*
Friday, May 10, 2024
spot_img

Latest Posts

පොහොට්ටුවේ අපේක්ෂකයා ධම්මික – නායකත්වය බැසිල්ට? UNP මහලේකම් රවී!

  • පොහොට්ටුවේ අපේක්ෂකයා ධම්මික – නායකත්වය බැසිල්ට?
  • UNP මහලේකම් රවී!
  • හමුදාව බාගෙට බස්සයි
  • ටෙලිකොම් විකුණයි
  • සෞඛ්‍ය ලොක්කෝ ලබන වසරටත් දැන්ම ඖෂධ අරන්

ජනිත සෙනෙවිරත්න (නිව් යොර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): 2024 ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසම වෙත රුපියල් මිලියන එකොලොස්දහසක මුදලක් වෙන්කරදී තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු 2022 ජුලි 20 වැනිදා පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත් කර ගන්නා ලද අතර ව්‍යවස්ථානුකූලව 2024 ඔක්තෝබර් මාසයට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබේ.

මේ වන විට සමගි ජනබලවේගයේ සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක හා දිලිත් ජයවීර 2024 ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව හෝ නොකරන බව හෝ තවමත් ප්‍රකාශ කර නැත. එහෙත් ඔහු වෙනුවෙන් නිමල් ලන්සා ඇතුළු කණ්ඩායමක් පක්ෂ කාර්යාලයක්ද පිහිටුවා ගෙන දිවා රෑ තිස්සේ අවශ්‍ය කටයුතු සංවිධානය කරමින් සිටිති.

පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ව්‍යාපාරික ධම්මික පෙරේරා හට ලබාදීමට බොහෝදුරට ඉඩ තිබේ. පොහොට්ටුවේ අපේක්ෂකත්වය ලැබුනත් ජයග්‍රහණය ගැන පූර්ණ විශ්වාසයක් ඇතිව මිස ජනාධිපතිවරණය සඳහා තරග නොකරන තීරණයක ධම්මික පෙරේරා සිටින බව සඳහන්ය. කෙසේ වෙතත් පොහොට්ටුව කිසියම් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම රනිල් වික්‍රමසිංහට මෙන්ම දිලිත් ජයවීරටද අස්වැසිල්ලක් වනවාට සැක නැත.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඔහුගේ විරුද්ධවාදීන් නම් පටබැන්දේ රනිල් රාජපක්ෂ කියාය, දිලිත් ජයවීර ජනාධිපතිවරණයට එන්නේ රාජපක්ෂ වරු වෙනුවෙන් බව බොහෝ දෙනා කීහ. එම නිසා පොහොට්ටුවෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත්වීම මේ දෙදෙනාටම අස්වැසිල්ලකි. මේ අතරේ ජාතික සංවිධාන එකමුතුව විසින් සරත් වීරසේකර ජනධිපතිවරණය සඳහා තරග කරවීමේ උත්සාහයක්ද පවතී.

පොහොට්ටුවේ නායකත්වය බැසිල්ට?

මේ අතරේ පොහොට්ටුවේ නායකත්වයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉවත්වන්නට තීරණය කර ඇති බව සඳහන්ය. නාමල් රාජපක්ෂ හට පක්ෂ නායකත්වයට තව කල් තිබෙන බවද මහින්ද රාජපක්ෂ මහතා කියා තිබේ. ඒ අනුව පොහොට්ටුවේ නායකත්වයට එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පත්වීමට ඉඩ තිබේ.

2024 ආණ්ඩුවේ වියදම්

ලබන වසරේ රජයේ වියදම් සඳහා ඉදිරිපත් කෙරෙන අයවැය විසර්ජන පනත් කෙටුම්පතේ වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වන අතර එම මුදල රුපියල් කෝටි 42271කි.

ඊට පසු වැඩිම මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කෙරෙන අතර එම මුදල කෝටි 41028කි.

විසර්ජන පනත් කෙටුම්පත අනුව ලබන වසරේ රජයේ වියදම් සඳහා රුපියල් කෝටි තුන් ලක්ෂ අසූ හය දහසකට වැඩි මුදලක් වැය කිරීමට රජය අපේක්ෂා කරයි.

ලබන වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීමටවූ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳවූ ගැසට් නිවේදනය පසුගිය 27 වැනිදා නිකුත් කරනු ලැබීය.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මේ සතියේ ඉදිරිපත් කිරීමට නියමිතය.

මීට අමතරව ජනාධිපති කාර්යාලය වෙනුවෙන් රුපියල් කෝටි 659 ක්ද අග්‍රාමාත්‍ය කාර්යාලය වෙනුවෙන් කෝටි 115 කට වැඩි මුදලක්ද උපරිමාධිකරණ වල විනිශ්චකාරවරුන් වෙනුවෙන් රුපියල් කෝටි 51 ක්ද වැය කෙරෙන බව විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන් වේ.

මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් රුපියල් කෝටි 85 ක්ද පාර්ලිමේන්තුව වෙනුවෙන් රුපියල් කෝටි හාරසිය තිස් දෙකක්ද මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වෙනුවෙන් කෝටි 22494ක්ද විදේශ කටයුතු අමාත්‍යංශය වෙනුවෙන් කෝටි 1960ක්ද කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 10041ක්ද වෙන් කෙරේ.

මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් කෝටි 23705 ක්ද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙනුවෙන් රුපියල් කෝටි 5577 ක්ද මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් කෝටි 14073ක්ද වෙන් කෙරෙනු ඇත.

මේ අතරේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු සමග ගැටුම් ඇතිකරගෙන සිටින ඇමතිවරුන් කීපදෙනෙකුගේ අයවැය පරාජය කිරීමේ උත්සාහයක්ද පවතී. නව ඇමතිධුර ලබාදීම ඇතුළු පොහොට්ටුවේ ඉල්ලීම් ඉටුකරන්නට ජනාධිපතිවරයාට සිදුවන අතර එවැනි තත්වයක් තුල පාර්ලිමේන්තුව විසුරුවාහරින බවට අනතුරු හඟවන්නට ඔහුට හැකියාව තිබේ.

හමුදාව අඩකින් අඩු කරන්නට සැලසුම් …..

2030 වන විට ශ්‍රි ලංකා යුද හමුදාවේ සාමාජිකයන් හරි අඩකින් අඩු කිරීමට රජය සැලසුම් කර ඇත. මේ වන විට යුද හමුදාවේ අනුමත කාර්ය මණ්ඩලය දෙලක්ෂය ඉක්මවා ඇත.

රටේ විශාලතම වියදම හමුදාව හා ඊට සම්බන්ධ වියදම්ය. යුද්ධයද අවසන්ය. දූපතක් බැවින් දේශසීමා ද නැත. අපවැනි රටකට මෙවන් සුවිශාල හමුදාවක අවශ්‍යතාවය ගැන යුද්ධය අවසන් වූ අවස්ථාවේ සිටම විවිධ කතා බහ ඇති විය.

ඒ පිළිබඳව හමුදාවේ සමාලෝචනයක් කිරීම සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල්වරකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ ඇත.

දෙලක්ෂය ඉක්මවන යුධ හමුදා සාමාජික සංඛ්‍යාව ලක්ෂය පමණ දක්වා අඩුකර,යුද හමුදාව තාක්ෂණික හා උපායශීලී හමුදාවක් බවට පත් කිරීම රජය සැලසුම් වී ඇත.මීට සමගාමීව නාවික හා ගුවන් හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ද අඩු කිරීම ඉලක්කය වී තිබේ.

“සමාජ සුබසාධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර දරිද්‍රතා රේඛාව නිවැරදිව හඳුනාගන්න ” සජිත් ප්‍රේමදාස

“අස්වැසුම” වැඩසටහන ආරම්භ කිරීමට පෙර ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් සිදු කර දරිද්‍රතා රේඛාව හදුනා ගෙන දුප්පත් හා දුප්පත් නොවන පිරිස තහවුරු කරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එහෙත් එවැනි කිසිදු විනිවිදභාවයකින් තොරව, පුද්ගලයන් ලක්ෂ 20ක් තෝරා ගෙන ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන් රටේ විවිධ ව්‍යාපෘති සඳහා ලබාදුන් මුදල් බෙදා හරින බව විපක්ෂ නායකවරයා පවසයි.

අස්වැසුම හොඳ වැඩසටහනක් වුවත් එම වැඩසටහනේ බරපතල ගැටළු ඇති බවත් අවස්ථා කිහිපයකදීම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කළ බවත් , සමෘද්ධි සහනාධාරය ලබාදීමේදීත්, නිවැරදි දත්ත හා තොරතුරු නොමැතිව දුප්පත් ජනකොටස තෝරා ගැනීමට අවස්ථාව සැලසුවහොත් වැරදි ආකාරයට එම වැඩසටහන වුවද ක්‍රියාත්මක විය හැකි බවද පවසයි. ග්‍රාමීය, නාගරික හා වතු යන අංශ තුළ පවුල් ලක්ෂ 60ක් පමණ සිටින බවත්, ඔවුන්ගේ ආදායම් මට්ටම් පවා වෙනස් බවත් මේ පවුල්වල ආදායම් හා වියදම් ගණනය කර දුප්පත්කම නිර්වචනය කිරීමට විද්‍යාත්මක ක්‍රමවේදයක් ගොඩනැගිය යුතු බවත් එය සිදු නොකිරීම ආණ්ඩු ගණනාවක සිදුවූ බරපතල වරදක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් රවී කරුණානායක?

ඔක්තෝබර් මස අවසානයේ පැවැත්වෙන එජාප මහා සමුළුවේදී එක්සත් ජාතික පක්ෂයේ නව මහා ලේකම්වරයා ලෙස රවී කරුණානායක පත් කිරීමට එහි ප්‍රබලයන් පිරිසක් කටයුතු කරමින් සිටින බව දේශපාලන කරලියේ කතා බහට ලක්ව තිබේ. එජාපය යලි ජයග්‍රාහී මාවතකට තල්ලු කරන්නට නම් රවී වැනි මනා සංවිධාන ශක්තියක් ඇති ශක්තිමත් මහාලේකම්වරයකු අවශ්‍ය බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ. ඒ සම්බන්ධයෙන් එජාප ශාඛා සංවිධාන රැසකින්ම එජාප නායකත්වයට දැනුම්දීම් ද කර ඇති බව සඳහන්ය.

පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී දී පවා පාක්ෂිකයන් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි රවී ඕනෑම මොහොතක පක්ෂයේ සාමාජිකයනට ඇමතිය හැකි සමීප අයකු බව මොවුන් එජාප නායකත්වය වෙත දැනුම් දී ඇති බව සඳහන්ය. එසේම එජාප මහා ලේකම් ධුරයට ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති මෙන්ම පක්ෂයේ දෙස් විදෙස් සම්බන්ධතා නිසි අයුරින් පවත්වා ගෙන යාමට හැකියාව ඇති සුදුසුම පුද්ගලයා රවී කරුණානායක බව එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වී තිබේ.

ශ්‍රීලනිප හිටපු මහා ලේකම් දයාසිරි ජයසේකර නැවත එජාපයට

ශ්‍රීලංකා නිදහස් පක්ෂ නායකත්වය විසින් මහා ලේකම් ධුරයෙන් ඉවත් කර පක්ෂ සාමාජිකත්වය තහනම් කරනු ලැබූ දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යලිත් එජාපයට එක්වීමට සැරසෙන බව පැවසේ. මීට පෙරද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ ඔහු කලක් තිස්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේද සමීපතමයෙකි.

කරු ජයසුරිය උපන්දිනය යාපනයේදී සමරයි……

හිටපු කථානායක කරු ජයසූරිය ගේ ජන්ම දිනය පසුගිය සතියේ යෙදී තිබුණු අතර ඔහු සිය ජන්ම දින සැමරුම යාපනය ප්‍රදේශයේදී පැවැත්වූයේ ඔහු විසින් ආරම්භ කරන ලද සූර්ය පදනම හරහා සිංහල භාෂාව ඉගෙනගත් දමිළ දරුවන් වෙත සහතික පත් ප්‍රදානය කරමිනි.

එහිදී අදහස් දැක්වූ කරු ජයසූරිය

“අපගේ රට සංවර්ධනය කරා ගෙන යාමටනම්, ජාතික සමඟිය අත්‍යාවශ්‍යයි. එහෙම වෙන්න අනවබෝධය නැති කරගන්න ඕනි. අවබෝධය ඇතිකරගන්නනම් අනිත් කෙ⁣නා කියන දේ අපි දැනගන්න අවශ්‍යයි. ඒකට අපි අපේ රටේ සහෝදර භාෂාවන් ඉගෙනගන්න අවශ්‍යයි. මේ 300 ගණනක් වූ දරුවන් අනෙක් අයටත් සිංහල භාෂාව කියලා දීලා, සිංහල දරුවන්ට දෙමළ කියලා දීලා හැමෝම සමගියෙන් අත් අල්ලාගත්තු දවසට ජාතිවාදය කියන්නෙ තමන්ගෙ පැවැත්මට සුලුතරයක් භාවිතා කරන ඉනිමඟක් විතරයි කියලා තේරෙයි. එම නිසා ඔබ සහෝදරත්වයේ පාලම වෙන්න” යනුවෙන් පැවසීය

ලබන මාර්තුවට පෙර ටෙලිකොම් විකුණයි – ලක්ෂ දහයේ පඩියට අලුතින් හය දෙනෙක් පත් කරලා

ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනය ලබන මාර්තු මාසයට පෙර විදේශ සමාගමකට විකිණීමට නියමිතය. මේ වන විට ඊට අයත් දේපල හා වත්කම් පිලිබඳ තොරතුරු ලබා ගැනීම විදෙස් ගිණුම්කරණ සමාගමක් මගින් සිදු කෙරෙමින් පවතී.

ටෙලිකොම් ආයතනය විකිණීමට සියල්ල සුදානම්කර තිබියදීත් පසුගිය මාසය තුල කනිෂ්ඨ නිලධාරීන් හය දෙනෙකුට සාමාන්‍යධිකාරී තනතුරු ලබාදී තිබේ. මේ හය දෙනාට වැටුප් හා දීමනා ලෙස මාසයකට රුපියල් ලක්ෂ දහයක් බැගින් වැය කෙරේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට දැඩි ලෙස පාඩු වන ආකාරයට කටයුතු කරමින් ගිවිසුම් අත්සන් කල ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් දෙදෙනෙකු මේ වන විට විදේශගතව සිටිති. නවසීලන්තයේ ද්විත්ව පුරවැසිභාවය හිමි මෙන් එක් අයකු අධ්‍යාපන නිවාඩු මත තායිලන්තයේ බැංකොක් නගරයේ වාසය කරන අතර අනෙකා විශ්‍රාම ලබා සිටී. මේ දෙදෙනා ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයට සිදුකල පාඩු සහ අයතා ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට ටෙලිකොම් ඒකාබද්ධ වෘත්තීය සමිති ඉදිරි දින වලදී අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට නියමිතය. මොවුන් දෙදෙනා සේවා සහ නව සම්බන්ධතා සඳහා වසර තුනකට පසු ගෙවීමේ පදනම මත ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමට ඉතාම අවාසිදායක ගිවිසුම්වලට එළඹ තිබේ. එම ගනුදෙනුවල අයතා ගනුදෙනු ලබා ගෙන මෙම දෙදෙනා ඉවත්ව ඇතත් දැන් එම සියලු ණය ලබන වසරේ සිට ගෙවීමට සිදුවන්න්නේ වර්තමාන කලමනකරිත්වයටය.මෙම ගිවිසුම් ඩොලර් ගනුදෙනු වන අතර එදා රුපියල් 180 ක් වූ ඩොලරය දැන් 330 බැගින් ගෙවන්නට වී තිබේ.

රෝගීන්ට ඖෂධ නැතත් ටෙන්ඩර් මගඩි වලින් ලොක්කන්ට කොමිස්

රට පුරා රෝහල් වල අත්‍යවශ්‍ය ඖෂධ වල දැඩි හිඟයක් පවතී. එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ටෙන්ඩර් මගඩිවල නිමක් නැත. සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය සතුව අවශ්‍ය තරම් තොග තිබියදීත් හදිසි මිලදී ගැනීම් ලෙස ඉතාම වැඩි මිලකට මෙරපෙනම් නමැති ප්‍රතිජීවක ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරමින් සිටිති, මෙම ටෙන්ඩරයේ වටිනාකම රුපියල් මිලියන 1700 ක් වන අතර ආණ්ඩුවට මෙයින් සිදුවන පාඩුව රුපියල් මිලියන 550 කට අධිකය.සෞඛ්‍ය අමත්යනාශයේ හදිසි මිලදී ගැනීම් යටතේ අධික මිලට ඖෂධ මිලදී ගැනීම මගින් වාර්ෂිකව රජයට බිලියන ගණනක පාඩුවක් සිදුවන අතර මෙය වැලැක්වීම සඳහා නිර්මාණය කරන ලද පරිඝනක දත්ත මත පදනම්වූ මෘදුකාංග ක්‍රමවෙදයද ඉවත් කරන්නට මුලිකවුයේ අදාළ මාෆියාවය. මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහල තනතුරු දරමින් විශ්‍රාම ගොස් යලිත් වෙනත් ඉහල තනතුරු වලට පැමිණි ඇතැම් වෛද්‍යවරුන් සතුවද ඖෂධ ගෙන්වීමේ සමාගම් පවතී. මේ නිසා අද වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයම කැඳ හැලියක් බවට පත්ව තිබේ.

අක්ෂි කාච මිල දී ගැනීමේ ටෙන්ඩරය ගැන චෝදනා

මාස 6 කට තරම් ප්‍රමාණවත් අක්ෂි කාච ඖෂධ සැපයීම් අංශය සතුව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර තිබියදීත් යලිත් හදිසි මිලදී ගැනීම් යටතේ අක්ෂි කාචද මිලදී ගන්නට සැරසෙන බව පැවසේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් අක්ෂි කාච මිල දී ගැනීම සඳහා ලංසු ඉදිරිපත් කල සමාගම් සියල්ල, නියමාකාරයෙන් එම ලංසු ඉදිරිපත් කර නැති බැවින් නැවත එම ටෙන්ඩර කැඳවීමට සිදුවන බව මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණි. එහෙත් හිටි හැටියේ එම තීරණය වෙනස් කරමින් අඩුපාඩු සහිතව ලංසු ඉදිරිපත් කල සමාගම් වලින්ම එම අක්ෂිකාච තොගය මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා නැවත තීරණය කර ඇත.

මෙලෙස, අක්ෂි කාච 82500ක් මිල දී ගැනීම සඳහා ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් ටෙන්ඩර අටකටකඩා අක්ෂිකාච අවශ්‍යතාවය සඳහා ටෙන්ඩර කැඳවා තිබු අතර, අඩුම ලංසු තැබූ එක් සමාගමක් විසින් නියමිත පරිදි ලංසු බැඳුම්කර සපයා නොතිබූ අතර, අනෙක් සමාගම නියමිත පරිදි නිදර්ශක සපයා නොතීබීම හේතුවෙන් ටෙන්ඩර පටිපාටියට අදාලව ඇණවුම් ලබා දීමට නොහැකි නීත්‍යානුකූල ගැටලුවක් මතුව තිබුණි.
මෙම මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 800 කට වැඩි මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය වැය කිරීමට නියමිත අතර පවතින මිල ගණන් සසඳා බලු විට මෙයින් රුපියල් මිලියන දෙසීයකට අධික පාඩුවක් රජයට සිදුවේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහල පුටුවල වෙනසක් සිදු වන බවට තොරතුරු දේශපාලන ක්ෂේත්‍රයේ දිගින්දිගටම මතුවෙමින් තිබියදී මෙසේ ලබන වසරටද අවශ්‍ය මිලදී ගැනීම් කඩිමුඩියේ සිදු කරන්නේ යන්න ඉදිරියට දමමින් ගෙන එන මේ ට පෙර හැකි තරම් කොමිස් රැස්කර ගැනීමේ ක්‍රමවේදයක් දැයි සෞඛ්‍ය සේවකයෝ ප්‍රශ්න කරති.

ජනතා විරෝධය මැද ත්‍රස්ත විරෝධී සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතා පනත් ඉදිරියට ….

ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් වලට එල්ල වී ඇති මහජන විරෝධය නොතකමින් එම පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ.

තරුණ දරුදැරියන් ඇතුළු කාන්තාවන්ට සිදුවන හිංසනයන් හා ඔවුන් බ්ලැක් මේල් කිරීම වැළක්වීමේ අරමුණින් මෙය සිදු කරන්නේ නම් ඒ සඳහා ඒවා ඉලක්ක කර ගෙන නීති ගෙන ආ යුතුය. එවැනිදේ ඉදිරියට දමමින් මේ පනත තනිකරම විරුද්ධ මත දරන්නන් දඩයම් කිරීම සහ ජනමාධ්‍යය පාලනය කිරීම ඉලක්ක කර ගෙන ගෙන එන බවට සිවිල් සන්විධාන් හා ජනමාධ්‍ය සංවිධාන චෝදනා කරති.

මෙම පනත් කෙටුම්පත් වහාම ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයට දැනුම්දී තිබේ.

එම සංගමය පසුගියදා ඒකමතිකව තීරණය කර ඇත්තේ, මෙම පනත් දෙක, මානව නිදහසට හා ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියේ ආධිපත්‍යයට දැඩි සේ බලපාන බවයි. මීට අමතරව තවත් සංවිධාන ගණනාවක් මෙම පනත් කෙටුම්පත් දෙකට විරෝධය පළකර තිබේ. ලෝක ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සංගමයේ වරෙක සභාපති ධුරය පවා දැරූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධුරය දරන අවසථාවක මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් ඉදිරිපත්වීම දෛවෝපගතය.

යලිත් විදුලි බිල් ඉහලට …..

ඔක්තෝබර් මාසයේදී හෝ නොවැම්බර් මාසයේදී විදුලි බිල යළිත්වරක් සියයට විසි දෙකකින් ඉහල නැංවීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත මෙය සිදු කලද රටේ ජනතාවට දනටතිබෙන විදුලි බිලවත් ඔරොත්තු නොදෙන බව රජය තේරුම් ගත යුතුය.

මේ අතර විදුලි බල මණ්ඩලය කෑලි 15 කඩා ප්‍රතිව්‍යුහගත කරන්නට නියමිත බව පැවසේ.

විදුලි බිල වැඩි කරන්න මහජන උපයෝගිතා කොමිසමට ඉල්ලීමක් කර ඇති අතර කලින් එහි සභාපතිවරයා පාර්ලිමේන්තුව හරහා ඉවත් කල ආකාරය නිසා ආණ්ඩුවේ ඕනෑම ඉල්ලීමකට කොමිසම ඉඩදෙනු ඇත. සැබවින්ම තීරණ ගත නොහැකි මෙවැනි කොමිසන් සභා පවත්වා ගෙන යාමද අපරාධයකි.

රජයේ සේවකයිනුත් වැඩ වර්ජනයක?

රුපියල් විසිදහසක වැටුප් වැඩිවීමක් ඉල්ලා රාජ්‍ය හා අර්ධරාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව, දින 14ක් ඇතුළත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

රට ආර්ථිකමය වශයෙන් ගොඩ ගන්නා ආකාරය පිළිබඳව විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමට රජය අපොහොසත් බව පවසන එම වෘත්තීය සමිති දූෂණය, වංචාව, නාස්තිය වැලැක්මේ කිසිදු අභිලාෂයක් ආණ්ඩුවට නැට්ග්හි බවත් තිරණ ගැනීමේ නවීන බව වෙණුවට, වැඩවසම්, යටත් විජිත මනසකින් යුතු ගතානු ගතික තීරණ ගැනීමේ ක්‍රියා පිළිවෙතකට රට තල්ලු කර හැර ඇති බවත් පවසන එම එකමුතුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත.

රුපියල් විසිදහසක වැටුප් වැඩිවීමක්, වෘත්තීය සමිති මර්ධනය නතර කිරීම, ත්‍රස්ත විරෝධී පනත, මාධ්‍ය නියාමන පනත ඇතුළු, මර්ධනීය අණ පණත් හකුලාගැනීම ආදී ඉල්ලීම් රැසක් ඔවුන්ගේ ඉල්ලීම් අතර වේ.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan