රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW :
ශ්‍රී ලංකා රජය තීරණ ගනු ලබන්නේ රටේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ මධ්‍යස්ථභාවය ආරක්ෂා වන පරිදි බව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
මානවහිතවාදී අවශ්‍යතා මතු වන ඕනෑම අවස්ථාවක මැදිහත් වීමට රජය සූදානමින් සිටින බව ද ඔහු අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ දේශීය මුහුදු සීමාවෙන් ඔබ්බට දැනට රැඳී සිටින ඉරාන නෞකා පිළිබඳ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශයේ දැනට නෞකා 47ක් පමණ පවතින බවත්, ඒ සියල්ල රටේ නාවික සැතපුම් 12ක දේශීය මුහුදු සීමාවෙන් ඔබ්බට පිහිටා ඇති බවත් අමාත්‍ය හේරත් මහතා පැවසීය.
එම නෞකා අතුරින් 19ක් පමණ ඉරාන නෞකා බවත්, ඒවා යම් කාලයක සිට එම ප්‍රදේශයේ රැඳී පවතින බවත් ඔහු සඳහන් කළේය.
ඉරාන නෞකා වෙත ආහාර හෝ ජලය ලබා දෙන ලෙස එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට බලපෑම් කළ බවට පළ වූ වාර්තා අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළේය.
එක්සත් ජනපදය එවැනි ඉල්ලීමක් සිදු කර නොමැති අතර, ඒ සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් කිරීමක් හෝ මැදිහත් වීමක් ද සිදු කර නොමැති බව ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවට බාහිර බලපෑම් එල්ල වී ඇති බවට පළ වූ ප්‍රකාශ ද ප්‍රතික්ෂේප කළ අමාත්‍ය හේරත් මහතා, රටේ ස්වෛරීභාවය හෝ මධ්‍යස්ථභාවය පාවා දීමට රජය කටයුතු නොකරන බව අවධාරණය කළේය.
ඉරාන නෞකාවක් ප්‍රහාරයකට ලක් වූ අවස්ථාවේදී මානවහිතවාදී පදනම මත ශ්‍රී ලංකාව මැදිහත් වූ බව ඔහු සිහිපත් කළේය.
කාර්ය මණ්ඩල සාමාජිකයින් 13 දෙනෙකු සමඟ දැනට ත්‍රිකුණාමලයේ රැඳී සිටින ‘බුෂෙහර්’ (Boushehr) නෞකාව ශ්‍රී ලංකාවේ භාරකාරත්වය යටතේ පවතින බවත්, ඒ සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ බලපෑමක් හෝ මැදිහත් වීමක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
යම් නෞකා සඳහා එක්සත් ජනපදය විසින් සම්බාධක පනවා තිබේ නම්, එම සම්බාධකවලට ලක් වූ නෞකා වෙත භාණ්ඩ ප්‍රවාහනය කිරීම හෝ සැපයීම ශ්‍රී ලංකා රජය විසින් සිදු නොකරන බව ද අමාත්‍යවරයා පැවසීය.
එවැනි නෞකා වෙත භාණ්ඩ හෝ සේවා සපයන පෞද්ගලික අංශයේ ආයතනවලට, පවතින තත්ත්වය වටහාගෙන ඊට අනුකූලව කටයුතු කිරීමේ වගකීමක් ඇති බව ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සිය කටයුතු ජාත්‍යන්තර සමුද්‍ර නීතියට සහ එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියට අනුකූලව සිදු කරන බව අමාත්‍ය හේරත් මහතා අවධාරණය කළේය.


