වීසා එකක්වත් ගන්න බැරිව තිබුණ රටක් තමයි අපි අවුරුද්දකින් ගොඩගත්තේ!

0
165

කොළඹ LNW:ඉතා සුමටව, සුවපහසුව ගමන් කළ රටක් වෙනුවට භාරගනු ලැබුවේ ආර්ථික අර්බුදයකට මුහුණ දුන්, ජාත්‍යන්තරයේ කොන් වූ විසා ගැනීමටවත් නොහැකිව පාස්පොර්ට් එකට තිබුණු වටිනාකම අහෝසි වූ රටක් වුවත් ගෙවුණු වසරක කාලය තුළ නැවත ආර්ථික ස්ථාවරයක් ගොඩනගා ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (27) එක්සත් රාජධානියේදී ශ්‍රී ලංකික හමුවකට එක්වෙමිනි.

වෙස්ට්මිනිස්ටර් පදනමේ වැඩමුළුවකට සහභාගී වීම සඳහා කථානායක ජගත් වික්‍රමනායක, අමාත්‍යවරුන් වන නලින්ද ජයතිස්ස, හර්ෂණ නානායක්කාර සහ සරෝජා පෝල්රාජ් යන මහත්ම මහත්මීන් මේ දිනවල එක්සත් රාජධානිය වෙත ගොස් සිටියි.

ඒ අතරතුරයි ඊයේ දිනයේදී ලන්ඩන් නුවරදී ශ්‍රී ලාංකික ප්‍රජාව හමු වී ආණ්ඩුවේ වැඩපිළිවෙල පිළිබඳව සාකච්ජා කර තිබුණි.

එහිදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තවදුරටත් පැවසුවේ කණ්ඩායමක් ලෙස විවේකයක් නොලබා උපරිම මහන්සියෙන් ක්‍රියා කරමින් පසුවෙන බවයි.

ගෙවුණු වසරේ ප්‍රධානම අභියෝගය වූයේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම බවත් මේ වන විට ඒ ගැන බලාපොරොත්තු සහගත බවක් ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

”අලුත් කණ්ඩායමක්. වෙනස් දේශපාලන ප්‍රතිපත්තියක් සහිත කණ්ඩායමක් ඒ කියන්නේ අපි වගේ කණ්ඩායමක් බලයට ආවට පස්සේ මේ ගොඩනැගීම අපි ඉතාම ප්‍රවේශමෙන් කළ යුතුයි. අපිට දැන් ආර්ථිකය සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තබාගන්න පුළුවන්. අපිත් එක්ක කටයුතු කරමින් හිටපු ජාත්‍යන්තර මූල්‍ය ආයතන ගණනවක් ප්‍රසාදය පළකරලා තිබුණා ඉතාම කෙටි කාලයක් තුළ මේ තත්ත්වයට පැමිණීම සම්බන්ධව. අපි විපක්ෂයේ ඉදගෙන කටයුතු කරනකොට බොහෝ අයට ප්‍රශ්නයක් තිබුණා අපේ එක හරිම ඔඩ්, එහෙම වෙන්නේ නෑ වගේ එකක්. පිළිගන්න බැහැ වගේ එකක්. දැන් වෙලා තියෙන්නේ පැරණි දේශපාලනය විපක්ෂයේ ඉඳගෙන හරි පාවිච්චි කරන්න යනවා නම් කවුරුහරි ඒක තමයි දැන් ඔඩ් වෙලා තියෙන්නේ.” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ