Monday, December 4, 2023
spot_img

Latest Posts

බැඳුම්කර ගනුදෙනු – කූපන් පොලී අනුපාතික හා ඵලදා අනුපාතය

භාණ්ඩාගාර බැඳුම්කර වල කූපන් පොලී අනුපාතික හා ඵලදා අනුපාතය අතර වෙනස ගැන කිහිප වරක්ම පැහැදිලි කර ඇතත්, ගොඩක් අයට තවමත් හරි අවබෝධයක් නැති නිසා උදාහරණයක් අරගෙන පුලුවන් තරම් සරලව පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කරන්නම්. මේ ලිපිය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන හෝ සේවක අර්ථ සාධක අරමුදල ගැන කතා කරන ලිපියක් නෙමෙයි.

මේ වන විට නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර වර්ග අතරින් වැඩිම කූපන් පොලියක් සහිත බැඳුම්කර නිකුත් කළේ පසුගිය වසර මුල. එම කූපන් පොලිය 22.5%ක්. මෙවැනි එක් කූපන් බැඳුම්කරයක් 2023 ජනවාරි 12 දින වෙන්දේසි කළා. එය කල් පිරෙන්නේ 2026 මැයි 15 දින.

ප්‍රාථමික වෙන්දේසියෙන් මේ බැඳුම්කරයේ රුපියල් 100ක මුහුණත අගයක් මිල දී ගත් අයෙකුට 2023 ජනවාරි 12 දින බැඳුම්කරය කල් පිරෙන තුරු රුපියල් 22.50ක වාර්ෂික පොලියක් ලැබෙනවා. නමුත්, බැඳුම්කරයක් කියන්නේ ස්ථිර තැන්පතුවක් වැනි දෙයක් නොවන නිසා මෙම කූපන් පොලිය 22.5% වාර්ෂික පොලියක් ලැබෙන ස්ථිර තැන්පතුවකට සමාන කරන්න බැහැ.

රුපියල් 100ක ස්ථිර තැන්පතුවක් දමන කෙනෙක් ඒ වෙනුවෙන් රුපියල් 100ක මුදලක් වැය කළ යුතුයි. ස්ථිර තැන්පතු පොලිය 22.50%නම් වාර්ෂිකව රුපියල් 22.50ක් ලැබෙන්නේ ඒ විදිහට රුපියල් 100ක් යට කළාට පස්සේ. නමුත් බැඳුම්කර ආයෝජන ඊට වඩා වෙනස්. වෙන්දේසියෙන් බැඳුම්කරයක රුපියල් 100ක මුහුණත් අගයක් මිල දී ගැනීම සඳහා ප්‍රාථමික අලෙවිකරුවන්ට සහ බැංකු වලට ලන්සු තියන්න පුළුවන්. මහ බැංකුව විසින් ලංසුව පිළිගත්තොත්, තමන් ලන්සු තැබූ මුදලට බැඳුම්කරයේ රුපියල් 100ක මුහුණත වටිනාකමක් මිල දී ගන්න ඉඩ ලැබෙනවා. ඒ ගණන රුපියල් 100ට අඩු හෝ වැඩි වෙන්න පුළුවන්.

ඉහත හේතුව නිසා, බැඳුම්කර ආයෝජනයක් කරද්දී එහි කූපන් පොලිය කියන්නේ නිකම්ම අංකයක් පමණයි. තමන්ට ලැබෙන ප්‍රතිලාභය තීරණය වෙන්නේ බැඳුම්කරය මිල දී ගැනීම සඳහා යට කළ මුදල අනුවයි. හරියටම රුපියල් 100ක් ගෙවලා බැඳුම්කරය ගත්තානම් පමණක් ලැබෙන ප්‍රතිලාභය කූපන් පොලියට සමානයි. නමුත් කලාතුරකින් හැර බැඳුම්කරයක මිල හරියටම කූපන් පොලියට සමාන වෙන්නේ නැහැ.

බැංකු, ප්‍රාථමික අලෙවිකරුවෝ හෝ වෙනත් අය වෙන්දේසියෙන් මිල දී ගන්න බැඳුම්කර කල් පිරෙන තුරු අතේ තියාගෙන ඉන්නේ නැහැ. අනෙක් පැත්තට වෙනත් අයට විකුණනවා. මේ විදිහට ද්වීතියික වෙළඳපොළෙන් බැඳුම්කරයක් මිල දී ගනිද්දී වුනත් කෙනෙකුට ලැබෙන ප්‍රතිලාභය තීරණය වෙන්නේ එය මිල දී ගැනීම සඳහා යෙදවූ මුදල අනුවයි. කූපන් පොලිය කීයද කියන එක වැඩක්ම නැති දෙයක්.

දැන් මේ 2023 ජනවාරි 12 දින වෙන්දේසි කළ, 2026 මැයි 15 දින කල් පිරෙන, 22.5% කූපන් පොලියක් සහිත, එකම බැඳුම්කරය ප්‍රාථමික වෙන්දේසියෙන් විවිධ බැංකු හා ප්‍රාථමික අලෙවිකරුවන් විසින් මිල දී ගන්නේ වෙනස් මිල ගණන් වලට. ඒ අනුව, ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභයද වෙනස් වෙනවා. සාමාන්‍ය අගයක් ලෙස ගත්තොත් එදින බැඳුම්කරයක් විකිණී තියෙන්නේ රුපියල් 88.10ක් පමණ මිලකට. ඒ මිලට, මේ බැඳුම්කරයේ රුපියල් 100ක මුහුණත අගයක් මිල දී ගත් අයෙකුට මාස හයකට වරක් ලැබෙන රුපියල් 11.25ක කූපන් පොලියට අමතරව කල් පිරීමේදී අමතර රුපියල් 11.90ක වාසියකුත් ලැබෙනවා. ඒ බැඳුම්කරය ගත් මිල සහ එහි මුහුණත අගය අතර වෙනස. මේ සියලු ලැබීම් සැලකූ විට එය යට කළ මුදල වෙනුවෙන් කල් පිරෙන තුරු 30.85%ක පොලියක් ලැබෙන එකට සමානයි. සාමාන්‍ය මිලට වඩා අඩු මිලකට වෙන්දේසියෙන් මෙම බැඳුම්කරය මිල දී ගත් කෙනෙකුගේ ප්‍රතිලාභය මීටත් වඩා වැඩියි. සාමාන්‍ය මිලට වඩා වැඩියෙන් ගෙවුවානම් ප්‍රතිලාභය අඩුයි.

මාස හයකට පස්සේ මේ බැඳුම්කරයේ වටිනාකම රුපියල් 108.63ක් දක්වා ඉහළ යනවා. ඒ කියන්නේ, ඒ මිලට ද්වීතියික වෙළඳපොළේ විකිණිය හැකි පරිදි අර්පණ ඉදිරිපත් වෙනවා. ඒ අනුව, මාස හයකට කලින් වෙන්දේසියෙන් මේ බැඳුම්කරය රුපියල් 88.10කට මිල දී ගත් කෙනෙකුට එය රුපියල් 108.63කට විකුණා රුපියල් 20.53ක ප්‍රාග්ධන ලාබයක් ලබන්න පුළුවන්. ඊට අමතරව ඔය කාලය ඇතුළත කූපන් පොලී විදිහට තවත් රුපියල් 11.25ක් ලැබිලා. එකතුව රුපියල් 31.78ක්.

දැන් මේ රුපියල් 31.78ක මුදල ලැබෙන්නේ රුපියල් 88.10ක ආයෝජනයක් වෙනුවෙන් මාස හයක කාලයකදී. ඒ කියන්නේ මාස හයකට 36.07%ක ප්‍රතිලාභයක්. මෙය 85.16%ක වාර්ෂික ප්‍රතිලාභයකට සමානයි!

වසරකට 85% ඉක්මවන ප්‍රතිලාභයකට සමාන මේ තරම් විශාල ප්‍රතිලාභයක් බැඳුම්කර ආයෝජකයින්ට ලබාගත හැකි වුනේ බැඳුම්කරයේ කූපන් පොලිය 22.5%ක් වූ නිසාද? කොහෙත්ම නැහැ. ආයෝජකයෙකුට ඔය මාස හය ඇතුළත මේ තරම් විශාල ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් වුනේ පොලී අනුපාතික විශාල ලෙස පහළ ගිය නිසා.

අපි හිතමු ඔය 22.5% කූපන් පොලී බැඳුම්කරය වෙනුවට ඔය දවසේම ද්වීතියික වෙළඳපොළෙන් අඩු කූපන් පොලියක් සහිත බැඳුම්කරයක් මිල දී ගත්තා කියලා. 2027 කල් පිරෙන 7.8% කූපන් පොලී බැඳුම්කරයක් ඔය දවසේදී අලෙවි වුනේ රුපියල් 49.91කට. මාස හයක් යද්දී එය රුපියල් 76.36ක් වෙලා. එතකොට මාස හයට ප්‍රාග්ධන ලාබය රුපියල් 26.45ක්. කූපන් පොලිය රුපියල් 3.90ක්. එකතුව රුපියල් 30.35ක්. රුපියල් 49.91ක ආයෝජනයකට මාස හයකට රුපියල් 30.35ක් කියන්නේ 60.88%ක්. එය 158.60%ක වාර්ෂික ප්‍රතිලාභයකට සමානයි.

මේ උදාහරණ වල තියෙන්නේ ඇත්තම ගණන්. ඒ කියන්නේ ඔය මාස හයක කාලය ඇතුළත බැඳුම්කර ආයෝජකයෙකුගේ ඇත්තම ලාබය. ලාබය තීරණය වී තියෙන්නේ කූපන් පොලිය මත නොවන බව ඔය ගණන් දෙක සංසන්දනය කළත් අනිවාර්යයෙන්ම පැහැදිලි විය යුතුයි. 7.8% කූපන් බැඳුම්කරයෙන් ලබා ගත හැකි වූ ප්‍රතිලාභය 22.5% කූපන් බැඳුම්කරයේ ප්‍රතිලාභය වගේ දෙගුණයකට ආසන්නයි.

ඒ වගේම, ඔය දෙකෙන් කොයි එක ගත්තත්, බැඳුම්කර මිල දී ගනිද්දී පෙනෙන්න තිබුණු ඵලදා අනුපාතික සහ මාස හයකට පසුව ඇත්තටම ලැබුණු ප්‍රතිලාභ අනුපාතික අතරත් සම්බන්ධයක් නැහැ. ජනවාරි මාසයේදී 22.5% කූපන් බැඳුම්කරයේ ඵලදා අනුපාතිකය 31%ක් පමණ. 7.8% කූපන් බැඳුම්කරයේ ඵලදා අනුපාතිකය 28%කට ආසන්නයි. ඇත්තටම ලැබුණු ප්‍රතිලාභය ඒ වගේ කිහිප ගුණයක්.

නැවත 22.5% කූපන් බැඳුම්කරය වෙත ගියොත්, රුපියල් 88.10ක් වූ එහි මිල මාස හයකට පසුව රුපියල් 108.63ක් දක්වා ඉහළ යනවා කියන්නේ ඒ මිල ගෙවා එය මිල දී ගන්නා අයෙකුගේ ඵලදා අනුපාතිකයද මුල් අනුපාතයට වඩා ගොඩක් අඩු වෙනවා කියන එක. එය 31.25% සිට 16.78%ක් දක්වා පහත වැටෙනවා.

බැඳුම්කරය අලුතෙන් මිල දී නොගත්, මුල සිටම තමන් සතු වූ අයෙකුගේ ඵලදා අනුපාතය වුවත් ඕකම තමයි. මොකද එහි මිල රුපියල් 108.63 දක්වා ඉහළ යාමේ ලාබය දැනටමත් අතේ තියෙන එකක්. ඉදිරි කාලයේදී ලැබෙන්න තියෙන්නේ ඔය 16.78%. මෙයින් පැහැදිලිව පෙනෙන පරිදි බැඳුම්කරයක් මිල දී ගනිද්දී පෙනෙන ඵලදා අනුපාතිකය බැඳුම්කරය කල් පිරෙන තුරුම දවසින් දවස වෙනස් වෙනවා. එය වෙන්නේ වෙළඳපොළ තත්ත්වයන් අනුව මිසක් ආරම්භයේදී පැවති ඵලදා අනුපාතය හෝ කූපන් පොලී අනුපාතය අනුව නෙමෙයි.

සේවක අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම පාරිතෝෂික අරමුදල් විසින් කළ බැඳුම්කර හුවමාරුවේ ලාබ පාඩු සලකා බැලිය හැක්කේත් ඔය පදනමේ සිටයි. බැඳුම්කර වල කූපන් පොලිය හෝ ආරම්භක ඵලදා අනුපාතය ඒ තරම් අදාළ දෙයක් නෙමෙයි. බැලිය යුත්තේ හුවමාරුව සිදු වූ දින අදාළ බැඳුම්කර වල ඵලදා අනුපාතික කොපමණ වීද කියන එකයි. එහෙම නැත්නම් අලුතෙන් ලැබුණු බැඳුම්කර වල ඵලදා අනුපාතික සමඟ කරන සංසන්දනය නිවැරදි සංසන්දනයක් නෙමෙයි. ඒවායේ කූපන් පොලී අනුපාතික එක්ක ආරම්භක ඵලදා අනුපාතික සංසන්දනය කරන එකනම් කොහොමටවත්ම නිවැරදි නැහැ.

ඉහත උදාහරණ දෙස බැලූ විට කෙනෙකුට පෙනෙනවා ඇති බැඳුම්කර ආයෝජන කරන අයට කොයි තරම් විශාල ලාබ ගන්න පුලුවන්ද කියන එක. නිකමට හිතන්නකෝ මාස හයකට 61%ක ප්‍රතිලාභයක් කියන්නේ කොයි තරම් විශාල ප්‍රතිලාභයක්ද කියලා. නමුත්, පාඩු වෙද්දී පාඩු වෙන්නෙත් ඔය විදිහටම තමයි.

මෙතැනින් එහාට මෙය සරල ලෙස පැහැදිලි කිරීම සඳහා පමණක් මම තාක්ෂණික ලෙස සියයට සියයක් නිවැරදි නැති උදාහරණයක් ගන්නම්. අපි හිතමු යම් කෙනෙක් වසර 10කින් කල් පිරෙන බැඳුම්කරයක් මිල දී ගනිද්දී එහි ඵලදා අනුපාතිකය 15%ක් කියලා. දැන් මේ ඵලදා අනුපාතිකය 15% වෙද්දී එහි කූපන් පොලිය 25% හෝ 5% වැනි ඕනෑම ගණනක් වෙන්න පුළුවන්. එය අදාළ නැහැ. මොකද කූපන් පොලිය කීය වුනත් ඵලදා අනුපාතිකය වෙළඳපොළ ඵලදා අනුපාතිකයට සමාන වෙන විදිහට මිල සකස් වෙනවා.

දැන් මේ බැඳුම්කරයේ ඵලදා අනුපාතිකය 15%ක් කියන එකෙන් අදහස් වෙන්නේ ස්ථිර තැන්පතුවකට වගේ වාර්ෂිකව 15%ක පොලියක් ලැබෙනවා කියන එක නෙමෙයි. වාර්ෂිකව ලැබෙන ප්‍රතිලාභය එහි කූපන් පොලිය අනුව වෙනස් වෙනවා. නමුත් වසර 10ක කාලය අවසානයේදී ලැබෙන මුළු ප්‍රතිලාභය සාමාන්‍ය අගයක් විදිහට ගත්තහම 15%ක ස්ථිර තැන්පතුවකට සමානයි.

ඔය විදිහේ වසර 10ක බැඳුම්කරයක් කල් පිරෙන තුරු එක් අයෙක් අතේම තියෙන්න අවශ්‍ය නැහැ. බැඳුම්කරය අතින් අත මාරු වෙනවා. එසේ මාරු වෙද්දී එහි ප්‍රතිලාභද පුද්ගලයින් හෝ ආයතන අතර බෙදී යනවා. ඒ සියල්ල එකතු කළ විට සාමාන්‍ය අගයක් ලෙස 15% වුනත් ඇතැම් අයට ඊට වඩා අඩුවෙනුත් තවත් අයට වැඩියෙනුත් ලැබෙනවා. ඒක වෙන්නේ වෙළඳපොළ පොලී අනුපාතික (ඵලදා අනුපාතික) අඩු වැඩි වෙන ආකාරය අනුව.

බැඳුම්කරය මිල දී ගනිද්දී වසර-10 කල් පිරීමක ඵලදා අනුපාතිකය 15%යි. වසරකට පසුව මේ බැඳුම්කරය සමාන වෙන්නේ වසර-9ක කල් පිරීමකට. අපි හිතමු ඒ වෙද්දී වසර-9 කල් පිරීමක ඵලදා අනුපාතය 14% දක්වා අඩු වෙලා කියලා. එහෙම වෙද්දී, මේ බැඳුම්කරයේ ඵලදා අනුපාතයද 14% වෙන විදිහට එහි මිල ඉහළ යනවා. ඒ කියන්නේ, එහි අනාගත ප්‍රතිලාභ වසරකට 1% බැගින් අඩු වෙනවා. මෙම අඩු වීම 9%ක්. (තාක්ෂණිකව මෙය මීට වඩා සංකීර්ණයි. ඒ නිසා මේ ගණන මීට වඩා වෙනස් වෙනවා. මෙහෙම කියන්නේ පැහැදිලි කිරීමේ පහසුවට). මෙසේ වෙද්දී බැඳුම්කරයේ අනාගත ප්‍රතිලාභ වලින් අඩු වෙන කොටස වන 9% එහි වෙළඳපොළ මිලට එකතු වී මිල 9%කින් ඉහළ යනවා. මේ අනුව, පළමු වසර අවසානයේදී බැඳුම්කරය විකුණන කෙනෙකුගේ ප්‍රතිලාභය 15% + 9% = 24%ක් දක්වා ඉහළ යනවා. කල් පිරීමේ කාලය දිගු වෙන තරමට සහ පොලී අනුපාතික අඩු වෙන තරමට මේ ලාබය ඉහළ යනවා.

ඉහත උදාහරණයෙන් පැහැදිලිව පෙනෙන පරිදි දිගුකාලීන ආයෝජනයක් කරන කෙනෙක් එහි ප්‍රතිලාභ ලබා ගන්න කල් පිරෙන තුරු ඉන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම පොලී අනුපාතික අඩු වෙන කාල වකවානු වලදී, දිගුකාලීන කල් පිරීම් සහිත බැඳුම්කර වල ආයෝජනය කිරීමෙන් කෙටිකාලයකින් විශාල ලාබයක් ලබා ගන්න පුළුවන්. පර්පෙචුවල් ට්‍රෙෂරීස් වැනි සමාගම් කෙටි කාලයකින් විශාල ලාබ ලැබුවේ මේ ක්‍රමයට. පැහැදිලි කිරීම සඳහා පමණක් කරන දළ ගණනයක් ලෙස, වෙළඳපොළ ඵලදා අනුපාතික 1%කින් පහළ යද්දී වසර 30ක බැඳුම්කරයක මිල 29%කින් පමණ ඉහළ යනවා. ඔය මිල ඉහළ යාම සතියක් වගේ කාලයක් ඇතුළත වුනත් වෙන්න පුළුවන්.

හැබැයි මේ ඉහළ ප්‍රතිලාභ වගේම මෙහි ඉහළ අවදානමකුත් තියෙනවා. වෙළඳපොළ ඵලදා අනුපාතික 1%කින් ඉහළ ගියොත්, ඔය ක්‍රමයටම වසර 30ක බැඳුම්කරයක මිල 29%කින් පමණ පහළ යනවා. එවිට, 15% වාර්ෂික ප්‍රතිලාභයෙන් පසුවත් 14%ක් පාඩු වෙලා. ඒ නිසා, මෙය අවදානමක් නැති ලාබයක් නෙමෙයි.

මේ විදිහට ඵලදා අනුපාතික ඉහළ ගොස් මිල අඩු වෙද්දී ඔය විදිහේ පාඩුවක් වෙන්නේ මිල අඩු වූ වෙලාවේ බැඳුම්කරය විකුණුවොත්නේ. එහෙම නොවිකුණා තියා ගන්න බැරිද?

බැරිකමක් නැහැ. නමුත් එහෙම තියාගත යුතුද නැත්නම් පාඩුවට විකිණිය යුතුද කියන එක තීරණය වෙන්නේ තමන් හිතන විදිහට ඉදිරියේදී පොලී අනුපාතික වලට කුමක් වෙයිද කියන එක මත. අපි හිතමු දැනට පාඩුව 14%ක් කියලා. ඉදිරි සතියේ පොලී අනුපාතික තවත් 1%කින් වැඩි විය හැකි බවයි පේන්න තියෙන්නේ. එහෙම වුනොත් මිල තවත් 29%කින් පහළ ගොස් පාඩුව 43%ක් වෙනවා. දැන්ම බැඳුම්කරය විකිණුවොත් 29%ක පාඩුවක් බේරගන්න පුළුවන්. ග්‍රීක බැඳුම්කර ගනුදෙනුවේදී වුනේ ඔය වගේ වැඩක්. වඩා වැඩි පාඩුවක් වලක්වා ගැනීම සඳහා මහ බැංකුව ග්‍රීක බැඳුම්කර පාඩුවට විකිණුවා. මේක ඕනෑම ආයෝජකයෙක් විසින් කරන දෙයක්.

අනෙක් අතට ඵලදා අනුපාතික පහළ ගිහින් පළමු වසරේ ලාබය විශාල ලෙස ඉහළ ගිය පමණින්ම ආයෝජකයෙක් විසින් එම බැඳුම්කරය විකුණා ලාබය මුදල් කර ගන්නේ නැහැ. ඒක තීරණය කරන්නෙත් අනාගතයේ පොලී අනුපාතික වලට කුමක් වෙයිද කියන එක අනුව. ඵලදා අනුපාතික තවත් පහළ යා හැකි බව පෙනේනම් බැඳුම්කරය විකුණන්නේ නැතිව තියාගෙන ඉන්න එකෙන් දැනටම එකතු වී තිබෙන විශාල ලාබය තවත් වැඩි කරගන්න පුළුවන්. දැනට ලොකු ලාබයක් එකතු වී තිබුණත්, පාඩුවක් එකතු වී තිබුණත්, බැඳුම්කරය විකිණිය යුත්තේ ඒ මත පදනම්ව නෙමෙයි. ඉදිරියේදී ඵලදා අනුපාතික වලට වෙන්න ඉඩ තියෙන දේ අනුව.

ඵලදා අනුපාතික අඩු වෙන බව පේනවානම් විකුණන එක පාඩුයි. තවත් මිල දී ගන්න එක ලාබයි. ඵලදා අනුපාතික වැඩි වෙන බව පේනවානම් විකුණන එක ලාබයි. මොකද දැන් අතේ තියෙන බැඳුම්කර පාඩුවට හෝ ලාබයට විකුණා මුදල් කර ගත්තොත් ඒ බැඳුම්කරම වුනත් වඩා අඩු මිලකට මිල දී ගන්න පුළුවන්. මේ කිසිම දේකට කූපන් පොලී අනුපාතික හෝ බැඳුම්කර මිල දී ගනිද්දී තිබුණු ඵලදා අනුපාතික අදාළ නැහැ. අදාළ වෙන්නේ ඵලදා අනුපාතික වල අපේක්ෂිත වෙනස. මේ වෙනස නිවැරදිව පුරෝකථනය කර ගන්න පුළුවන් අයට බැඳුම්කර ගනුදෙනු කිරීමෙන් විශාල ලාබ ලබන්න පුළුවන්. හැබැයි අවදානමක් ගන්න වෙනවා.

මේ අවදානම ගන්න සූදානම් නැති කෙනෙකුට අතරමැද ගනුදෙනු නොකර කල් පිරෙන තුරු බලා සිට මුලින් අපේක්ෂා කළ ඵලදා අනුපාතය ලබා ගන්න පුළුවන්. හැබැයි එවැනි අයෙකුට කල් පිරෙන තුරු වරින් වර මිල ඉහළ පහළ යද්දී ඉවසිල්ලෙන් බලා ඉන්න වෙනවා. එහෙම දිගු කාලයක් බලා සිටිය හැක්කේ විශ්‍රාම වැටුප් අරමුදල් වැනි කිසිම සල්ලි හදිස්සියක් නැති ආයෝජකයෙකුට පමණයි.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.