සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කර මැදපෙරදිග ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කළ දින හතක යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ.
ඉරානය විසින් කටාර් මැදිහත්කරුවන් හරහා ඇමෙරිකාවට ඉදිරිපත් කළ මෙම යෝජනාව යටතේ, ඇමෙරිකාව ඉරාන වරායන්ට පනවා ඇති නාවික අවහිරය ඉවත් කිරීම, ඉරාන තෙල් අපනයන සම්බන්ධ සම්බාධක ලිහිල් කිරීම සහ කලාපයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සිදු කළහොත් දින හතක් ඇතුළත හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානය සූදානම් බව ප්‍රකාශ කර තිබුණි.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි සඳහන් කර ඇත්තේ, ඇමෙරිකාව එකඟ වුවහොත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමෙන් අනතුරුව න්‍යෂ්ටික වැඩසටහන ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළ හැකි බවයි.
කෙසේ වෙතත්, ට්‍රම්ප් ඊයේ(26)දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් “මම ඔවුන්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කළා” යනුවෙන් ප්‍රකාශ කළ අතර, ඉරානය තවමත් ඇමෙරිකාවේ නිල ප්‍රතිචාරය මැදිහත්කරුවන් හරහා ලැබෙන තෙක් බලා සිටින බව වාර්තා වේ.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය ලෝකයේ වැදගත්ම බලශක්ති ප්‍රවාහන මාර්ගයක් වන බැවින්, එහි නාවික ගමනාගමනයට ඇති බාධා ගෝලීය තෙල් සැපයුම සහ ආර්ථිකයට බලපෑම් ඇති කර තිබේ.

