කොළඹ LNW:2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 12 වැනිදා අයවැය කථාව ඉදිරිපත් කිරීමට නියමිත අතර එදින විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදුකෙරේ.
අනතුරුව නොවැම්බර් 13 සිට 20 දක්වා දින හතක් දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, එහි ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක් පැවැත්වෙයි.
අයවැය තෙවැනිවර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත අතර එමගින් 2027 අයවැය පාර්ලිමේන්තු ක්‍රියාවලිය අවසන් වේ.
අයවැය විවාද පැවැත්වෙන කාලය තුළ ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර සෙනසුරාදා දිනවලද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි..
දෙවැනිවර කියවීමේ විවාදයේදී ආණ්ඩු පක්ෂයට සියයට 60කත්, විපක්ෂයට සියයට 40කත් විවාද කාලයක් වෙන්කර ඇති අතර, කාරක සභා අවස්ථාවේදී එය ආණ්ඩු පක්ෂයට සියයට 40ක් සහ විපක්ෂයට සියයට 60ක් ලෙස වෙන්කර තිබේ.


