පුළුල් පරාසයක විහිදුණු වැඩසටහන් මාලාවක් (Sri Lanka Tourism Expo) සමග 2025 ලෝක සංචාරක දිනය සැමරීමට ශ්‍රී ලංකාව සූදානම් වේ. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක ආයතනය (UNWTO) ප්‍රකාශයට පත් කළ ‘සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය’ යන තේමාව යටතේ සංවිධානය කරන එම වැඩසටහන් මාලාව තුළින් සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය උදෙසා තරුණ පරපුර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආදී අංශවල දායකත්වය ඉහළ නැංවීමට අපේක්ෂා කරයි.
ඒ යටතේ සංවිධානය කර ඇති පළාත් මට්ටමේ තරගාවලිවල පටන් අන්තර්ජාතික මට්ටමේ සම්මන්ත්‍රණ දක්වා වන සියලු වැඩසටහන් ගෝලීය සංචාරක ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව ඔසවා තැබීමට සුවිශේෂ දායකත්වයක් සපයයි. සංචාරක අමාත්‍යංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM), සංචාරක ආර්ථික සහ ආගන්තුක සත්කාර කළමනාකරණ උපාධිධාරී සංගමය (AATEHM), ශ්‍රී ලංකා සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය (SLAITO), ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමය (THASL), කොළඹ විශ්ව විද්‍යාලයේ තිරසාර සංචාරක ඒකකය මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරයි.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රදර්ශනය හරහා මෙරට කුසලතා, නිර්මාණශීලීත්වය, කර්මාන්ත විභවතා ලොවට කියා පෑමට අවස්ථාව ලැබේ. 2021දී One Galle Faceහිදී පැවැත්වුණු පළමු ප්‍රදර්ශනය තුළින් ජනතාවට සංචාරක සහ ආගන්තුක සත්කාර කර්මාන්තය සතු ශක්තිය වටහා ගැනීමට අවස්ථාව ලැබිණි. 2022දී එය One Galle Faceහිදී SLAITO සහයෝගය සහිතව පැවැත්විණි. 2021දී සහ 2022දී පැවැත්වුණු Sri Lanka Tourism Expo ප්‍රදර්ශන සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය උදෙසා ශක්තිමත් පදනමක් නිර්මාණය කර තිබේ. 2025 ප්‍රදර්ශනයේදී තරගාවලි හරහා තරුණ පරපුරත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් හරහා ව්‍යවසායකයනුත්, පර්යේෂණ සහ නායකත්ව සමුළු හරහා ජාත්‍යන්තර විශේෂඥයනුත් ඒකාබද්ධ කරයි.
සමස්ත ලංකා පාසල් සංචාරක සමාජවල පළාත් තරගවලි සමග 2025 සැප්තැම්බර් 01 උතුරු පළාතෙන් ඇරැඹුණු වැඩසටහන් පළාත් නවයම සම්පූර්ණ කරමින් සැප්තැම්බර් 22 උතුරුමැද පළාතෙන් අවසන් විය. SLITHM සමග සහයෝගයෙන් පවැත්වූ එම තරගාවලිවලට ඉවුම් පිහුම්, ආහාර පාන සේවා, ගෘහ පාලනය, සංචාරක දැනුම වැනි ක්ෂේත්‍රවලට අදාළ කුසලතා සහිත සිසුහු රැසක් පළාත් නවයම නියෝජනය කරමින් සහභාගී වූහ.
SLTDA සහයෝගය ඇතිව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දැනුවත් කිරීමේ වැඩසටහන්ද පැවැත්විණි. සංචාරක ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ශක්තිමත් කිරීමත්, ප්‍රමිති වැඩි දියුණු කිරීමත්, ජාතික මට්ටමේ උපාය මාර්ග සමග ඒකාබද්ධ වීමට අවශ්‍ය මග පෙන්වීමත් එහි අරමුණ විය. Guest Houses සහ Homestays සිට ප්‍රවාහන මෙහෙයුම්කරුවන් සහ දේශීය මාර්ගෝපදේශකයන් දක්වා විහිදී යන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සංචාරක ක්ෂේත්‍රයේ කොඳු නාරටිය වන පසුබිමක මෙවැනි වැඩසටහන් සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට උපකාර වේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයන් සඳහා වන කොළඹ දිස්ත්‍රික් වැඩසටහන SLTDA තත්ත්ව පාලන අංශයේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 02 BMICHහිදී පැවැත්වේ. එහිදී ප්‍රතිපත්ති සම්පාදකයන්ට, ගෝලීය නායකයන්ට, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ අදහස් සහ යෝජනාවලට අවධානය යොමු කිරීමට අවස්ථාව ලැබේ.
සැප්තැම්බර් 27 One Galle Faceහිදී සංචාරක අමාත්‍යංශය, SLTDA, AATEHM හා SLAITO සංවිධානය කරන කොළඹ සංචාරක වෙළෙඳපොළ සහ රැකියා ප්‍රදර්ශනය ඇරැඹේ. මෙම ප්‍රදර්ශනය කුටි 75කින් පමණ සමන්විත වේ. එය දේශීය ව්‍යාපාරවලට විදේශීය ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ විය හැකි වේදිකාවකි. සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින්, SLTDA සභාපති බුද්ධික හේවාවසම්, SLCB හා UNWTO නිලධාරීහු හා ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවෝ රැසක් එම සමාරම්භක උළෙලට සහභාගී වෙති.
සැප්තැම්බර් 28 ශ්‍රී ලංකා සංචාරක රැකියා සහ වෘත්තීය ප්‍රදර්ශනය කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්තගේ ප්‍රධානත්වයෙන් One Galle Faceහිදී පැවැත්වේ. එම ප්‍රදර්ශනය ආගන්තුක සත්කාර සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සේවා යෝජකයන් සමඟ රැකියා අපේක්ෂාවෙන් සිටින තරුණ වෘත්තිකයන් සම්බන්ධ කරයි. එයට සිසුන් සහ රැකියා බලාපොරොත්තුවෙන් සිටින්නන් සඳහා වන සම්මුඛ සාකච්ඡා, වෘත්තීය මාර්ගෝපදේශ සැසි සහ වැඩමුළු ඇතුළත් වේ.
ඔක්තෝබර් 01 BMICHහිදී 10 වන ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුව (ITRC) පැවැත්වේ. එම සමුළුවට ජාත්‍යන්තර මහාචාර්යවරු සහ විද්වත්හු 30කට අධික පිරිසක් සහභාගී වෙති. සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ වේ.
එදිනම සමස්ත ලංකා පාසල් සංචාරක සමාජ තරගාවලියේ අවසන් මහා තරගය SLITHM සහ SLCB සභාපති ධීර හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන් වෝටර්ස් එජ්හිදී පැවැත්වේ. පළාත් සියල්ල නියෝජනය කරන අවසන් තරගකරුවෝ 300ක් පමණ ඊට සහභාගී වන අතර ජයග්‍රාහකයන් ලෙස 30ක් තෝරා ගැනෙති.
ඔක්තෝබර් 02 විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතාගේ, තානාපතිවරුන්ගේ සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ප්‍රධානත්වයෙන් BMICHහිදී පැවැත්වෙන ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව (ITLS) සමඟ සංචාරක දින සැමරුම් අවසන් වේ.
“ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ අනාගතය සඳහා සංචාරක නවෝත්පාදනය සහ සම්බන්ධතා” යන තේමාව යටතේ පැවැත්වෙන විද්වත් සාකච්ඡාව එහි කැපී පෙනෙන අංගයකි. පීටර් හිල්, මිගෙල් කුනාත්, බුද්ධික හේවාවසම්, අමිතාබ් කාන්ට් හෝ සයිමන් ඇන්හෝල්ට් වැනි කීර්තිමත් ජාත්‍යන්තර විශේෂඥයෝ එහිදී අදහස් දක්වති. ඔවුන්ගේ සහභාගිත්වය තුළින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාව ගෝලීය සංචාරක භූ දර්ශනය තුළ ඉහළට ළඟා වෙමින් සිටින බවයි. ජාත්‍යන්තර භාවිත පිළිබඳව හැදෑරීමටත්, ඒවා දේශීය අවශ්‍යතාවට ගැළපෙන පරිදි සකස් කර ගැනීමටත් අවශ්‍ය මාර්ගෝපදේශනය එහිදී ලැබෙනු ඇත.
2025 ශ්‍රී ලංකා සංචාරක ප්‍රදර්ශනය හුදු සැමරුමකට පමණක් සීමා වූවක් නොවේ; එය ගැඹුරු දැක්මක් සහිත මුලපිරීමකි. නියෝජ්‍ය අමාත්‍යවරයාගේ, කර්මාන්ත පාර්ශ්වකරුවන්ගේ සහ ගෝලීය විශේෂඥයන්ගේ සහභාගිත්වය තුළින් මෙරට ආර්ථිකයට සහ අනන්‍යතාවට එම ක්ෂේත්‍රයේ ඇති වැදගත්කම තහවුරු වේ. මාසයකට අධික කාලයක් පැවැත්වෙන මෙම වැඩසටහන් සංවිධානය කිරීමට සංචාරක ආර්ථික සහ ආගන්තුක සත්කාර කළමනාකරණ උපාධිධාරී සංගමයේ (AATEHM) සභාපතිතුමන්, අධ්‍යක්ෂ මණ්ඩලය හා සාමාජිකයන් සුවිශාල කාර්යභාරයක් සිදු කර ඇති අතර අනෙකුත් සියලු ආයතන හා නිලධාරින්ගෙන් එයට සුවිශාල සහයෝගයක් ලැබී තිබේ.
