*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ

වසර ගණනාවක් තිස්සේ ක්‍රමක්‍රමයෙන් අඩු වීමෙන් පසුවත්, දැනට ඇමරිකාවේ ඉන්ධන පිරවුම්හල් 132,000කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා [1]. මීට වසර තිහකට පමණ පෙර මෙම ප්‍රමාණය 200,000 ඉක්මවා තිබුණත් [2] දැඩි තරඟකාරිත්වය හා නියාමනය හමුවේ වසරින් වසර ඉන්ධන පිරවුම්හල් එකින් එක වැසී යාම නිසා දැනට ඉතිරි වී තිබෙන්නේ මෙම ප්‍රමාණයයි.

ඉහත පිරවුම්හල් ප්‍රමාණයෙන් 45%කට ආසන්න ප්‍රමාණයක්, එනම් පිරවුම්හල් 58,000ක් පමණ අයිති ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ තුළ සිටින ප්‍රධාන පිරවුම්හල් දාම 10ට වුවත් තවත් තරඟකරුවන් සිය ගණනක් හෝ දහස් ගණනක් මේ වෙළඳපොළේ ඉන්නවා. පිරවුම්හල් වැඩි ප්‍රමාණයක් අයිති එම කුඩා සමාගම් වලටයි. මේවායින් සැලකිය යුතු ප්‍රමාණයක් පවුලේ ව්‍යාපාර. ප්‍රධාන තරඟකරුවන් 10 දෙනා සහ ඔවුන් සතු පිරවුම්හල් ප්‍රමාණය පහත තිබෙනවා [3].

  1. ෂෙල් – 12,306
  2. එක්සොන් මොබිල් – 11,892
  3. බීපී (බ්‍රිටිෂ් පෙට්‍රෝලියම්) – 7,078
  4. ශෙව්රන් – 7,014
  5. සර්කල් කේ – 6,792
  6. සිට්ගෝ – 4,396
  7. ස්පීඩ්වේ – 3,284
  8. පිලිප්ස් 66 – 2,511
  9. 76 – 1920
  10. කනකෝ – 1,716

ඉහත ලැයිස්තුවේ සඳහන් කිසියම් පිරවුම්හල් දාමයක පිරවුම්හල් ප්‍රමාණය යන්නෙන් අදහස් වන්නේ එම පිරවුම්හල් අදාළ සමාගම් විසින්ම කළමනාකරණය කරන බව නෙමෙයි. මෙම පිරවුම්හල් කළමනාකරණය කරන්නේ වෙනත් ස්වාධීන පුද්ගලයින් විසින්. කැමති අයෙකුට මේ සඳහා ඉල්ලුම් කළ හැකි අතර ආසියානු රටවලින් සංක්‍රමණය වූ බොහෝ අයද මෙම ව්‍යාපාරයේ නියැලී ඉන්නවා. එහෙත්, ඔවුන් ව්‍යාපාරය මෙහෙයවන්නේ අදාළ සන්නාමය අයිති සමාගමේ කොන්දේසි අනුවයි. ඒ නිසා, කළමනාකරණය කවුරු කළත් පිරවුම්හල් වල බාහිර ආකෘතිය සමානයි. මෙය ලංකාවේ පෞද්ගලික පිරවුම්හල් හිමියන්ගේ ව්‍යාපාරික ආකෘතියට සමානයි.

ඉහත පිරවුම්හල් දාම 10ට අමතරව මීට වඩා කුඩා තවත් පිරවුම්හල් දාම ගණනාවක් මෙන්ම කිසිදු පිරවුම්හල් දාමයකට අයත් නැති ස්වාධීන පිරවුම්හල් ගණනාවක්ද තිබෙනවා. දාමයකට අයිති වුවත් නැතත් ඉන්ධන පිරවුම්හල් බොහෝ විට ක්‍රියාත්මක වන්නේ වෙනත් සිල්ලර බඩු විකුණන ව්‍යාපාරයක්ද (convenience stores) සමඟයි. එසේ නැත්නම්, සිල්ලරට ඉන්ධන විකිණීමෙන් පමණක් ලාබ ලබමින් වෙළඳපොළේ රැඳී සිටින්න අමාරුයි.

මේ වසරේ ක්‍රියාත්මකව පැවති මේ ආකෘතියේ කුඩා සිල්ලර වෙළඳසැල් 150,174ක් අතරින් 118,678ක්, එනම් 79%ක් පමණ ඉන්ධන විකිණීමද කර තිබෙන අතර, මුළු සිල්ලර ඉන්ධන වෙළඳාමෙන් 80%ක් සිදුව තිබෙන්නේ මේ තැන් වලයි. මේ අතරින් 60%ක් පමණම කළමනාකරණය කර තිබෙන්නේ එක් පිරවුම්හලක් පමණක් අයිති අයයි. මීට අමතරව තවත් පිරවුම්හල් 13,346ක සිල්ලර වෙළඳාමද සුළු වශයෙන් සිදුව ඇතත් ප්‍රධාන වශයෙන්ම සිදුව තිබෙන්නේ ඉන්ධන විකිණීමයි.

ඉන්ධන සිල්ලරට විකිණීම සැලකිය හැක්කේ ඉන්ධන නිෂ්පාදනය කිරීමේ හා බෙදා හැරීමේ කර්මාන්ත වලින් වෙනස් වෙනම කර්මාන්තයක් ලෙසයි. (ප්‍රධාන පිරවුම්හල් දාම ගණනාවක්ම ඉන්ධන නිෂ්පාදනය හා බෙදා හැරීමද කිරීම වෙනම කරුණක්.) මෙම කර්මාන්තය තුළ සිදුවන්නේ ඉතා සුළු අගය එකතු කිරීමක් පමණක් නිසා ඉන්ධන මිල කෙරෙහි මෙම සිල්ලර වෙළෙන්දන්ට විශාල බලපෑමක් කළ නොහැකියි. ඇමරිකාවේ සිල්ලර ඉන්ධන මිල උච්ඡාවචනය වන්නේ තොග මිල වෙනස් වන ආකාරය අනුවයි. එහෙත්, දැඩි තරඟකාරිත්වය නිසා පාරිභෝගිකයාට ලැබෙන මිල අඩු නොවන බවක් එයින් අදහස් වන්නේ නැහැ.

සිල්ලර ඉන්ධන වෙළඳපොළේ තරඟකාරිත්වය නිසා අඩු වන්නේ ඉන්ධන වල තොග මිල හා සිල්ලර මිල අතර වෙනසයි. මෙම අදියරේදී අගය එකතු වීමක් සිදු වන්නේ එම කොටස තුළ පමණයි. ඉන්ධන වල තොග මිල තීරණය වන්නේ වෙනම වෙළඳපොළකයි. දැඩි තරඟකාරිත්වයක් නොතිබී ඉන්ධන සිල්ලර වෙළඳාමේ ඒකාධිකාරයක් හෝ කතිපයාධිකරයක් පැවතුණේනම් ඉන්ධන සිල්ලරට විකුණන පිරවුම්හල් දාමයකට විශාල ලාබ ආන්තිකයක් තියාගෙන ඉන්ධන විකිණිය හැකිව තිබුණත් දැඩි තරඟය නිසා ඔවුන්ට එසේ කළ නොහැකියි. ඒ නිසා, ඉන්ධන වල සිල්ලර මිල තීරණය වන්නේ ඉන්ධන තොග මිල, ප්‍රවාහන ගාස්තු, ගබඩා කර තබා ගැනීමේ පිරිවැය, බදු වැනි කරුණු අනුවයි. මෙම මිල පිරවුම්හලෙන් පිරවුම්හලට වගේම දවසින් දවසටද වෙනස් වන මිලක්.

මේ වන විට ජෝජියා ප්‍රාන්තයේ වේක්‍රොස් වැනි තැනක පැට්‍රෝල් ගැලුමක් ඩොලර් 2.91කට පමණ (ලීටරයක් රුපියල් 249ක් පමණ) විකිණෙද්දී, කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ෆෝට් ජෝන්ස් වැනි තැනක පැට්‍රෝල් ගැලුමක් විකිණෙන්නේ ඩොලර් 6.49ක පමණ මිලකටයි (ලීටරයක් රුපියල් 555ක් පමණ) [4]. වෙළඳපොළ තරඟය තුළ යම් නගරයක ඉන්ධන මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මතයි. එහෙත්, ඉන්ධන ඉල්ලුම එතරම් නම්‍ය නොවන නිසා මිල කෙරෙහි වැඩි බලපෑමක් කරන්නේ සැපයුම් සාධකයි.

තැනින් තැනට මිල මේ විදිහට වෙනස් වෙද්දී. පසුගිය මාසයේදී ඇමරිකාවේ පැට්‍රෝල් ගැලුමක සාමාන්‍ය මිල ඩොලර් 3.958ක්. එනම් ලීටරයක් රුපියල් 339ක පමණ මිලක් [5].

  1. https://www.convenience.org/Research/Convenience-Store-Fast-Facts-and-Stats/FactSheets/IndustryStoreCount
  2. https://www.fueleconomy.gov/feg/quizzes/answerquiz16.shtml
  3. https://www.scrapehero.com/location-reports/10-largest-gas-stations-in-the-usa/#:~:text=Shell%2C%20Exxon%20Mobil%20and%20BP,7%2C078%20locations%20in%20the%20US.
  4. https://www.gasbuddy.com/gaspricemap?lat=38.822395&lng=-96.591588&z=4
  5. https://www.eia.gov/dnav/pet/PET_PRI_GND_DCUS_NUS_M.htm

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan