*
Monday, May 6, 2024
spot_img

Latest Posts

ජනවරම සමග සෙල්ලම් කරන්න එපා – ටිල්වින්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලබන වසරේ ඡන්දයක් නොමැති බවට ආණ්ඩුවේ ලොක්කෝ කියන මතයට රැවටෙන්න එපා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි.

ලබන වසරේ අනිවාර්යයෙන් ඡන්දයක් පවත්වන බවත්, එය නියමිත ලෙස ජනාධිපතිවරණය බවද ඔහු පවසයි. යම්කිසි ලෙසකින් ජනාධිපති ක්‍රමය අහෝසි වේ නම් ජනමත විචාරණයකින් ජයග්‍රහණය කළ යුතු බවත්, ජනමත විචාරණය ජයග්‍රහණය කළ යුත්තේ මහ මැතිවරණයක් පැවැත්වීමේ කොන්දේසිය සහිත ජනමත විචාරණයක් ජයග්‍රහණය කිරීමෙන් බවද ඒ මහතා කියා සිටී.

ඒ පිළිබඳ ටිල්වින් සිල්වා මහතා දැක්වූ අදහස්,

ආණ්ඩුව සමාජය තුළ මතයක් තහවුරු කරමින් යනවා, ලබන වසරේ ඡන්දයක් එන්නේ නැහැ කියලා. තව අවුරුදු දෙකකට ඡන්දයක් නොඑන බව කියනවා. එවැනි මතයක් හදන්න උත්සාහ කරමින් යන්නේම ඒගොල්ලන්ට ඡන්ද නොමැති නිසාත් මැතිවරණයක් පැවැත්වුවහොත් එයාලා පරාජය වෙන බව දන්නා නිසයි. ඡන්දයක් නොමැති බව ප්‍රකාශ කරන්නේම පරාජයෙන් ගැලවීම සඳහා බව තහවුරුයි. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ජනමතයට, ජනමතය ප්‍රකාශයට පත්වීමට බයවෙලා තිබෙනවා. ඒ නිසා ජනමතය ප්‍රකාශයට පත්වීමට තිබෙන සියලු ක්‍රම වළක්වන්න, නවත්වන්න උත්සාහ කරමින් ඉන්නවා.

පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ නැතිව යන්නේ ඇයි? පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් මේ මොහොතේ තිබෙන ජන මතය ප්‍රකාශයට පත්වෙනවා. ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ කැමැත්තේ ප්‍රමාණය දැනගන්න හැකි වෙනවා. ජාතික ජන බලවේගයට අනිවාර්යයෙන් විශිෂ්ට බලයක් හිමිවෙනවා. රනිල් වික්‍රමසිංහලා පරදිනවා. ඒ නිසා පළාත් පාලන ඡන්දය නොපවත්වමින් යනවා. එය මුළුමනින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධියි.
දැන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනතක්. ඔන්ලයින් සිකියුරිටි පනත. මේ පනත ගේන්නෙත් ජනමතය ප්‍රකාශයට පත්වීම වැළැක්වීමටයි. අපේ රට තුළ පමණක් නොවෙයි මුළු ලෝකයේම ජන මතය සම්ප්‍රදායික මාධ්‍යවලට සීමා නොවී සමාජ මාධ්‍ය මගින් සිදුවෙනවා. ඒක ආණ්ඩුවට පාලනය කර ගැනීමට අපහසුයි.

ඒක තුළ ආණ්ඩුවට එරෙහි මත, ආණ්ඩුවේ ඇත්ත හෙළිදරව් කරන මත, විපක්ෂ මත පළවෙන්න පටන් ගෙන තිබෙනවා. පසුගිය කාලයේ ප්‍රධාන මාධ්‍ය ආණ්ඩුව වෙනුවෙන් හැකිතරම් බොරු කිවුවා. වඳ කතා, වඳ දොස්තර මාධ්‍ය තුළින් නිර්මාණය කළා. පසුව ඒවා බොරු බවත් හෙළිදරව් වුණා. ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වුවෙත් නැහැ. ජනතාව අතර වෛරය පැතිරෙව්වෙත් ප්‍රධාන මාධ්‍ය. සමාජ මාධ්‍ය මගින් මේවා ප්‍රශ්න කරනකොට, ආණ්ඩුවේ නිරුවත හෙළිදරව් වෙනකොට ඒක ආණ්ඩුවට අවාසි වෙනකොට, සමාජ මාධ්‍ය වළක්වන්න ආණ්ඩුව උත්සාහ ගන්නවා. මේ සමාජ මාධ්‍ය මගින් බොරු ප්‍රවෘත්ති පළ වෙනවා. වැරදි අදහස් සමාජගත වෙනවා තමයි. නමුත් ආණ්ඩුව කරන්න යන්නේ එය වළක්වන එක නොවෙයි. ඒක පිට දමා ආණ්ඩු විරෝධී මත වැළැක්වීමටයි උත්සාහ දරන්නේ.

ඒ වගේම අලුත් ත්‍රස්ත පනතක් ගේන්න හදමින් ඉන්නවා. එය ගේන්න උත්සාහ කරන්නෙත් ආණ්ඩු විරෝධය වළක්වන්නයි. මහජන මතය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මහපාරේ උද්ඝෝෂණ බලකිරීම් මගින් ප්‍රකාශයට පත්වෙන එක වළක්වන්න තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගේන්න උත්සාහ කරන්නේ. එම පනත ගෙනාවොත් ආණ්ඩුවට යමක් කරන්න හෝ නොකරන්න කියා බල කරන එක ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පත්කරනවා. මේ ආණ්ඩුව ජනතාවට බය, මහජන මතයට බය ආණ්ඩුවක් බවට පත්වෙලා තිබෙනවා. මහජනතාව දිනාගන්න ඒ අයට නොහැකියි. වසර 75ක

මේ විනාශකාරී ආණ්ඩුවේ අත්දැකීම් ඇති ජනතාව දැන් මේ රට පාලනය කළ දේශපාලන බලවේග පැත්තකට දමා විකල්ප දේශපාලන ව්‍යාපාර එක්ක එකතුවීමට පටන්ගෙන තිබෙනවා.

මේ නිසාම තමයි ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පවත්වන්නේ නැති බවට ප්‍රචාරයක් යවමින් තිබෙන්නේ. එයාලා කියන එකක් තමයි ජනාධිපතිවරණය පැවැත්වීම වෙනුවට ව්‍යවස්ථාවකින් හෝ ව්‍යවස්ථා සංශෝධනයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කරන බව. එවිට එම විධායක බලය පැවරෙනවා මේ පාර්ලිමේන්තුවට. විධායක ක්‍රමය අහෝසි කළ විට ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය වන්නේ නැහැ. බලතල පාර්ලිමේන්තුවට පැවරීම තුළින් ඒ බලතල 2025 දක්වා පවතිනවා. ඒ නිසා තව අවුරුදු දෙකකට ඡන්ද නැති බව ප්‍රකාශ කරමින් ඉන්නවා. ඒක එහෙම සිදුවෙන්නේ නැති බව අපි හිතනවා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අපි එකඟයි. ව්‍යවස්ථා සංශෝධනයක් නොවෙයි අලුත් ව්‍යවස්ථාවක් හදන්න සිදුවෙනවා. විධායක ක්‍රමයත් සමග ගැටගැසුණු ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අලුත් ව්‍යවස්ථාවක් ගෙන ආවත්, විධායක බලතල පැවරෙන්නේ මේ පාර්ලිමේන්තුවට, මේ ඇමති මණ්ඩලයට, මේ අගමැතිවරයාට නම්, එයට මේ රටේ ජනතාව එකඟ වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව බහුතර ජනතාව ප්‍රතික්ෂේප කළ ආණ්ඩුවක්. මේ ආණ්ඩුවට ජන වරමක් නැහැ. ජනතා විරෝධී ආණ්ඩුවක් මේ තිබෙන්නේ.
එවන් පාර්ලිමේන්තුවකට විධායක ජනාධිපතිවරයාගේ බලතල පැවරීම කිසිසේත්ම සාධාරණ වෙන්නේ නැහැ. එය ජනතා කැමැත්තට විරුද්ධයි. අපි ආණ්ඩුවටත් ජනතාවටත් අවධාරණය කර කියනවා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සංශෝධනයක් ගෙන ආවොත් ඒ සංශෝධනය සම්මත වෙනකොටම මේ පාර්ලිමේන්තුව විසිරවීමේ යෝජනාවක්ද තිබෙන්න ඕනෑ. ඒ එක්කම මහජන ඡන්දයෙන් අලුත් පාර්ලිමේන්තුවක් ගොඩනැගෙන්න ඕනෑ. මේ මහජන ඡන්දයෙන් තේරී පත්වුණු ජනවරමක් සහිත පාර්ලිමේන්තුවට තමයි විධායක බලතල පැවරෙන්න ඕනෑකම තිබෙන්නේ.

මේ පාර්ලිමේන්තුව තේරී පත්වෙන්නේ විධායක ජනාධිපතිවරයෙක් ඉන්න අවස්ථාවක. මේ පාර්ලිමේන්තුවට ඡන්දය දී තිබෙන්නේ විධායක බලතල සහිත පාර්ලිමේන්තුවකට නොවෙයි. විධායක බලතල මේ පාර්ලිමේන්තුවට පැවරෙනවා නම්, මේ පාර්ලිමේන්තුව ඒ අවබෝධය සහිතව ජනතාව පත්කරන පාර්ලිමේන්තුවක් විය යුතුයි.

රනිල් රාජපක්ෂලා ව්‍යවස්ථා ගැටයක් ගහලා, ජනාධිපතිවරණය නොපවත්වා, මේ දූෂිත, ජනවරමක් නැති පාර්ලිමේන්තුවට බලතල පවරාගෙන තව අවුරුදු දෙකක් පවත්වාගෙන යාමට උත්සාහ කරනවා නම්, එය කිසිසේත් සිදු නොවන්නක්. මේ පාර්ලිමේන්තුව අහෝසි විය යුතුයි. එසේ සිදුනොවී ගෙන එන ජනමත විචාරණයකට අපි උදව් කරන්නේ නැහැ. එසේ වුවහොත් එය දිනන්නේ නැහැ. ආණ්ඩුවට සිදුවෙනවා ජනමත විචාරණය පැරදිලා ජනාධිපතිවරණයකට යන්න. නැතිනම් ආණ්ඩුවට සිදුවෙනවා මහ මැතිවරණයකට යාමට. ආණ්ඩුවට තෝරා ගැනීමට සිදුවෙන්නේ ක්‍රියාමාර්ග දෙකයි. එකක් ජනාධිපතිවරණය පැවැත්වීම, ජනාධිපතිවරණයක් නැත්නම් ලබන වසරේදී මහ මැතිවරණය පැවැත්විය යුතුයි. එසේ නොවී මේ ජනවරමක් නැති පාර්ලිමේන්තුවට බලතල පවරාගෙන යන ගමනකට අපි කිසිසේත් ඉඩ තියන්නේ නැහැ. අපි ජනතාවට කියනවා, ලබන වසරේ ඡන්දයක් නැහැ කියලා ආණ්ඩුවේ ලොක්කෝ කියාගෙන යන මතයට රැවටෙන්න එපා. ලබන වසරේ අනිවාර්යයෙන් ඡන්දයක් එනවා. නියමිත ලෙස ජනාධිපතිවරණය එනවා. යම්කිසි ලෙසකින් ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් ජනමත විචාරණයකින් ජයග්‍රහණය කළ යුතුයි.

අපි පාලකයන්ට කියනවා ජනවරම සමග සෙල්ලම් කරන්න එපා. පළාත් පාලන ඡන්දය කල්දැම්මා, පළාත් සභා පවත්වන්නේ නැතිව ඉන්නවා. ඒ විදිහට මේ ඡන්දත් කල්දැමිය හැකියි කියා ජනතාවට හිතෙන්න පුළුවන්. නමුත් එහෙම කරන්න බැහැ. පළාත් පාලන ඡන්ද පවත්වන්නේ නැතිව ඒ ආයතන පවත්වාගෙන යාමේ හැකියාව සහිත ප්‍රතිපාදන ඒ ව්‍යවස්ථාවල තිබෙනවා. ඒ, විශේෂ කොමසාරිස්වරුන් පත්කර ගැනීමෙන්. පළාත් සභා ඡන්ද තියන්නේ නැතිව පළාත් සභා පවත්වාගෙන යාමේ ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ තිබෙනවා. හැබැයි පාර්ලිමේන්තුවට එහෙම එකක් නැහැ. ජනාධිපතිට එහෙම එකක් නැහැ. ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු ඡන්දය පවත්වන්නම ඕනෑ. ඒ අයට කළ හැකි එකම දේ තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා, ජනාධිපතිවරණයට මුහුණ දීමෙන් මගහැර යන එක. ඒක කළ හැක්කේ ජනතාවගේ කැමැත්ත සහිතව. ලබන වසරේ අනිවාර්යයෙන් ඡන්දය පවත්වන්න සිදුවෙනවා.

මේ ආණ්ඩුවට ආයුෂ තිබෙන්නේ තව මාස දහයක කාලයක් පමණයි. ජනාධිපතිවරණයක් තිබ්බොත් අනිවාර්යයෙන් අපි ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය තුළින් අපි මේ පාර්ලිමේන්තුව තියා ගන්නේ නැහැ. ඡන්දයක් තියනවා. දේශපාලන කුමන්ත්‍රණ මගින් අනීතික, ජනතා විරෝධී පාලන බලය රැකගන්න හැකියාවක් නැහැ. අපි ජනතාවට කියනවා පාලකයෝ පතුරන මතවලට කලබල වෙන්න එපා. ඔබ උනන්දුවෙන් වැඩකරගෙන යන්න. ඔබ සංවිධානය වෙන්න. මේ දුෂ්ට පාලනය අවසන් කරන වසර ලබන වසර වන බවට අපි ඔබට සහතික වෙනවා”

2023.10.16 – මාධ්‍ය හමුවේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan