*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ජනාධිපතිවරණය – මහමැතිවරණය ලබන වසරේ නෑ – ලක්ෂ 25 ක් වැටුප් ලබන ටෙලිකොම් ප්‍රධානියෙක් – මියුසියස් විදුහලේ නම කැත කරන පාලක මණ්ඩල ලොක්කා! චම්පික එජාපයට!!

  • ජනාධිපතිවරණය – මහමැතිවරණය ලබන වසරේ නෑ
  • ලක්ෂ 25 ක් වැටුප් ලබන ටෙලිකොම් ප්‍රධානියෙක් 
  • දිලිත්ගේ ජනාධිපතිවරණ කාර්යාලය බොරැල්ලේ
  • මියුසියස් විදුහලේ නම කැත කරන පාලක මණ්ඩල ලොක්කා
  • ධම්මික පංච මහා බලවේගය එක් කරන වෑයමක
  • ආරක්ෂක ලේකම් චන්දිමට තර්ජනය කරලා
  • වෙළඳ ඇමතිගේ තීරණයෙන් පොල් තෙල් සමාගම්වල කල්ල මරේ
  • චම්පික එජාපයට

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 160 දෙනෙකු ඍජු ලෙස ඡන්ද කොට්ඨාස මට්ටමින් තෝරාගත හැකිවන පරිදි පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා හදිසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

රජය වෙනුවෙන් එම කැබිනට් පත්‍රිකාව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ විසිනි.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීන් 225 දෙනාගෙන් 160ක් ඍජු ලෙසට ජනතාව විසින් ඡන්ද කොට්ඨාස මට්ටමින් තෝරාගත යුතුය. ඉතිරි සංඛ්‍යාව වන මන්ත්‍රීන් 65 දෙනා ජාතික හෝ පළාත් මට්ටමින් සමානුපාතික ක්‍රමයට තෝරා ගැනීම පිණිස විධිවිධාන සැලැස්විය යුතු බව සඳහන් ය.

ඒ සඳහා නව ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට රජය අපේක්ෂා කරන බැවින් ඊට අනුමැතිය ලබාදෙන ලෙස අධිකරණ අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යොමුකළ කැබිනට් පත්‍රිකාවෙහි සඳහන් ය.

දැනට පවත්නා ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225ක් වන අතර ඉන් 196 දෙනෙක් සමානුපාතික ක්‍රමයට දිස්ත්‍රික් මට්ටමින් තෝරා ගැනේ. සෙසු මන්ත්‍රීන් 29 දෙනා ඒ ඒ පක්ෂ ලබන ඡන්දවල අනුපාතය අනුව අදාළ පක්ෂවලින් තෝරා ගනු ලබයි. කෙසේ වෙතත් නව ව්‍යවස්ථා සංශෝධනය සිදුකළහොත් මැතිවරණ සීමා නීර්ණය කොමිසමක් මගින් මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණයක් සිදුකොට ඊට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගත යුතුය. මේ අනුව ඒ සඳහා කොතෙක් කාලයක් ගතවනු ඇත්දැයි කිව නොහැකි අතර සීමා නිර්ණය කොමිසමේ වැඩකටයුතු අවසන් වන තෙක් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම කල් දැමීමේ හැකියාව පවතී.

බැලූ බැල්මට ආසන මට්ටමින් මන්ත්‍රීවරු පත් කිරීම  ඉතාම කාලෝචිත පියවරක් ලෙස පෙනුනද ඒ යටින් ඇත්තේ බරපතල කරුණු ගණනාවකි.

ආසන ක්‍රමය සමඟ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට සැලසුම්?

මෙම කැබිනට් පත්‍රිකාව කරලියට එන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡා පැවති බවට විවිධ තොරතුරු දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ කතා පැතිර යද්දී ය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළහොත් ලබන වසරේ ජනාධිපතිවරණයක් නැත. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ වන විට කටයුතු කරගෙන යන ආකාරයට ඔහු ජනාධිපතිවරණයක් ගැන සිතන බවක්ද නොපෙනේ. මේ ආකාරයට විදුලි බිල්, ජල බිල්, ඉන්ධන මිල හා බඩු  මිල වැඩි කර මැතිවරණ ජයග්‍රහණය කරන්නට සිතීමද සිහිනයකි. එම නිසා මහා මැතිවරණයක් නොපැවැත්වීම හරහා ජනතා අප්‍රසාදයට මුහුණ දීමෙන් වැළකී සිටීමටද අවස්ථාව ලැබේ. අනෙක් අතට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවකට පක්ෂව ඡන්දය නොදී සිටින්නට සමගි ජන බලවේගයට හෝ ජාතික ජන බලවෙගයට ද පුළුවන් කමක් නැත. ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්වුව ද  ඊට ජනතාව පක්ෂව ඡන්දය  දෙනු ඇත. එවිට ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ වලින් මිදෙන්නට රජයට අවස්ථාව ලැබේ.

මේ කරුණු කෙසේ වෙතත් ජනාධිපතිවරණයට බොහෝ දෙනෙක් සුදානම් වෙමින් සිටිති. ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙතැයි සැලකෙන පිරිස එන්න එන්නම වැඩිවෙමින් පවතින අතර ප්‍රබල අපේක්ෂකයන් රැසක් ඒ සඳහා ඉදිරිපත්වීමේ අවසන් ප්‍රතිඵලය වනු ඇත්තේ කිසිවකුත් සියයට පනහක ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගෙන දෙවැනි වටයක් පැවැත්වීමට සිදුවීමය.

“සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පත් ඉවත් කර ගන්න” –  සජිත් ප්‍රේමදාස

මාර්ගගත ක්‍රම සුරක්ෂිතතා පනත් කෙටුම්පත ලෙස හඳුන්වමින් මාධ්‍ය නිදහස සම්පූර්ණයෙන්ම හකුලන පනත ගෙන ඒමෙන් වලකින ලෙස තමන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

මිලියන 230ක ජනතාවක් වෙසෙන පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ද මෙවැනි පනතක් ගෙන ඒමට දැරූ උත්සාහය හකුලා ගැනීමට සිදුවූ බවත්, ඊට ප්‍රධාන වශයෙන් අන්තර්ජාල හා සමාජ මාධ්‍ය පදනම් කරගත් ආයතන එරට ආර්ථිකයෙන් ඉවත්වීමට ගත් තීරණය බලපෑ බවත් සජිත් ප්‍රේමදාස පැවසීය.

යම් හෙයකින් මෙරටද එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් එය විදෙස් ආයෝජන වෙළඳ පොළට දැඩිව බලපානු ඇති බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා ඊට අමතරව අදාළ පනත හේතුවෙන් ජනතාවගේ භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ මුලික අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උල්ලංඝනයවන බවත්, ඒ හේතුවෙන් මෙවැනි ඒකාධිපති ආඥාදායක පනත්වලට ප්‍රවේශ නොවී, නිදහසේ තොරතුරුවලට ප්‍රවේශ විය හැකි ශක්තිමත් පනතක් ගෙන එන ලෙස ඉල්ලා සිටින බවත් පැවසීය.

සජිත් චීන ජාතික දිනයට නොගිය හේතුව

මේ අතර පසුගියදා පවතී චීන ජාතික දින උත්සවයට සජිත් ප්‍රේමදාස සහභාගී නොවීම බොහෝදෙනාගේ අවධානයට ලක්ව තිබිණි. ඒ සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මෛත්‍රීපාල සිරිසේන සහභාගී වූ අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිටියේ ජර්මනියේ ය. සජිත්ගෙන් මේ සම්බන්ධයෙන් ඇතැමුන් විමසු අතර සජිත් ඔවුන්ට පවසා ඇත්තේ තමන්ට  මේ උත්සවයට ආරාධනා ව අතට ලැබුනේ අවසන් මොහොතේ නිසා ඒ වන විට තමන් කොළඹින් බැහැරව සිටි බැවින් ඊට සහභාගිවීමට අවස්ථාවක් නොලැබුණු බවය. තමන් මෙරට චීන තානාපතිවරයා සමඟ පසුගිය දින වල උත්සව වලටද සහභාගී වූ බව පිළිතුරු ලෙස සජිත් පවසා තිබේ.

දිලිත්ගේ ජනාධිපතිවරණ කාර්යාලය 11 දා බොරැල්ලේ විවෘත වෙයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කරන බව ප්‍රකාශ වන දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු දිලිත් ජයවීර ලබන 11 වැනිදා ඔහු නායකත්වය දරන මව්බිම ජනතා පක්ෂයේ ප්‍රධාන කාර්යාලය කොළඹ බොරැල්ලේ ඇක්වයිනාස් ආයතනය අසල සිවුමහල් ගොඩනැගිල්ලක විවෘත කරන්නට නියමිත ය. ඒ ජනාධිපතිවරණ සටන දියත් කිරීම සඳහාය. එයින් පසුව ලබන වසරේ ජනවාරි මාසයේ හෝ පෙබරවාරි මාසයේ ඔහුගේ ජනාධිපතිවරණ සටන නිල වශයෙන් දියත් කිරීමට නියමිත බව පැවසේ. 1967 දී ගාල්ලේදී උපන් දිලිත් ගාල්ල ඇලෝෂියස් විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලය හා නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබේ. මෙතෙක් මෙරට අනුන් රජ කිරීම සඳහා කැම්පේන් දියත්කළ දිලිත් තමුන්ගේ කැම්පේන් එක කෙසේ දියත් කරන්නේදැයි දේශපාලන ලෝකය මෙන්ම ව්‍යාපාරික ලෝකයද බලා සිටිති.  ඔහු මේ වන විට නිහඬව සියලු පාර්ශව ඒකරාශී කිරීමේ වෑයමක යෙදී සිටින අතර සමාජයේ විවිධ පාර්ශව සමඟ රටේ වෙනස් කල යුතු දේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබේ.

ධම්මික පෙරේරා සඟ-වෙද-ගුරු-ගොවි-කම්කරු පංච මහා බලවේග එක් කරන වෑයමක

සඟ-වෙද-ගුරු-ගොවි-කම්කරු පංච මහා බලවේග එක් කරමින් තම ජනාධිපතිවරණ සටන මෙහෙයවන බව පවසන ව්‍යාපාරික ධම්මික පෙරේරා තමන් ඊට ඉදිරිපත්වන්නේ සියයට 51 ක ඡන්ද ප්‍රතිශතයක් පිලිබඳ විශ්වාසයක් ඇතිවන්නේ නම් පමණක් බව ද කියා සිටී. කෙසේ වෙතත් රට දියුණු කිරීම සම්බන්ධයෙන් විවිධ සමීක්ෂණ හා සංඛ්‍යාලේඛන අනුව සකස්කළ  දත්ත හා සැලසුම් සහගත වැඩපිළිවෙලක් දැනටමත් ධම්මික පෙරේරා සතුව තිබේ. එය රටේ සාමාන්‍ය ජනතාව වෙත ගෙනයාම හා ඔවුන් එය කොතෙක් දුරට පිලි ගන්නේද යන්න ඔහුට ඇති අභියෝගයයි. එසේම ඔහු මෙරට දරුවන්ගේ අධ්‍යාපනය සඳහා දියත් කර ඇති සාර්ථක වැඩපිළිවෙල විශාල පිරිසකට සෙත සලසා තිබේ.

දිවයිනේ ප්‍රධාන පෙළේ සමාගම් 18ක පමණ අධිපතිවරයා ලෙස කලකට පෙර කටයුතු කළ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියට පත්වූ අවස්ථාවේ එම සමාගම්වල දැරූ සියලු තනතුරුවලින් ඉවත් විය. දැනට පොහොට්ටුවේ අපේක්ෂකත්වය හිමි වන බව පැවසෙන ධම්මික පෙරේරා ප්‍රධාන පක්ෂ එක්කර ගනිමින් තම අපේක්ෂකත්වය වඩා පුළුල් පෙරමුණකට ගෙන ඒමේ අපේක්ෂාවෙන් පසුවෙයි.

බැසිල් පන්සල් යයි

පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ධම්මිකට ලබා දුන්න ද බැසිල් රාජපක්ෂ පන්සල් යන්නට පටන් ගෙන තිබීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන අධිකරණ සංඝනායක අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද හිමිපාණන්ගේ අසුවන උපන්දිනය වෙනුවෙන් පැවති දානමය පින්කමට බැසිල් රාජපක්ෂ සහභාගිවීමත් සමඟ ය. මෙරට දේශපාලනය සිංහල බෞද්ධ පදනම සමඟ බැඳී පවතින බැවින් මෙරට දේශපාලනය සෑම විටම බෞද්ධ විහාරස්ථාන මුලික කරගෙන සිදුවීම කාලයක් තිස්සේ සිදුවන්නකි.

පොලිස්පතිට සේවා දිගුවක්

පොලිස්පති චන්දන වික්‍රමරත්න ට යලිත් සේවා දිගුවක් ලබා දීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග පවසයි. මේ මොහොතේ පොලිස් දෙපාර්තමේන්තුව තුළ බෙදීමක් ඇති නොවීම සඳහා ගත හැකි හොඳම පියවර වත්මන් පොලිස්පතිවරයා එම තනතුරේම තබා ගැනීම බව ජනාධිපතිවරයාට සමීප පාර්ශව ගණනාවක් ද ජනාධිපතිවරයා වෙත පෙන්වා දී තිබිණි.

සෞඛ්‍ය ඇමති රැක ගන්න මාධ්‍ය මෙහෙයුමක්

සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ගේ සෞඛ්‍ය ඇමති ධුරය රැකගැනීම සඳහා දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් දියත් කර තිබේ. ඔහුට එරෙහිව නැගී ඇති චෝදනා වෙනත් අතකට යොමුකරමින් ඔහු සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් පැහැදීමකින් පසුවන බවට මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. ඔහු තනතුරෙන් ඉවත් කරන බවට ආරංචි පැතිරයාමත් සමඟ ලබන වසර සඳහා ද මිලදී ගැනීම් සිදු කරන ලද බවට චෝදනා එල්ල වූ අතර ඒ අනුව රජයේ ඉහළම තැනකින් ලැබුණු නියෝග මත සෞඛ්‍ය අංශයේ හදිසි මිලදී ගැනීම් අහෝසි කරන්නට පවා සිදු වූයේ දුෂණ චෝදනා නිසාය.

අලි සබ්‍රිගේ මල්ලී වෙනුවට තෙල් සංස්ථාවට සාලිය වික්‍රමසූරිය

විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති මොහමඩ් උවයිස් අතර කලක සිට ගැටුම් පැවති අතර එය අවසන් වුයේ පසුගියදා සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමෙනි. විදේශ කටයුතු ඇමති අලි සබ්රිගේ සහෝදරයා වූ මොහමඩ් උවයිස් තනතුරින් ඉවත්වීමෙන් පසුව ප්‍රකාශ කලේ නව සභාපතිවරයෙක් පත් කර ගැනීමට ඇමතිවරයාට අවශ්‍යත්වයක් තිබු අතර තමා ඊට ඉඩදෙමින් ඉවත්වූ බවය. මේ අතර නව සභාපතිවරයා ලෙස  සාලිය වික්‍රමසුරිය පත් කර තිබේ. ශ්‍රීලංකා වරාය අධිකාරියේ හිටපු සභාපතිවරයකු වූ ඔහු ආයතන ගණනාවක ප්‍රධාන තනතුරු දරා ඇති අතර සුප්‍රසිද්ධ තංගල්ලේ කාල්ටන් නිවසේ හිමිකාරිත්වය ඔහුගේ සීයාට හිමිය.

නසීර් අහමඩ් ට මන්ත්‍රීධුරය හා ඇමති ධුරය අහිමි වේ

2021 වසරේ පාර්ලිමේන්තුවේ විවාදයට ගත් විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමේ දී, ඊට පක්ෂව ඡන්දය ලබාදුන් අමාත්‍ය නසීර් අහමඩ්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයගත් තීරණය නීත්‍යනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කළේ ය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගත් තීරණය බල ශූන්‍ය බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අමාත්‍ය නසීර් අහමඩ් ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, එස්. තුරෙයිරාජා සහ මහින්ද සමයවර්ධනගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබීය.

නඩු තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මහලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් අදහස් දක්වමින්, “මෙම තීන්දුවත් සමඟම නසීර් අහමඩ් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමි වෙනවා. ඒ වාගේම අමාත්‍යධූරයත් අහිමි වෙනවා,” යනුවෙන් ප්‍රකාශ කළේ ය.

2021 වසරේ නොවැම්බර් මස 12 වනදා මුදල් අමාත්‍යවරයා විසින් 2022 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ට.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය අදාළ පනත් කෙටුම්පතට අවශ්‍ය නම් විරුද්ධව ඡන්දය දීමට හෝ ඡන්දය දීමෙන් වැළකී සිටීමට උත්තරීතර මණ්ඩලය තීන්දු කර තිබියදී නසීර් අහමඩ් මන්ත්‍රීවරයා පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ තීන්දුවට පිටුපාමින් විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර් විසින් 2022 වසරේ අප්‍රේල් මස 23 වනදා ඔහුගේ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපන ලදී. ඊට එරෙහිව නසීර් අහමඩ් අධිකරණයට ගිය අතර එහි තීන්දුව අනුව ඔහුට මන්ත්‍රී ධුරය අහිමි විය. මේ අතර අදාළ පුරප්පාඩුව සම්බන්ධ ගැසට් නිවේදනය වහාම නිකුත් කරන ලෙස ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම්දී තිබේ.

ටෙලිකොම් සමාගමට බරපතල පාඩු සිදුවන මිලියන හාරදහසක ගනුදෙනුවක් අත්සන් කිරීම ළඟදීම

ෆයිබර් නව සම්බන්ධතා ලබා දීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට බරපතල පාඩු ලබා දෙන රුපියල් මිලියන හාරදහසක තවත් ගනුදෙනුවක් සඳහා ඉදිරි දින කීපයතුල ගිවිසුම් අත්සන් තැබීමට නියමිත බව ශ්‍රී ලංකා ටෙලිකොම් සේවක වෘත්තීය සමිති පවසයි. තවත් වසර දෙකකට පසුව  එම කාලයට අදාළ පොලියද සමඟ ගෙවීමේ පදනම මත මෙම ගිවිසුම් අත්සන් තැබීමට නියමිතය. ළඟදී විශ්‍රාම යාමට නියමිත ටෙලිකොම් ඉහල නිලධාරීන් කීප දෙනෙකු මෙම ගනුදෙනුව සඳහා මූලික වී ඇති අතර එහි වාසි ලබා ගෙන විශ්‍රාම යාම මෙම පිරිසේ අරමුණ වී තිබේ.

කොන්ත්‍රාත් පදනම මත ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවය කරන මූල්‍ය අංශයේ ප්‍රධානියකු මෙහි මහමොලකරු වන අතර ඔහුගේ මාසික වැටුප් හා දීමනා වල එකතුව රුපියල් ලක්ෂ 25 කි. ටෙලිකොම් ආයතනය වෙනුවෙන් මෙරට බැංකු වලින් ණය ලබා ගන්නා විට පවා අදාළ  බැංකු හා මුල්‍ය ආයතන වලින් මොහුට  විශාල කොමිස් මුදල් ලබා දෙන බවද සඳහන් ය.

ලබන වසර මුලදී ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය සඳහා මේ වන විට සියල්ල සුදානම් ය. 2021 වසරේ රජයට ලාභාංශ සහ බදු ලෙස රුපියල් මිලියන විසිපන්දහසක් ලබාදුන් ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනය විකුනදමීමෙන් මින් ඉදිරියට අදාළ ආදායම් රජයට අහිමිවීම සිදුවේ. පසුගිය වසරවල  ටෙලිකොම් ආයතනය ඩොලර් වලින් පසුව ගෙවීමේ පදනම මත අත්සන් කල ගිවිසුම් නිසා බ්‍රවුන්ස්, සියරා, හුආවේ, ZTE, ලුමිනෙක්ස් ආදී සමාගම් රැසකට ඩොලර් වලින් මිලියන ගනනක් මේ වසර අග සිට  ගෙවීමට නියමිතව ඇත්තේ ටෙලිකොම් ආයතනය ට දැඩි මූල්‍ය පාඩුවක් ඇති කරමිනි.

මියුසියස් විදුහලේ නම කැත කරන පාලක මණ්ඩල ලොක්කා

මෙරට බෞද්ධ කාන්තා අධ්‍යපනයේ මුදුන්මල්කඩ වැනි කොළඹ මියුසියස් විද්‍යාලයට වර්තමානයේ අත්වෙමින් පවතින ඉරණම සම්බන්ධයෙන් එහි දැරියන්ගේ දෙමාපියන් මෙන්ම ආදී සිසුවියහු ද දැඩි කනස්සල්ලෙන් පසුවෙති.

එහි පාලක මණ්ඩලයට මෑත කාලයේ පත්වූ ප්‍රබලයකුගේ ක්‍රියාවන් නිසා අද එම කාන්තා විදුහලේ තරුණ  වැදගත් ගුරුවරියන්ට තම ගරුත්වය ආරක්ෂා කරගනිමින් ගුරු වෘත්තියේ නියැලෙන්නට නොහැකි තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී. කාලාන්තරයක් තිස්සේ එම විද්‍යාලයේ විදුහල්පතිනියන් ලෙස පත්වුයේ රටේ ප්‍රධාන පෙලේ බාලිකා විද්‍යාලවල විශ්‍රාම ගිය කීර්තිමත් විදුහල්පතිනියන් ය. ඔවුහු විදුහලේ කීර්තිනාමය රැක ගනිමින් රටේ පර්ධනතම බාලිකා විද්‍යාලයක් ලෙස එය දිගින් දිගටම රැක ගත්හ, එහෙත් මෑත කාලීනව පාලක මණ්ඩලයට පත්වූ ප්‍රබලයකු ගේ කටයුතු මේ සියල්ල කණපිට පෙරලන්නට සමත්විය.

පෙර පාසල් ගුරුවරියක ව සිට මියුසියස් විද්‍යාලයේ මොන්ටිසෝරි ගුරුවරියක බවට පත්වූ කාන්තාවක එම විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස පත් කරගන්නට මේ තැනැත්තා නොගත් උත්සහයක් නැත. මේ හේතුව නිසා මියුසියස් විද්‍යාලයට විදුහල්පතිනියක නොමැතිව පවත්වා ගෙන යන්නට පවා මොහු කටයුතු කල අතර අවසානයේ අධ්‍යාපන අමාත්‍යංශයට පවා ඒ සඳහා මැදිහත්වන්නට සිදු විය. පසුව වෙනත් විදුහල්පතිනියක පත් කල අතර  එහෙත්  මතුව ආ විරෝධතා මැද පවා අදාළ ගුරුවරිය එම විද්‍යාලයේ පහල අංශයක ප්‍රධාන තනතුරක මේ වන විට කටයුතු කරයි. මේ තත්වය හා අදාළ ප්‍රබලයාගේ කටයුතු නිසා මේ වන විට විදුහලේ ගුරුවරියන් අතර බෙදීමක්  ඇතිවී ඇති අතර එම තත්වය විදුහලේ අධ්‍යාපන කටයුතු වලටත්  එදිනෙදා කටයුතු වලටත් බලපෑම් ඇති කර තිබේ. විද්‍යාලයේ සම්ප්‍රදායයන් බිඳ වැටෙමින් තිබේ. එම නිසා වහාම වගකිවයුතු පාර්ශව එක්ව වහාම මෙම ජාතික සම්පතක් වන බෞද්ධ පාසල රැක ගැනීමට කටයුතු කරන ලෙසට එම විද්‍යාලයේ දෙමාපියෝ වගකිව යුතු අංශ වලට බල කර සිටිති.

වාහන ආනයනකරුවන්ගේ බොරු

වාහන ආනයනයට අවසර ලබා ගැනීම සඳහා මේ වන විට වාහන ආනයනකරුවන් නොගන්නා උත්සහයක් නැත. කිලෝමීටර් මිලියනයක් ධාවනයකළ වාහන මෙරටට ගෙන්වීමට ද ඇති බවට එක්තරා වාහන ආනයන සංගම් ප්‍රබලයකු පවසා තිබිණි. ලොව එවැනි වාහන එන්ජින් නොමැති තරම්ය. ලොව හොඳම වාහන පවා කිලෝමීටර් ලක්ෂ තුනක් හෝ තුනහමාරක් ධාවනය කල පසු ඒවායේ එන්ජින් ගෙවී යයි. එම නිසා අදාල ප්‍රකාශය බොරුවකි. රට නැවත බරපතල ආර්ථික අවදානමකට ලක් නොකරන්නට නම් පෞද්ගලික භාවිතය සඳහා වාහන ආනයනයට කෙසේවත් අවසර ලබා දිය යුතු නැත. මේ අවස්ථාවේ කළ යුත්තේ අමතර කොටස් ආනයනයට අවසර දීම පමණි. එය ද පෞද්ගලික අංශය හරහා මෙන්ම රාජ්‍ය විවිධ වාණිජ නීතිගත සංස්ථාව හරහා ද සිදු කර සාධාරණ මිලකට වාහන අමතර කොටස් ජනතාවට ලබා දෙන්නට රජය කටයුතුකළ යුතුය. අද වන විට මෝටර් රථ අමතර කොටස් වෙළඳපොල කළුකඩ මුදලාලිලාගේ රජදහනකි. මේ තත්ත්වය නවතාලන්නට රජයේ මැදිහත්වීමක් අත්‍යවශ්‍ය වේ. රජය ව්‍යාපාර නොකළ යුතු බව වර්තමාන ආණ්ඩුවේ මතය වුව ද රටේ දැනට පවතින තත්ත්වය මත රජයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. හොඳම උදාහරණය සතොස ආයතනයයි. සතොස නොතිබෙන්නට මෙරට සිල්ලර වෙළඳාම කවර තත්ත්වයක පවතීද යන්න සිත ගත නොහැක. එම නිසා රට ආර්ථික වශයෙන් ස්ථාවර වනතුරු රටේ වෙළඳ ක්ෂේත්‍රයට රජයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ.

තහනම් කාලයේ ගෙන්වූ වාහන නිදහස් කරගැනීමට අවසර

මේ අතර වාහන ආනයන තහනමට පසු ශ්‍රීලංකාවට ගෙන විත දැනට වරායන්හි රඳවා ගෙන ඇති වාහන තොගයක් අදාළ රෙගු බදු ගෙවා නිදහස් කර ගැනීමට අවසර ලබා දීමට රජය තීරණය කර තිබේ. මේ අනුව අනුව 2020 මැයි 20 සිට 2021 නොවැම්බර් 12 දක්වා කාලය තුල මෙරටට ආනයනයකළ වාහන නිදහස් කර ගැනීමට ආනයනකරුවන්ට හැකිවේ. රජයේ බදු ආදායම් ඉහළ නැංවීමට මෙම තහනම ලිහිල් කළ බව පැවසේ.

රවීට අංචි අදින එජාප ප්‍රබලයා

එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරයට ඇත්තේ තවත් දෙසතියක පමණ කාලයකි. මේ වන විට එජාප මහ ලේකම් ධුරයට රවී කරුණානායක පත් කරගන්නට මේ වන විට එහි ප්‍රබලයන් අතර එකඟතාවයක් ඇති වී තිබේ. එජාපය පෙර පැවති ශක්තිමත් තත්ත්වයට පත් කරන්නට පෞර්ෂයක් ඇති එකම පුද්ගලයා රවී බව පක්ෂයේ එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ මතයයි. එහෙත් ඊට බාධා කරන්නේ එජාප නායකත්වයට සමීප එක්තරා ප්‍රබලයකු පමණක් බව කියවේ. එම පුද්ගලයාගේ ගෝලබාලයන් ඔහුව බය කර ඇත්තේ රවී මහා ලේකම් වුවහොත් එම පුද්ගලයාට වඩා රවී පක්ෂ නායකත්වයට සමීප වනු ඇතැයි පවසමිනි.

අගනුවර ගස් කඩා වැටීමෙන් අහිමිවන ජීවිත වල වගකීම කාගේද ?

කොළඹ ලිබර්ටි වටරවුම අසලදී බසයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් බසයේ ගමන් ගත් පස් දෙනකු මියගොස් තිබේ. තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.

මතුගම ඩීපෝවට අයත් මෙම බසය දෙනියායේ සිට කොළඹට පැමිණ යළි දෙනියාය බලා ධාවනය වෙද්දි මෙම අනතුර සිදුව තිබේ. අනතුරත් සමඟ පොලීසිය, යුද හමුදාව සහ ගලවා ගැනීමේ මෙහෙයුම් නිලධාරීන් එක්ව බසයේ සිරවී සිටි පිරිස මුදා ගෙන රෝහලට රැගෙන ගොස් ඇත.

මෙවන් මරණ හදිසි අනතුරු නමුත් කොළඹ නගරයේ මෙසේ ගස් කඩා වැටීම ගැන කිසියම් පාර්ශවයක් වගකීම් බාරගත යුතුව තිබේ. මෙවැනි ගස් දිරාපත්ව ඇත්දැයි පරීක්ෂා කල යුතු දෙපාර්තමේන්තු හෝ ආයතන තිබේ. රජය මියගිය පිරිස් වෙත රුපියල් ලක්ෂ පහ බැගින් වන්දි ගෙවුව ද ඒ අහිමිවන ජීවිත නිසා ඔවුන්ගේ සමීපතමයන්ට අහිමි වන අනාගතය මිල කළ නොහැක.

කරු ජයසුරිය පුනරින් කඳවුර දැක ගෙන යාපනය ජනතාව සමඟ සුහද කතාබහක

හිටපු කතානායක කරු ජයසූරිය පසුගිය දිනවල යාපනයේ සංචාරය කරන අතර තුර යාපනයේ සිවිල් සංවිධාන නියෝජිතයන්ද හමුවිය. යාපනය නගරය සාමකාමීව පවතින අයුරු ද මේ වන විට හමුදා භටයන් ඉතාම සුළු පිරිසක් පමණක් යාපනය නගරයේ සිටින අයුරුද ඔහු දැක්කේය.

තමන් යුද හමුදාවේ සේවය කරද්දී සේවය කල පුනරින් කඳවුර බලන්නට ද ඔහු ගිය අතර 1971 දී එනම් දැනට වසර 52 කට පෙර එම කඳවුර පැවති ආකාරය ද සිහිපත් කළේය. යාපනයේ ජනතාව සතුටින් ජීවත්වන අයුරු සියසින් දුටු කරු ජයසුරිය ඔවුන් සමඟ සුහද කතාබහක ද නිරත විය.

වෙළඳ ඇමතිගේ තීරණයෙන් මහා පරිමාණ පොල්තෙල් සමාගම්වල කල්ල මරේ

මහා පරිමාණ පොල්තෙල් සමාගම් කීපයකට අසීමිත ලාභ ලැබීමට හැකිවන පරිදි නව නීති සකස් කර දීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. වසර සියගණනක් තිස්සේ සම්ප්‍රදායිකව පොල්තෙල් භාවිතකළ ජනතාවට මෙතෙක් නොතිබි අනිසි බියක් ඇති කරමින් ඒ සඳහා නව නීති ප්‍රතිපාදනද සකස් කර දී තිබේ. මෙරට පොල්තෙල් නිෂ්පාදන සමාගම් කීපයක් පසුගිය කාලයේ මහා පරිමාණ තෙල් මෝල් මෙරට ආරම්භකළ අතර ඔවුන්ට තිබු බාධාව මෙරට සුළු පරිමාන පොල්තෙල් නිෂ්පාදකයන්ය. මෙවැනි නීති සකස්කර ඒ බාධාව නැතිකර දෙන්නට වෙළඳ ඇමතිවරයා පියවර ගෙන තිබේ. රටේ ජනතාව දිනෙන් දින ආර්ථික අපහසුතාවන්ට මුහුණ දෙමින් සිටියදී බඩු මිල අඩුකර ජනතාවට සෙත සැපයීම වෙනුවට මහා පරිමාණ පොල් තෙල් සමාගම්වලට අසීමිත ලාභ ලබා දෙන්නට වෙළඳ අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙරට අළෙවි කරන සියලුම වර්ගවල පොල්තෙල්වල වර්ගය සහ මිල මුද්‍රිතව ප්‍රදර්ශනය අනිවාර්ය කර තිබේ. පොල්තෙල් වර්ගය සහ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල්වලට මුද්‍රා තබන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසා තිබේ.

මෙරට අළෙවි කරන ආනයනික සහ මෙරට නිෂ්පාදිත පොල්තෙල්වල ‘ඇල්ෆටොක්සින්’ නැමැති පිළිකා කාරකය බහුලව අඩංගු බවට පැමිණි ලැබෙන බව පවසා ඇති අමාත්‍යවරයා ප්‍රමිතියෙන් තොර පොල්තෙල් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියට බලය පවරා ඇති බව ප්‍රකාශ කර තිබේ. මේ අනුව මෙරට පොල් තෙල් මිල ජනතාවට දරා ගත නොහැකි තරමට ඉහළ යනු ඇත. මහජනතාව මෙවැනි පැමිණිලි සිදු නොකරන අතර ඒවා පසුපස සිටින්නේ ද මහා පරිමාණ පොල්තෙල් සමාගම් ය. ලොව දියුණු රටවල් පවා තම රටේ කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට විශේෂ අවස්ථා ලබා දෙමින් එම නිෂ්පාදකයන් ට දිරි දෙමින් කටයුතු කරද්දී අප වැනි කුඩා රටක් මෙලෙස කුඩා පරිමාණයේ නිෂ්පාදකයන් විනාශ වන ආකාරයෙන් කටයුතු කිරීම කණගාටුදායකය.

වෙළඳ අමාත්‍යංශයේ කොටසක් මිලගණන් කැඳවීමකින් තොරව බදු දීලා

මේ අතර වෙළඳ අමාත්‍යංශ පරිශ්‍රය කිසිඳු මිල ගණන් කැඳවීමකින් තොරව එක්තරා ආයතනයකට බදු දී තිබේ. දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා මෙවැන්නක් සිදු කරන්නේ නම් සියලුම දේශීය නිෂ්පාදකයන්ට සමාන අවස්ථා වෙළඳ අමාත්‍යංශය  මගින් ලබා දිය යුතුය. මේවා මහජන දේපළ ය. ඒ සඳහා වගවීමක් තිබිය යුතුය.

ශ්‍රී ලංකාවේ එක්කෝටි විසිලක්ෂයක් දැඩි අවදානම් තත්ත්වයක ….

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් පවතින ආර්ථික අර්බුදය හමුවේ දැඩි අවදානමකට ලක්ව සිටින පිරිස් ආරක්ෂා කර ගැනීම සඳහා වහාම පියවර ගත යුතුව තිබේ.

ශ්‍රී ලංකාවේ ජනගහණය වන දෙකෝටි විසි ලක්ෂයකට වැඩි පිරිසෙන් එක්කෝටි විසි ලක්ෂයකට වැඩි පිරිසක් අවදානම් ආර්ථික මට්ටමක පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ බහුමාන අවදානම් දර්ශකය මත පදනම් වූ ප්‍රතිපත්ති වාර්තාවක සඳහන් වේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 10 දෙනකුගෙන් 6 දෙනක්ම ආර්ථික අවදානම් කලාපයේ පසුවෙති.

ජනතාව ආර්ථික අවදානම් කලාපයට ඇතුළත්වීම ප්‍රතිශතයක් ලෙස සියයට 55.7 ක් වන අතර ග්‍රාමීය ප්‍රදේශවල මෙය සියයට 82 ක් තරම් ඉහළ තත්වයක් ගනී.

පුත්තලම දිස්ත්‍රික්කය අවදානම වැඩිම ප්‍රදේශය වන අතර එහි අවදානමට ලක් වූවන්ගේ ප්‍රතිශතය සියයට 71.8 කි.

නිවාස 145,000 ක විදුලි බිල්පත් නොගෙවීම නිසා විදුලිය විසන්ධි කරලා

මේ අතර, මේ වන විට රට පුරා නිවාස 145,000 ක පමණ විදුලි බිල්පත් නොගෙවීම නිසා විදුලිය විසන්ධි කර තිබෙන බව පැවසේ. මෙයින් බොහෝ දෙනෙකුට නැවත විදුලිය ලබා ගැනීමට හැකියාවක්ද නොමැත. විදුලි බිල්පත් නැවත ලබන මාසයේ සියයට විස්සකින් වැඩි කිරීම යනු තවත් ලක්ෂ ගණනක් නිවෙස් වල විදුලිය විසන්ධි කිරීමට අවස්ථාව සලසා දීමකි. මේ බව විදුලිබල ඇමතිවරයාට හෝ රජයට නොතේරේ. එහෙත් අවසානයේ සිදුවනු ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලයට මෙතෙක් තිබු ආදායමත් අහිමිවීම මිස ආදායම වැඩිවීමක් නොවේ.

හැමෝටම හමුදාව ඕන වෙලා ………………

හමුදාවන් සම්බන්ධයෙන් රටේ ජනතාවගේ ගරුත්වය හා පිළිගැනීම වැඩි වූයේ ඊලාම් යුද්ධය නිසා බව රහසක් නොවේ. මේ වීරත්වය වැඩි කරන්නට රාජපක්ෂවරුන්ගෙන් ලැබුණු ගැම්ම සුළුපටු නොවේ. එහෙත් රාජපක්ෂවරුන්ට හමුදාව එපා වුනේ ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණ සටනට ඉදිරිපත්වීමත් සමඟ ය. කෙසේ වෙතත් මෙරට ජන මනසට හමුදාව හරහා කළහැකි බලපෑම තේරුම් ගත්  නිසාදෝ මේ වන විට ජාතික ජනබලවේගය ද විශ්‍රාමික හමුදා නිලධාරීන් සම්බන්ධ කර ගෙන තම ජනාධිපතිවරණ සටන දියත් කර තිබෙනු දක්නට හැකිය.

ඒ අතරේ ජෙනරාල් සරත් ෆොන්සේකා ද ජනාධිපති සිහිනය අත් හැර නොමැති අතර ඔහු ද ඉදිරි ජනාධිපතිවරණය සඳහා කිසියම් හෝ සූදානමක පසුවන බව පෙනේ. ඒ  අතරේ යුද හමුදාපතිගේ සේවා දිගුව අවසන් වීමට නියමිත බැවින් යුද හමුදාවේ මීළඟ යුද හමුදාපති ධුරය සඳහා මේ වන විට ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන් අතරේ තනතුරු සටනක් ඇති වී තිබේ.

හමුදාවේ වැඩි පිරිසක් ඉහළ නිලධාරීන්ගේ එදිනෙදා කටයුතුවලට හා නිවෙස් වල සේවයේ ලු ?

මේ සියල්ල අතරේ හමුදාව අඩකින් අඩු කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ. රටේ ලක්ෂ දෙකක හමුදාවක් සිටිය ද එයින් සියයට හැටකට වැඩි පිරිසක් යොදවා ඇත්තේ ඉහළ හමුදා නිලධාරීන්ගේ පෞද්ගලික කටයුතු, නිවෙස් වල වැඩ කටයුතු, දූ දරුවන්ගේ වැඩ කටයුතු සඳහා බව කියවේ. හමුදාවල ඉහළ නිලධාරීන්ට ලබාදී ඇති වාහන බොහොමයක් බිරින්දෑවරුන්ට ෂොපින් යන්නටත් දරුවන් පාසල් ගෙන යන්නටත් යොදා ගන්නා බවටත් යුද සමයේ මෙන් අසීමිත වරප්‍රසාද හමුදාවේ ප්‍රභලයන්ට පමණක් නොව විශ්‍රාමික නිලධාරීන්ට පවා ලබා දෙන බවටත් චෝදනා එල්ල වෙමින් පවතී. යුද්ධය අවසන් වී වසර පහළොවකට ආසන්න කාලයක් තිස්සේ මේවා ලබාදීම ද, රට මෙතරම් ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් තිබිය දී මේවා ලබාදීම ද බරපතල තත්ත්වයකි. රටේ අයවැයෙන් වැඩිම වියදමක් දරන්නේ ආරක්ෂක අමාත්‍යංශයට ය. මේ වැය කරන්නේ ජනතා මුදල්ය.

චන්දිම වීරක්කොඩිට පාර්ලිමේන්තුවේ දී තර්ජනයකළ බවට ආරක්ෂක ලේකම්ට හා යුද හමුදාපතිට බරපතල චෝදනා  

යුද හමුදාවේ ඉහල නිලධාරීන්ගේ අනවශ්‍ය වියදම් අඩු කිරීම මගින් ආරක්ෂක වියදම් කප්පාදු කිරීමට යෝජනාකළ තමන්ට පහර දෙන බවට ආරක්ෂක ලේකම් සහ යුද හමුදාපති තර්ජනය කළේ යයි ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වූ හිටපු නියෝජ්‍ය කතානායකවරයකු ද වන චන්දිම වීරක්කොඩි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට පැමිණිලි කර තිබේ.

සන්නද්ධ හමුදාවල සාමාජිකයන් ලක්ෂයකට අඩු කිරීම සදහා වන යෝජනාව සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේ දී අදහස් දක්වමින් සාමාන්‍ය සෙබළුන්ගේ රැකියා කප්පාදු කරනවාට වඩා හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ අනවශ්‍ය වියදම් සීමා කිරීම තුළින් ආරක්ෂක වියදම් අඩු කිරීම කාලෝචිත බව ප්‍රකාශ කිරීම නිසා අදාළ නිලධාරීන් මෙසේ චන්දිම වීරක්කොඩි වෙත තර්ජනය කර ඇත.

මේ සම්බන්ධයෙන් චන්දිම වීරක්කොඩි පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ආරක්ෂක ලේකම්වරයා පැමිණෙන ස්ථානවලට විශාල හමුදා පිරිස් යවමින් පරීක්ෂාවන් සිදු කරන බවටත් යුද හමුදාපතිවරයාගේ නිල නිවසේ ගෙවත්ත නවීකරණය සඳහා රුපියල් ලක්ෂ අටසීයක් වැය කරමින් සිටින බවට ද චෝදනා කළේය. ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කාරක සභාවේ සභාපති සරත් වීරසේකර මෙහි දී ක්‍රියාකළ අකාරය සම්බන්ධයෙන්ද ඔහු අප්‍රසාදය පළ කළේය. කෙසේ වෙතත් පසුදින සරත් වීරසේකර  මන්ත්‍රීවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

චම්පික රණවක රනිල් සමඟ එක්වන ලකුණු?

චම්පික රණවක යලිත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ එක්වීමේ සුදානමක් ඇති පැවසේ. මේ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡා ආරම්භ වී තිබේ. එක්සත් ජාතික පක්ෂයට සිංහල බෞද්ධ බලවේගවල අවශ්‍යතාවය පවතින අතර ඉදිරි මහමැතිවරණය සඳහා ප්‍රධාන පාර්ශවයක් සමඟ සන්ධානගත නොවී ජයගැනීම අපහසු බව චම්පික ඇතුළු පිරිස හොඳින් තේරුම් ගෙන සිටිති. එම නිසා මෙම එක්වීම දෙපාර්ශවයටම සුභදායක වනු ඇත.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය නොවැම්බර් මාසයේ දී ලැබෙනු ඇතැයි මෙරට  තානාපති අංශ සඳහන් කරයි. එහෙත් ඒ සමඟ අදාළ කොන්දේසි රැසකට ද එකඟවීමට සිදුව තිබේ. ඒ අනුව ජනතාව තවදුරටත් බදු බරෙන් මිරිකී යාම වැළක්විය නොහැක.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan