ගංජා වෙනුවට යමහා හදමු – මහේෂ් හපුගොඩ

Date:

ලෝකයට ගංජා විකුණා ජීවත් වන රටක ජීවත්වීමට මට ඕනෑ නැත. මගේ රට මෙක්සිකෝ කාටේලයක් නොවේ. ලෝකයට ගැහැණු විකුණා ජීවත්වන රටක ජීවත් වීමටද මට උවමනා නැත. මගේ රට තායිලන්තය නොවේ. පිංපියෙක් වී ජීවත් වීමටෙද වුවමනා නැත. මගේ රට රුසියන් පාතාලය නොවේ.

දළදා මාළිගාවට ගොස් මම මගේ පිටුවේ රේටින් වැඩිකර ගැනීමට ඡායාරූප ගන්නේ නැත. යම් හෙයකින් එවැන්නක් ගත්තත් එය ෆේස්බුක් දමන්නේ නැත.

කංසා නීතිගත කරනවාට මගේ කිසිදු විරෝධයක් නැත. ඕනෑම මත්ද්‍රව්‍යයක් පාලනයක් ඇතුව පාවිච්චි කිරීමේ ශික්ෂණය ඇති සමාජයක ජීවත්වීමට ආශා කරමි.

ලිංගිකත්වය කොතරම් විවෘත වුවත් එහි වරදක් මම නොදකිමි. ඒ සියල්ල සඳහා උසස් ශික්ෂණයක් මම බලාපොරොත්තු වෙමි.

හැම දෙයක් වෙනුවෙන්ම යම් ස්වයං විනයක් තමා තුලම වගා කලයුතු බව විශ්වාස කරමි.

මේ රට යම් ආත්ම අභිමානයක් සහිතව ස්වයංපෝෂිතව පැවතුන අවස්ථාවල ඒ රජවරු එසේ කළේ ගංජා විකුණා නොවන බව විශ්වාස කරමි.

පරමාණු බෝම්බ දෙකකින් පසුත් ජපානය හිස එසවුවේ අප්‍රතිහත ධෛර්යයෙනි. යම් අරමුණක් කරා ගමන් කිරීමෙනි. ඔවුන් හැදූ ලෝකයේ දකින දකින තැන ටොයෝටාය, සෝනිය, යමහාය, හොන්ඩාය, සුසුකිය. මේඩ් ඉන් ජපන් ගංජා නැත. ඇත්නම් ඇත්තේ ඉතාම අවම මට්ටමේය. අභිමානයෙන් විකුණන සකේ නම් ඇත.

අප එකඟ වුවද නැතද පොහොට්ටුව බලයට ආවේ යම් ජාතිකත්ව අභිමානයක් ගැන පුරසාරම් කියමිනි. එවන් පසුබිමක ගංජා වෙනුවෙන් කතා පවත්වන උන්ට තමන්ගේ දේශපාලන වේදිකාව පාවිච්චි කිරීමට ඉඩ දිය යුතු යැයි මා සිතන්නේ නැත. මා කියන්නේ ගංජා නිසා ජාතිකත්වය අහෝසි වෙන බවක් නොව මුලින් කී දේවල්වලට සපුරා පටහැනි දෙයක් දැන් සිදුවීම ගැනයි.

දේශපාලනය ඇතුලේ වැරදීම් විය හැක. හැබැයි තමන්ගේ ප්‍රතිපත්ති යනුවෙන් තියන දෙයක් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. අද එම ප්‍රතිපත්ති වලංගු නොවුණද ඒවාට වලංගු බවක් අනාගතයේ මතු විය හැක.

ආගම ගැන මට ලොකු සීන් එකක් නැතත් මිනිස් ශිෂ්ටබව කෙරේ එය යම් සමාරම්භක බලපෑමක් ඇති කර ඇත. නූතන ආචාර ධර්ම පද්ධතිය වෙනුවෙන් එයටද යම් බලපෑමක් කළ හැක.

පිස්සු වැටුණ පරම්පරාවක් හෝ රටක් බලාපොරොත්තු නොවෙමි. මා අරගලයට පක්ෂපාත වූවේ ඒ අරුතිනි. ‘මේ මගේ වස්තුව’ යැයි කියමින් කලාවැවට අත දිගුකළ රටක මහා සංවර්ධිත බිබික්කමක් මට වුවමනා නැති වුවත් සාඩම්බර රටක හිමිකරුවෙක් වීමට බලාපොරොත්තු වුණෙමි.

අදටත් මා අරගලයට පක්ෂපාත ඒ අරුතිනි.

ඒ නිසා පාර්ලිමේන්තුවේ හර්ෂ ද සිල්වා කිවූ දේ සමඟ එකඟ වෙමි.

මේ මා සිතන හැටිය. ඒ අදහස් තුළ යම් බයි ගතියක් ඔබට හැඟේ නම් මගේ කණගාටුව ප්‍රකාශ කරමි. ඕනෑම බැණුමක් වෙනුවෙන් අවසර ඇත.

සහල් නිෂ්පාදනය කරමු. තේ පිටරට අරිමු. හැකිනම් යමහාද නිෂ්පාදනය කරමු. කවදා හෝ වෙස්ට්මින්ස්ටර් ඇබේහිදී එම පියානෝව පාවිච්චි වනු ඇතැයි සිතමු.

Image@ශ්‍රේෂ්ඨයකුට සිය ශ්‍රේෂ්ඨත්වය වෙනුවෙන් උදව් කරමින්. යමහා පියානෝවක් අබියස එල්ටන් ජෝන්.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...