රෂිකා හෙන්නායක
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23270 ක් යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව මීට ස්වල්ප වේලාවකට පෙර ප්‍රකාශයට පත් කරන ලදී.
නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
ඒ අනුව, විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස තීරණය කෙරුණු අතර, අනෙක් විත්තිකරුවන් නවදෙනා නිදොස් කොට නිදහස් කිරීමට තීරණය විය.
වරදකරුවන් වූවන් සඳහා සජීවීව දඬුවම් නියම කිරීම මීට සුළු මොහොතකට පසුව සිදුවීමට නියමිතය.
වසර පහකට ආසන්න කාලයක් පුරා පැවැති දීර්ඝ විභාගයකින් අනතුරුව, අගෝස්තු 24 වන දින නඩු විභාගය අවසන් කරමින් කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා අද දිනය නියම කර තිබුණි.
මෙහිදී චූදිතයන් 24 දෙනාට එරෙහිව චෝදනා 23270 ක් ගොනු කර තිබූ අතර, නඩුව විභාග වන අතරතුර පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබා දී තිබුණි.
නඩු විභාගය පවතින අතරතුර විත්තිකරුවන්ගෙන් එක් අයෙකු මියගොස් තිබේ.

