ගජමන් නෝනා අන්දරේ බලන්ට යයි

නෝනාගම හංදියේ හිටගෙන ඉන්නා නෝනාට මහ රෑ මැදියම වේරගම්පිටින් එන හුළඟ කිඹුල්වත්පුරෙන් එන හුළඟටත් වඩා සනීපයක් ගෙනෙයි.

ඈ හැඟුම්බර ව වටපිට බලයි. නීලාකාසයේ තරු මල් යාය ම බබළයි. පුරහඳ වලාකුළු දුහුලින් එබී ඈ සමඟ ලෙන්ගතු ව සිනාසෙයි. හුළඟට තුරුලු වී නැලවෙන සියඹලා ගස් ඈට අත වනයි.

ඇගේ සියුමැලි ගෑනු ඇඟ පුරා හීගඩු පිපී කිලිපොළයි. උහුලාගන්ට බැරි තරම් පාළුවක් සාංකාවක් ඈට දැනෙයි. ඈ හඳපානේ බොස්තරුක්ක හැට්ටය හා දිගු සාය පිටින් ඇවිදගෙන අන්දරේගේ සොහොන ළඟට යයි.

ඈ මියුරු හඬින් කවි කියද්දී අන්දරේ සොහොනින් නැඟිට ඈ ළඟට එයි.

රෑ පින්නේ නෑවෙමින් හීතලේ සුදෝසුදු මීදුමේ බොඳවෙමින් දෙන්නා ම තකට තක කවි කියද්දී වෑදිය පුරා හඳ එළිය කවි ලියයි.

❤️

නෝනා :
සද්ද විද්ද පළඟ පතිර නාම තොසා
කවට කමට සක්විති කවි අහුරු දෙසා
උඩමළලේ වැව ළඟ උඹ නිදන නිසා
මං ආවා උඹ ගාවට පාළු නිසා

අන්දරේ :
දෝන ඉසබෙලා කොරනේලියා කියා
නෝනා ගජමන් නෝනා තමයි මෙයා
පත්තායමේ මාමට ලියුමකුත් ලියා
නෝනගෙ හිත රෑ පානේ ගමන් ගියා

නෝනා :
රජ්ජුරුවෝ උඹටත් රා පෙව්වාද
උඹ කවියෙන් කුණුහරුපත් කිව්වාද
බිසෝවරුන් ළඟ පෙම් බස් දෙඩුවාද
කවි කියලා උන්ගෙත් සිල් බින්දාද

අන්දරේ :
ගමේ ගොඩේ ගෑනුන් ළඟ හිත රැඳුණී
මගේ හිතෙත් ආදර උල්පත් තිබුණී
දරා ගන්න බැරි තරමට රස බැවිනී
උඹේ කවිය මට කිව්වේ වැහි ලිහිණි

නෝනා :
හාමුදුරුවෝ කරතොට ධම්මාරාම
මට කවියට ගුරුහරු කම් දුන්නාම
මම කවියෙන් ඇලපාතට ඇන්නාම
එක පැදුරෙ ම වැටුණේ අපි දෙන්නාම

අන්දරේ :
රිදී කලේ රන් කොතලේ බීපු මට
උඹේ කවිය රා කළයකි නෝනෙ මට
කොට්ට මෙට්ට මොකට ද උඹ ඉන්න කොට
මළත් සැපයි මට පලු වීර ගස් යට

නෝනා :
රෑට රෑට මාවවුලන් ආවාලූ
වේරගම්පිටින් පුහුලම් කෑවාලූ
යාලූ කමට සීමා මායිම් නෑලු
ඇලපාතට මං කැව්වේ වැව් මාලූ

අන්දරේ :
දෙනිපිටියේ නුග රුක සේ අතු වීදා
නුඹ හිටියේ හිත පතුලේ රස පාදා
වත බබළා පුර සඳ සේ පුර පෝදා
මට නෝනේ පෙමකට නැත කිසි බාදා

නෝනා :
සීනි පැදුර උඩ පෙරළී පස් කෑව
කෝම ඇද්ද ඇඹලයෙකුගෙ ආසාව
බෝම යසට කවියෙන් කී බාසාව
රාජ සබාව ම වැටුණ ද උඹ ගාව

අන්දරේ :
පුංචි රුවන් පුංචි රුවන් පුංචි කලේ
කොරනේලියා උඹ කාට ද විහිළු කළේ
අට පහ නොදන්නා ජඩයන් සූදු පොළේ
වතුර අරන් ළිඳ උඩ තැබුවා ද කලේ

නෝනා :
ලොකු හාමුදුරුවෝ හමුවට ඇවිදිල්ලා
ජෝන් ඩොයිලි සුද්දා කවි රස ගිල්ලා
මාත් ගියේ කවියට අම බස ඉල්ලා
ඒත් දුකයි බං මට දෙයියන් පල්ලා

අන්දරේ :
රජකම් කළත් ඉඳගෙන සිහසුනක මත
මහ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත
පෙරළනු පිණිස රටකට අර පරණ පොත
කවටයො මිසක් රජවරු අද මෙබිම නැත

නෝනා :
සිතට කයට සැප දෙන මව්පියොත් නැත
නිවට කලට සලකන නෑසියොත් නැත
බොස්තරැක්ක හැට්ටය යට උනන තෙත
උඹ ළඟ තබා යන කවියෙ ම ගලනු ඇත

අන්දරේ :
පායා වඩින ඉර හඳ යට කඳුළු මත
නෝනේ උඹට බාරයි කවි උනන හිත
කොතරම් විහිළු කෙරුවත් මහ පොළොව මත
උඹ මිස බොහෝ අය මගෙ හද දුටුවෙ නැත

❤️

බාග වෙලාවට ජෝන් ඩොයිලිගේ දිනපොතක මෙවන් කවියක් කුරුටු ගා නොතිබුණා නම් තමා පුදුම ය.

කොහොමට වනමි මේ කඩදහි පිටුව මත
නෝනේ නුඹේ මුදු මොලකැටි සිනහ වත
වික්ටෝරියා රැජිනට නුඹ දෙවැනි නැත
ඉර නොබහිනා රට ගැන මට මතක නැත

💛

~ කුමාර හෙට්ටිආරච්චි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොරකම, නාස්තිය, දූෂණය, වංචාව 100%ක් නැතිකරන්න අපිට බැහැ – ඇමති නාමල්

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ හොරකම, නාස්තිය, දූෂණය සහ...

ඇතැම් ප්‍රදේශවලට උදෑසන කාලයේදීත් වැසි – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 12) දිනයේදී දිවයිනේ බොහෝ...

ඔය කට්ටියට බැරි නම් අපිම කරගන්නම් – ජනපතිගෙන් IOC, සයිනොපෙක්, ෂෙල් සමාගම්වලට රතු එළි

ලංකා IOC, සයිනොපෙක් සහ ෂෙල් යන මෙරට ක්‍රියාත්මක පෞද්ගලික...

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...