුරාලීමට තුර්කියට හැකියාව ඇති බවයි. මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ තුර්කිය, සෞදි අරාබිය සහ පාකිස්තානය අතර පසුගියදා ඇති කරගත් මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම පසුබිම් කරගෙනය. එම ගිවිසුමට අනුව එක් සාමාජික රටකට එල්ල වන සන්නද්ධ ප්‍රහාරයක් සියලු සාමාජික රටවලට එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී තිබේ.
හූති ප්‍රහාර මේ වනවිට සෞදි නගර මෙන්ම බලශක්ති යටිතල පහසුකම් සහ නාවික ගමනාගමනයටද බලපෑම් එල්ල කරන තත්ත්වයකට පත්ව ඇති අතර රියාද් වෙත එල්ල වූ මෙම නවතම ප්‍රහාරයත් සමඟ කලාපීය ආරක්ෂක තත්ත්වය තවදුරටත් උණුසුම් වී තිබේ.
තුර්කිය මේ අතර හූති ප්‍රහාර වහාම නතර කරන ලෙසද ඉල්ලා ඇති අතර, ගැටුම අවසන් කිරීම සඳහා විවිධ රාජ්‍යතාන්ත්‍රික යෝජනා ඉදිරිපත් කර ඇති බව ෆිදාන් සඳහන් කර තිබේ.

