*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

2024 මාර්තුවේ මහමැතිවරණයක්? රනිල්ට වැරදුනු තැන්? සජිත් විදුලි බිලට එරෙහි සටනට? ජවිපෙ ඇමරිකාව සමඟ ද? මීළඟ CJ සන්ජේ රාජරත්නම් ද? කවුද මේ දිනේෂ් වීරක්කොඩි?

  • 2024 මාර්තුවේ මහමැතිවරණයක්? 
  • රනිල්ට වැරදුනු තැන්?
  • සජිත් විදුලි බිලට එරෙහි සටනට?
  • ජවිපෙ ඇමරිකාව සමඟ ද?
  • මීළඟ CJ සන්ජේ රාජරත්නම් ද?
  • කවුද මේ දිනේෂ් වීරක්කොඩි?

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): 2024 වසරේදී ජනාධිපතිවරණය පවත්වන බවත් ඉන්පසුව මහා මැතිවරණය පවත්වන බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ මහා සම්මේලනය අමතමින් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී  ප්‍රකාශ කලේ පසුගිය සති කිහිපය පුරා දේශපාලන ලෝකය පුරා සාකච්ඡාවට බඳුන් වූ ජනමත විචාරණ හා ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධ මාතෘකා සියල්ල යටපත් කරමිනි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නටත් මැතිවරණ යම් කාලයකට කල් දමන්නටත් විවිධ පාර්ශව විවිධාකාරයේ උත්සහ ගත් නමුත් අවසානයේ ඊට එල්ල වූ දැඩි විරෝධය හමුවේ ඒ සියල්ල යටපත් වූ බවක් ද කියවේ. ආණ්ඩුවේ මැතිවරණ කල් දැමීමේ උත්සාහයට එරෙහිව සමස්ත විපක්ෂය ඒකාබද්ධ වීම පමණක් නොව ප්‍රධාන රටවල තානාපතිවරු පවා එම තත්ත්වයට එරෙහිවීම හමුවේ මහජන විරෝධය මත එවැනි සැලසුම් හකුලා ගන්නට සිදුවූ බවක් ද පැවසේ. යම් ලෙසකින් මේ ක්‍රියාවලිය ඉදිරියට ගියේ නම් යළිත්වරක් ජනතා අරගලයක් ඇතිවී මහා විනාශයකින් එය කෙලවර වන්නට පවා ඉඩ තිබූ අතර ඒ තරමට මැතිවරණයක හෝ වෙනසක අවශ්‍යතාව දැඩි පීඩනයකින් ජීවත්වන සමස්ත ජන සමාජයටම දැනෙමින් පවතී.

එජාප ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙයි – 2024 සිට නව වෙනසකින් ඉදිරියට …..

කෙසේ වෙතත් සාර්ථක චීන සංචාරයක් අවසාන කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවට පැමිණි වහාම එක්සත් ජාතික පක්ෂයේ මහා සම්මේලනය සාර්ථකව පවත්වන්නට සමත්විය.

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථා සංශෝධනය එජාප විශේෂ මහා සම්මේලනයේදී  ඒකමතිකව සම්මත විය.

පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ එජාප ව්‍යවස්ථා සංශෝධනය පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කළ අතර එහිදී පක්ෂ සම්මේලනයේ සියල්ලෝම අත් ඔසවා ඊට එකඟතාවය පළ කළහ.

එක්සත් ජාතික පක්ෂයට ඔන්ලයින් සංවිධාන ඇති කිරීමට ඉඩ දීම, කෘත්‍යාධිකාරී මණ්ඩල බලතල විධායක සභාවට ලබා දීම, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සංඛ්‍යාව අඩු කිරීම ඇතුළු සංශෝධන නව ව්‍යවස්ථාවට ඇතුළත් වන අතර එය ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ සම්මේලනයට නිවේදනය කළේය.

මම මිතුරගේත් – සතුරාගේත් ජනාධිපති ……………

තමා මිතුරාගේ මෙන්ම හතුරාගේත් ජනාධිපති යැයි එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින් ප්‍රකාශ කළේය.

තමා එක්සත් ජාතික පක්ෂ නායකයා මෙන්ම රටේ ජනාධිපති බව කී රනිල් වික්‍රමසිංහ ඒ තනතුරු දෙක බෙදාගෙන කළ යුතු බව ද  සඳහන් කළේය.

“මම ඉවත් කරන්නට සිතා මගේ ගෙදර ගිනි තිව්වා. එහෙත් යූඑන්පී කාරයෝ එහෙම අයින් වෙන්නෙ නෑ., ඊට පස්සේ මම ආවේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න යැයි කිව්වා. ඇත්තටම මම ආවේ ලංකාව සහ එහි පුරවැසියන් ආරක්ෂා කරන්න. ආර්ථික අර්බුදයේ ඇති වූ කාලයේ ඩොලර් දෙසීයක් විතර මගේ ගෙදර තිබුණා. ඒ කාලයේ ලංකා ආණ්ඩුවට වඩා මට විදේශ විනිමය තිබුණා. අපි බාර ගත්තේ එහෙම ආණ්ඩුවක්. වෙනස පටන් ගන්න ඕන අනුන්ගෙන් නොව තමන් ගෙන්මයි. ඒ නිසා ජනාධිපති ලෙස මා ඒ වෙනස පටන් ගත්තා. 21 වෙනි සංශෝධනය සම්මත කොට ජනාධිපති බලතල අඩු කළා.” යනුවෙන් ද ජනාධිපතිවරයා පැවැසීය.

ජනපති කියන විදිහට 2024 දී  ජනාධිපතිවරණයමහා මැතිවරණය තියන විදිහ ……..

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට 2024 සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්විය නොහැක. එසේනම් සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණය පවත්වා 2024 දෙසැම්බර් 31 වැනිදාට පෙර මහා මැතිවරණයක් පැවැත්විය නොහැක. ඒ මහා මැතිවරණයක නාමයෝජනා කැඳවීම හා අනෙකුත් කටයුතු සඳහා කාල වකවානු සැලකිල්ලට ගත්  විටය.

එසේනම් කළහැකි තවත් දෙයක් වන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මීළඟ  ජනාධිපතිවරණයට පෙර ඒ ආසන්නයේ  පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය. එහෙත් එය කොතරම් ප්‍රයොගික ද යන්න පැහැදිලි නැත. අනෙක් අතට මැතිවරණ කොමිසම ට ඒ සඳහා යම් කාලයක්ද අවශ්‍ය වේ.

අයවැයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර 2024 මාර්තු මහා මැතිවරණයක් …. ?

එසේනම්  විය හැකි එකම කාරණය නම්  ලබන මාසයේ පැවැත්වීමට නියමිත 2024 අයවැය මැතිවරණ අයවැයක් බවට පත්කර අයවැය අවසන් වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර 2024 මාර්තු මාසයේ පමණ මහා මැතිවරණයක් පැවැත්වීමය. වර්තමාන තත්ත්වය මත එවැනි මහා මැතිවරණයකින් කිසිඳු දේශපාලන පක්ෂයකට 113 ක බහුතරයක් ලබා ගත නොහැක. එවිට බිහිවන්නේ හවුල් ආණ්ඩුවකි. හවුල් ආණ්ඩුවක් පිහිටුවන විට සියලු දෙනා රනිල් වෙත පැමිණෙන අතර එවිට තමන්ට අවශ්‍ය පිරිස් එක්කර ගෙන නව ආණ්ඩුවක් පිහිටුවා ගෙන ඉදිරි ජනාධිපතිවරණයට එම නව පිරිස සමග යන්නට රනිල්ට අවස්ථාව ලැබේ. ඒ සඳහා පොහොට්ටුව හා එජාප ඇතුළු කණ්ඩයම් ගණනාවකින් යුත් නව සන්ධානයක් බිහිකර නව සන්ධානයෙන් මහා මැතිවරණය තරඟ කරන්නට මේ වන විට පොහොට්ටුවේ පිරිසක් හා එජාප ප්‍රබලයන් සාකච්ඡා පවත්වා තිබේ. එහෙත් මෙවන් සන්ධානයක දී  මනාප ලබා දෙන විට පාක්ෂිකයන් කවර ආකාරයකට මනාප ලබාදීම සිදු කරයිද යන්න බරපතල ගැටලුවකි. අනෙක් අතට විවිධ නොගැලපෙන ප්‍රතිපත්ති සහිත හවුල් ආණ්ඩුවක පැවැත්ම අතිශය ප්‍රශ්නකාරී වන අතර එවැන්නක් ඕනෑම මොහොතක බිඳ වැටීමට ඇති අවස්ථා වැඩිය. එවිට රටේ අස්ථාවර තත්ත්වය තවත් කලක් පැවතීම වැළක්විය නොහැක. එසේම දැනට පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂ නියෝජනය එකකට සීමා වී ඇති නිසා එහි යම් වැඩිවීමක් සිදුවීම ජනාධිපතිවරයාගේ පැත්තෙන් වාසිදායක  වනු ඇත.

2024 මහමැතිවරණයක් ගැන පොහොට්ටුවේ අභ්‍යන්තරයේ සාකච්ඡා ………..

පසුගිය දිනවල 2024 මාර්තු මාසයේ මහා මැතිවරණයක් ගැන පොදු ජන පෙරමුණේ ප්‍රභලයන් අතර ද අභ්‍යන්තර සාකච්ඡා පවත්වා තිබිණි. රනිල් චීන සංචාරයට පෙර පොදුජන පෙරමුණේ ඉහල පෙලේ පුද්ගලයන් කීපදෙනෙකු සමග සාකච්ඡා කර තිබු අතර චීන ගමනින් පසු දැවැන්ත වෙනස්කම් සමඟ නවගමනක් ආරම්භ කිරීම පිණිස දෙපාර්ශවයේම එකඟතාවය ඇතිවී තිබේ. එම නිසා ඉදිරි දෙසතිය රට පැත්තෙන් ගත්තද දේශපාලනිකව ගත්තද අතිශය තීරණාත්මක බව පෙනේ.

කාලයක් තිස්සේ දිගින් දිගටම ප්‍රමාද වූ කැබිනට් සංශෝධනය ඉදිරි දිනවලදී සිදු කරන්නට නියමිතය, සෞඛ්‍ය ඇමති කෙහෙළිය ඉවත් කර වෙනත් කෙනෙකු ඒ සඳහා පත් කරන ලෙස වෛද්‍ය සංගම් ද ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා තිබිණි. පසුව වෛද්‍ය සංගම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවේ ද අදාල ඉල්ලීම කර තිබිණි. හිටපු ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දක්වමින් කෙහෙළිය ඉවත් කිරීමට තමන්ගේ විරෝධයක් නොමැති අතර ජනාධිපති රනිල් සමග එක්ව අදාල ඉල්ලීම ඉටුකරගන්නා ලෙස වෛද්‍යවරුන් වෙත දැනුම් දී තිබිණි. මේ අනුව කෙහෙළියගේ මාරුව මේ වන විට ස්ථිර වී තිබේ. ඊට අමතරව ක්‍රීඩා ඇමති ධුරයේ වෙනසක් සිදුවීමට නියමිත අතර ඇතැම් විට එය යලි නාමල් රජපක්ෂ වෙත ලැබීමේ ඉඩකඩක් ඇති බවද පැවසේ.

රනිල්ගේ චීන මිතුදම සහ බටහිර ආකල්පය

මේ අතර චීන සංචාරය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඉදිරි වැඩපිළිවෙල ට මෙන්ම ලෝක දේශපාලනයට පවා අතිශය වැදගත් ය. චීන සංචාරයේදී චීන ආයෝජන රැසක් ලබා ගන්නට ජනාධිපතිවරයා සමත් විය. ආයෝජන මණ්ඩල සභාපති දිනේෂ් වීරක්කොඩි ද රනිල් සමග මේ කටයුතු සඳහා ප්‍රභල ලෙස දායක විය.

දිනේෂ් වීරක්කොඩි රනිල් වික්‍රමසිංහ සමඟ කොහේ යතත් ඔහු යන්නේ තමන්ගේ පෞද්ගලික වියදමෙනි. ජෝන් අමරතුංග හිටපු ඇමතිවරයාගේ බෑණනුවන් වන දිනේෂ් වීරක්කොඩි එජාප අභ්‍යන්තරයේ ප්‍රභලම චරිතයකි.

2015 යහපාලන රජයේ මහබැංකු අධිපති ධුරය භාරගන්නා ලෙස රනිල් මුලින්ම ආරාධනා කළේ දිනේෂ් වීරක්කොඩිට ය. එහෙත් ඔහු ඒ සඳහා කැමති නොවූ අතර අර්ජුන් මහේන්ද්‍රන් හට ආරාධනා කලේ එයින් පසුවය. එදා දිනේෂ් වීරක්කොඩි එම තනතුර භාර ගත්තේ නම් මහා බැංකු බැඳුම්කර චෝදනාව රනිල්ට එල්ල වන්නේද  නැත. 

ඇතැම් විට චීන සංචාරයේදී ජනාධිපතිවරයාට මෙතෙක් පැවති ප්‍රශ්න ගණනාවකට පිළිතුරු ලැබුනා වන්නට ද පුළුවන. රනිල් හා පොහොට්ටුවේ එක්වීමට චීනයේ ආශීර්වාදය හිමි බව තවදුරටත් රහසක් නොවේ. එහෙත් ඒ සමඟම චීන සම්බන්ධතාවය නිසා රනිල් සම්බන්ධයෙන් ඇමරිකාව හා ඉන්දියාව පසුවන්නේ කනස්සල්ලෙනි. මෙතෙක් ඇමරිකාවේ හෝ යුරෝපයේ සුරතලකු ලෙස බොහෝදෙනා සැලකු රනිල් මේ වන විට බටහිර අතහැර චීන මිතුරු පිළිවෙතකට තල්ලු වී තිබේ. මෙය බටහිර  මෙන්ම ඉන්දියාවේ දැඩි විරෝධයට හේතුවී තිබීම කවර ආකාරයෙන් අවසන් වේවිදැයි කිව නොහැක. එහෙත් චීන ණය කළමනාකරණය සඳහා රනිල්ට වෙනත් විකල්පයක්ද නැත. අනෙක් අතට පොහොට්ටුවේ මහින්ද රාජපක්ෂ පාර්ශවය චීනය සමඟ කටයුතු කරන්නේ කලක සිට ය. පොහොට්ටුව නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂ වුවත් පොහොට්ටුවේ සලකුණ මහින්ද ය. අද වන විට පොහොට්ටුවේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් බැසිල් පාර්ශවය හා මහින්ද පාර්ශවය සිටින්නේ මත දෙකක ය. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීරණාත්මක සාධකය ඉන්දියාව ය. සුළු ජාතික පක්ෂ හා සුළු ජාතික ඡන්ද සම්බන්ධයෙන් ඉන්දීය ස්ථාවරය තීරණාත්මකය.

රනිල්ගේ දේශපාලන අත්දැකීම් හා ක්‍රියාවට නැංවීමේ ගැටලුව

වර්තමාන ලෝක දේශපාලනය තුළ පවා අත්දැකීම් අතින් රනිල් වික්‍රමසිංහ හට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. අත්දැකීම් අතින් ඔහු දෙවැනි වන්නේ ඇමරිකානු ජනපති ජෝ බයිඩන් හට පමණි. ජෝ බයිඩන් ඇමරිකානු සෙනෙට් සභාවට තේරී පත්වන්නේ 1972 දී ය. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ 1977 දී ය.

ඕනෑම ප්‍රශ්නයක් විනාඩි දෙකතුනක් සවන්දීමෙන් තේරුම් ගන්නටත් රනිල් වික්‍රමසිංහ ට ඇත්තේ පුදුමාකාර හැකියාවකි. එහෙත් එම ප්‍රශ්න වලට විසඳුම් ලබාදීමට ඒ සඳහා පියවර ගැනීමේදී රනිල් වික්‍රමසිංහ සාර්ථක නැත. රනිල් බොහෝවිට යම් යම් යහපත් තීරණ හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තමා වටා සිටින පුද්ගලයකුට පැවරීම සිදු කරයි. රනිල් සෑම විටම තමා වටා සිටින්නන් විශ්වාස කරන අතර ඔවුන් තමන් මෙන්ම දක්ෂයන් ලෙස සිතයි. රනිල් බලයේ සිටින විට ඔහු වටා අරක් ගන්නා පිරිස් බොහෝ දෙනෙකු පක්ෂයේ සිටින දක්ෂයන්ට රනිල් සමඟ වැඩි කලක් කටයුතු කරන්නට ඉඩ දෙන්නේ නැත.

මේ බොහෝ දෙනා අදාළ ව්‍යාපෘතිය හෝ තීරණය සාර්ථක වීමට ඉඩ දෙන්නේද නැත. ඒ එසේ වුවහොත් අදාල තැනැත්තා ලොක්කාට ලං වී තමන් කැපී යනු ඇතැයි මේ පිරිස් සිතන නිසාය. මෙය බොහෝ කාලයක් තියා සිදුවූ අතර රනිල් ගේ බලය වැඩි කාලයක් රැඳී නොපැවතීමට හෙතුවුයේ ද මෙයයි. මේ තත්ත්වය නිසා රනිල්ට සිදුවූ පාඩු වල නිමක් නැත. සැබවින්ම මීට පෙර අවස්ථා ගණනාවකදී රනිල් කෙටි කලකින් බලයෙන් විසිවී ගියේ මේ පිරිස නිසාය.

රනිල් දැන්වත් මේ තත්ත්වය තේරුම් ගත යුතුව තිබේ. රනිල් වික්‍රමසිංහ මීළඟ ජනාධිපතිවරණයට තරඟ කරන්නේ නම් දක්ෂ පිරිස් එක්කර ගත යුතු අතරම ජනතාවගේ හද ගැස්මට ලං විය යුතුය. ෆේස්බුක් නොබලන සමාජ ජාල භාවිත නොකරන ලක්ෂ සියයකට ආසන්න තවත් ඡන්ද දායකයන් පිරිසක් රට තුළ සිටින බව ජනාධිපතිවරයා මතකයේ තබා ගත යුතුය. ඔහු කරන කියන දේ ජනාධිපති ලේකම් කාර්යාල වෙබ් අඩවියේ පළවූ පමණින් ඒ පණිවිඩය මේ රටේ සාමාන්‍ය ජනතවට යන්නේ නැත.

ඇමරිකානු තානාපතිනිය ජවිපෙ මූලස්ථානයට ……..

ජනාධිපතිවරයා චීනයේ සංචාරයේ නිරත වන අතර තුර ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් බත්තරමුල්ලේ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයට ම ගොස් අනුර කුමාර දිසානායක මුනගැසුනා ය. මැතිවරණ නිසි කලට නොපැවැත්වීම ගැන මෙහිදී අනුර කුමාර දිසානායක හා ඇමරිකානු තානාපතිනිය අතර අදහස් හුවමාරු විය. අනුර කුමාරගේ ඇමරිකානු සංචාරයට ද තානාපතිනිය සුභ පැතූ අතර මෙම සාකච්ඡා සඳහා විජිත හේරත් මන්ත්‍රීවරයා ද එක්විය. ඇමරිකානු තානාපතිවරියගේ මෙම සංචාරය දේශපාලන ලෝකයේ දැඩි විමසිල්ලට භාජනය වූ අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ චීන සංචාරය තුළ එය සිදුවීම ද මීට බලපෑවේය. චීනයට වැඩි නැඹුරුවක් ඇතැයි පැවසෙන ජනතා විමුක්ති පෙරමුණ හා ඇමරිකානු තානාපතිනියගේ සමීපත්වය මෙරට ඉදිරි දේශපාලනය හා ඇමරිකානු මැදිහත්වීම සම්බන්ධයෙන් නව ප්‍රවණතාවයකි.

ජනපතිට ජවිපෙන් චෝදනා

ලෝකයේ රටවල් වල රස්තියාදු ගැහුවාට රටේ විදේශ ණය වලින් එක ඩොලර් එකක් වත් තවම කපා ගෙන නැතැයි ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ෂී ජින් පිං එක්ක පොටෝ  එකේ මැද හිටගෙන හිටියාට ණය සතයක්වත් කපා ගන්නට නොහැකි වී ඇතැයි ද;

අදට වඩා හෙට හොඳයි කියා හැමදාම කයිවාරු ගහන බව ද  අවුරුදු එකහමාරක් තිස්සේ වෙච්ච දෙයක් නැතැයි ද;

මීට වසරකට කලින් ජනතාව ජීවත් වූ විදිය සහ අද වියදම තුන් හතර ගුණයකින් වැඩි වී තිබෙන බව ද රජයේ මෙන්ම පෞද්ගලික අංශ සේවකයන්ගේ ආදායම ශත පහකින්වත් වැඩි වී නැතැයි ද විජිත හේරත්  සඳහන් කළේය.

රජය වෘත්තිකයන් කොටසකට වැටුප් වැඩි කලොත් වැඩ වර්ජන රැසක් ………….

වැටුප් හා දීමනා වැඩි නොකළහොත් රට හැර යන බවට වෘත්තිකයන් රැසක් මේ වන විට රජයට අනතුරු හඟවා තිබේ. එම නිසා රජය මේ වන විට ඇතැම් වෘත්තිකයන්ට හා රජයේ සේවකයන් සඳහා වැටුප් වැඩිවීම් ලබාදීමට සුදානම් වේ. මේ මොහොතේ කළ යුත්තේ සියලු දීමනා සහිතව රුපියල් ලක්ෂයට වඩා අඩු වැටුප් ලබන පිරිස් වලට පමණක් වැටුප් වැඩිවීම් ලබා දීමය. හේතුව වර්තමානයේ ජීවත්වීමට බැරි තරමේ අසීරුවෙන් සිටින්නේ ඔවුන් නිසා ය, පොදුවේ වැටුප් වැඩිවීම් සිදු කළහොත් යලිත් ඇති නැති පරතර තව තවත් ඉහළ යනු ඇත. වැටුප් විෂමතා හැකිතරම් අඩු කිරීමට රජය කටයුතු කළ යුතුය. එසේ නොවුවහොත් තවදුරටත් ඇති නැති පරතරය ඉහළ ගොස් සමාජයේ තරුණ නැගී සිටීම් ආදිය ඇති වනු ඇත. හඬක් නොමැති නිසා නිහඬව සිටියද රටේ සාමාන්‍ය ජනතව ඉහල පෙලේ වෘත්තිකයන්ට වඩා දසදහස් ගුණයක් අසීරුතා වලින් එදිනෙදා ජීවිතය ගත කරන බව රජය තේරුම් ගත යුතුව තිබේ.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න එරෙහිව චන්දිම වීරක්කොඩි අධිකරණයට ……

පාර්ලිමේන්තු පරිශ්‍රය තුලදී ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කළා යැයි කියන තර්ජනය සම්බන්ධයෙන් තමා අධිකරණයට යෑමට බලාපොරොත්තු වන බව චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කරයි.

අදාළ තර්ජනයට සම්බන්ධ පාර්ලිමේන්තුවේ කාරක සභාවල හඬ පට පිටට දිය නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී පැවසීය.

එය පාර්ලිමේන්තුව ගත් තීරණයක් බව ද ඔහු සඳහන් කළේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා සිය වරප්‍රසාද ප්‍රශ්නය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

මෙහිදී අදහස් දැක්වූ චන්දිම වීරක්කොඩි පැවසුවේ පාර්ලිමේන්තු කාරක සභාවේදී තමාට කළ තර්ජනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ඒ හඬ පටය අවශ්‍ය බවයි.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ මන්ත්‍රීවරයාට තර්ජනය කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් බවයි.

මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමට කතානායකවරයා බැඳී සිටින බව පැවසූ කිරිඇල්ල එම හඬ පටය නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

“ඔබතුමා ඉන්නේ මන්ත්‍රීවරුන් ආරක්ෂා කරන්න. හමුදාව ආරක්ෂා කරන්න නොවෙයි”

යැයිද  විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කීය. වීරක්කොඩි මන්ත්‍රීවරයාට තර්ජනය කිරීම අනුමත කරන්නේ දැයි ඔහු කතානායකවරයාගෙන් විමසුවේය.

මෙහිදී අදහස් දැක්වූ කතානායකවරයා පැවසුවේ එම හඬ පටය වරප්‍රසාද කමිටුවේදී වාදනය කළ හැකි බවයි.
 
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ කාරක සභාවක දී මන්ත්‍රීවරයකුට තර්ජනය කිරීමට අදාළ හඬ පටය නිකුත් කිරීමට කතානායකවරයා බැඳී සිටින බවයි.

තමා එම තර්ජනය සම්බන්ධයෙන් අධිකරණයට යෑමට බලාපොරොත්තු වන බව චන්දිම වීරක්කොඩි පැවසීය.

මැතිවරණවලට ධනපතීන්ට පමණක් එන්න ගාස්තු වැඩිකරන යෝජනා

ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයකු තැන්පත් කළ යුතු ඇප මුදල රුපියල් ලක්ෂ 26 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබේ.

මෙතෙක් පිළිගත් දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් තැන්පත් කළ යුත්තේ රුපියල් 50,000 ක මුදලක් වන අතර රුපියල් ලක්ෂ 26 දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇත.

ස්වාධීන අපේක්ෂකයකු තැන්පත් කළ යුතු ඇප මුදල දැනට පවතින රුපියල් 75,000 ක සීමාවේ වන අතර එය රුපියල් ලක්ෂ 31 දක්වා ඉහළ දැමීමට යෝජනා වී ඇත.

මෙසේ තැන්පත් කරන ඇප මුදලින් රුපියල් ලක්ෂයක් ආපසු නොගෙවන ඇප මුදල් වන අතර අනෙක් මුදල් ආපසු ගෙවන ඇප ලෙස තැන්පත් කිරීමට ද යෝජනා වී ඇත.

ඒ සමගම පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතනවල අපේක්ෂකයන් ද තරඟ කිරීමේ දී තැන්පත් කළ යුතු ඇප මුදල ද ඉහළ දැමීමට යෝජනා වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනෑම පුරවැසියකුට මැතිවරණ වලට ඉදිරිපත්වීම සඳහා පහසුකම් ඇති කිරීම කළ යුතු අතර මෙවැනි දේ වලින් සිදුවන්නේ තවදුරටත් රටේ පාලනය ධනවත් පක්ෂ හා ව්‍යපාරිකයන් අතර පමණක් පැවතීම පමණි.

විදුලි ගාස්තු වැඩි කිරීමෙන් ජනතවට දැඩි අපහසුතාසියලු භාණ්ඩ හා සේවා මිල ඉහලටකර්මාන්තශාලා වැසේ

විදුලිය ගාස්තු සියයට 18කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පසුගියදා කටයුතු කළේය.

වසරක් ඇතුළත විදුලිය ගාස්තු මෙලෙස ඉහළ දමනු ලැබුවේ තෙවැනි වරටවීම විශේෂත්වයකි. මේ වන විට ඇති වී රට පුරා ලැබෙන දැඩි වර්ෂාව හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය මත විශාල වශයෙන් රැඳී සිටීමේ හැකියාවක් ඇති අවස්ථාවක මෙලෙස විදුලි ගාස්තු ඉහළ දමන ලදී.

විදුලි බල මණ්ඩලයේ  පාඩුව පියවා ගැනීමට පමණක් අවශ්‍ය නම් ගාස්තුව 8% කින් පමණක් වැඩි කිරීම ප්‍රමාණවත් බව පැවසෙන අතර නව වැඩි කිරීම මගින් බිලියන 90 කින් ලංකා විදුලි බල මණ්ඩලයේ ආදායම වැඩි වී තිබේ. මෙසේ විශාල ලාභ පෙන්වා ලංකා විදුලි බල මණ්ඩලය පුද්ගලීකරණය රජයේ අරමුණ බව වෘත්තීය සමිති පෙන්වා දෙයි. අධික විදුලි බිල් ගෙවා ගත නොහැකිව නිවාස ලක්ෂ එකහමාරක පමණ විදුලිය විසන්ධි කර ඇති අතර නව ගාස්තු වැඩි වීමත් සමග එම ප්‍රමාණය තවත් කීප ගුණයකින් ඉහළ යනු ඇත. එහි අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ මණ්ඩලයේ පාරිභෝගිකයන් සංඛ්‍යාව අඩු වී නැවත පාඩු ලබන තත්වයක් ඇතිවීමය. මේ අතර විදුලි ගාස්තු වැඩිවීම නිසා සියලු භාණ්ඩ හා සේවා යලිත් ඉහළ ගොස් තිබේ. කර්මාන්තශාලා වැසී යමින් පවතී. මේ ආකාරයට විදුලි ගාස්තු වැඩි කරන්නට ඉඩ දෙන්නට නම් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවක් අවශ්‍ය නැති අතර ඊට වැය වන මහජන මුදල් අපතේ යැවීමකි. රටේ විදුලිගාස්තු වැඩි කිරීමට හැකියාව ඇත්තේ වසරකට දෙවරක් පමණි.

අනෙක් අතට මේ ආයතන පිහිටුවන ලද පාර්ලිමේන්තු පනතට පිටින් මෙසේ විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධ ව මේ ආයතනයට එහි අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජනතා සංවිධාන කටයුතු කළ යුතුය. එවිට අඩුම තරමින් දේශපාලන බලපෑම් මත මෙවැනි තීරණ ගැනීමට ඔවුන් කටයුතු නොකරනු ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ දැමීමට යොමුකළ තොරතුරු මේ වන විට පවතින තත්ත්වය සමඟ නොගැළපෙන බවට චෝදනා එල්ල වී තිබිය දී මෙවර ගාස්තු වැඩි කිරීම ද විශේෂත්වයකි.

ලංකා විදුලිබල මණ්ඩලය සැප්තැම්බර් මාසයේ දිනක විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 44.70 ක් සහ ඔක්තෝබර් සහ දෙසැම්බර් මාසවල සාමාන්‍යයෙන් දිනක විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 42.88ක් ලෙස ඉදිරිපත් කර තිබුණ ද එම විදුලි ඉල්ලුම වර්තමානය සමඟ නොගැළපේ. ගල් අඟුරු මිල පසුගිය මැයි 15 වන දින කිලෝවක් රුපියල් 68.6 සිට සැප්තැම්බර් 4 වැනිදා වන විට කිලෝවක් රුපියල් 52.6 ක් දක්වා පහත වැටී ඇති අතර ඒ සම්බන්ධයෙන් අසත්‍ය දත්ත විදුලි බල මණ්ඩලය මගින් ඉදිරිපත් කර ඇත.

විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව සජිත් සටනට ……..

වැරදි ආකාරයට විදුලි බිල වැඩි කිරීමට කටයුතු නොකරන්නැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවට නියෝගයක් දෙන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. විදුලිබල මණ්ඩලය ලාභ ලබන හෙයින් විදුලි බිල මේ මොහොතේ වැඩි කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි ද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී  විශේෂ ප්‍රකාශයක් කරමින් සජිත් ප්‍රේමදාස “විදුලි බිල වැඩි කරන්න තීන්දුව අරගෙන ඉවරයි. අවුරුද්දකට විදුලි බිල වැඩි කරන්න පුළුවන් දෙපාරයි. හතර වතාවක් වැඩි කරන්න පුළුවන් කියලා දැන් විශේෂ පරිච්ඡේදයක් ඇතුළත් කරලා. මහජන උපයෝගීතා කොමිෂන් සභාව පනත උල්ලංඝනය කරමින් වැරදි  වැඩක් කරනවා. අද විදුලි බිල ගැන උත්තර දෙන්න ඇමති නැහැ. මේ ආකාරයට වැරදි විදිහට කටයුතු කරන්න එපා කියලා මහජන උපයෝගීතා කොමිසමට නියෝගයක් දෙන්න කියලා කතානායකතුමාගෙන් ඉල්ලනවා. විදුලි බිල වැඩි කිරීමෙන් ජනතාව දැඩි පීඩනයකට පත් වෙලා සිටිනවා. ආණ්ඩුව ඇයි ඒ පීඩනය නොසලකන්නේ.” යැයි පැවසීය.

විරැකියාව මන්ද පෝෂණය ඉහලටලිංගික වෘත්තිය ඉහළට ….

ශ්‍රී ලංකාවේ දරුවන් 56,000 උග්‍ර මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව යුනිසෙෆ් වාර්තාවල සඳහන් වේ.

මේ අතර ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාවේ පවුල්වලින් තුනෙන් එකකට සුරක්ෂිත ආහාර ප්‍රභව නොමැති බවත් සියයට 70 ක්  පමණ ආහාර වේල් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමින් අඩු කර ඇති බවත් පැවසේ.

විවිධ කර්මාන්ත ශාලා සහ සේවා ස්ථාන දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් වැසීම යෑම හේතුවෙන් පන්ලක්ෂ තිස් තුන් දහස් අටසිය පනස් අටකට ගිය වසරේ දී රැකියා අහිමි වී ඇත.

මෙසේ රැකියා අහිමි වූ පිරිසට කර්මාන්ත අංශයේ තුන්ලක්ෂ අනූ හය දහස් එකසිය පනස් නව දෙනෙක්ද සේවා අංශයේ එක් ලක්ෂ තිස් හත්දාස් හයසිය අනූ නව දෙනෙක්ද ඇතුළත් වෙති. මේ අතර පසුගිය වසරේ දී පුද්ගලයන්ගේ වැඩ කරන පැය ගණනද සැලකිය යුතු ලෙස අඩු වී ඇත. කම්හල් බොහොමයක් වැසී ගොස් ඇත්තේ අමුද්‍රව්‍යවල අධික මිල, විදුලි ගාස්තු සහ ඉන්ධන මිල ඉහළ යෑම යනාදී හේතු නිසාය.

මේ නිසා ලිංගික වෘත්තිය වැනි රැකියාවල නිරතවීම් ඉහළ යමින් පවතින අතර සම්භාහන මධ්‍යස්ථාන හතු පිපෙන්නාක් මෙන් බිහිවෙමින් පවතී. මෙම තත්ත්වය දීර්ඝකාලීනව රට තුළ ගැටළුකාරී තත්ත්වයන් ඇති කරන බව රජය දැනගත යුතුව තිබේ.

මීළඟ අගවිනිසුරු සංජේ රාජරත්නම්?

මේ අතර ලබන වසරේ විශ්‍රාම යාමට නියමිත අගවිනිසුරු ජයන්ත ජයසුරියගෙන් පසු මීළඟ අගවිනිසුරු ධුරය සඳහා නීතිපති සංජේ රාජරත්නම් පත්කිරීමට රටේ ඉහළම පුද්ගලයකු දැනටමත් තීරණය කර ඇති බව පැවසේ. මේ සම්බන්ධයෙන් දැනටමත් නීති ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් ඇතිවී තිබෙන අතර මීට පෙර නීතිපති තනතුර දරු සරත් නන්ද සිල්වා සහ මොහාන් පීරිස් අගවිනිසුරු ලෙස පත්වීම් ලබා තිබේ. ඇතැම් විට අදාළ පත් කිරීම් කාලසීමා වෙනස්වීමේ ඉඩකඩ පවතින බවද නීති අංශ අතර කතාබහට ලක්ව ඇත.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan