අලි ප්‍රේමය!

උපාලි කොළඹගේ

කොළඹ LNW:වන සතුන් අතර දැවැන්තයා වශයෙන් අභිෂේක ලබා කාගේත් ආදරයට මෙන්ම ගෞරවාදරයට පත්ව සිටින ඇත් පරපුර වෙනුවෙන් කඳුලු සැලීම වර්තමානයේ මෝස්තරයක් තරමටම ව්‍යාප්ත වෙමින් පවතී. ඇතමුන් අවංකවම ඇත් ප්‍රේමයේ නියැලී සිටින අතර සමහරුන් විවිධ සැඟවුණු අපේක්ෂා සහිතව ව්‍යාජ ආකාරයෙන් අලි ඇතුන්ට ආලපාන බව දක්නට ලැබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මියගිය කාවන්තිස්ස ඇතාගේ අප්‍රාණික සිරුරට උම්මා එකක් දීමෙන් තමාගේ අලි ආලයේ ප්‍රමාණය මුළු ලොවටම කියා පෑවේය. ඇත් දළයෙන් හෝ ආණ්ඩුවට කොටන්නට ඇත්නම් යැයි වර්තමානයේ සජිත් සිතනවා විය හැකිමුත් සජිත් ප්‍රේමදාස තුරුණු වියේ සිටම වන සත්ව ලෝලියකු බව නම් අමතක නොකළ යුතුය .
අලි ඇතුන් පිළිබඳව සමාජය තුළ මෙතරම් ප්‍රබල කතිකාවක් ඇති වීමට ආසන්නම හේතු ව වූයේ කාවන්තිස්ස ඇත් රජුගේ අකල් මරණය නිසා වෙනි.

කොටින්ම කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාද තමන්ගේ උපන් දිනය වෙනුවෙන් රුපියල් දස කෝටියක මුදලක් අලි සුබ සාධනය වෙනුවෙන් විය පැහැදම් කිරීමට සූදානම් බව පුවත්පත් වාර්තාකර තිබිණ .

අහා ආශ්චර්යයක්! මෙවන් දානපතියන්ට අලි ඇතුන් නිසා උන්හිටි තැන් අහිමිව ජීවිත අවදානමක් සහිතව බලවත් පීඩාවට පත්ව සිටින අසරණ ජනතාව ගැනද මෙවන් ආදර කරුණාවක් පහළ වන්නේ නම් මොන තරම් වටනේද?

අප මේ ඔහු දැනටමත් කරගෙන යන සමාජ සුබ සාධන ව්‍යාපෘති අවතක්සේරුවට ලක් කරනවා නොවෙයි.

ලොව අති සුඛෝපභෝගී වාහන තුන හත⁣⁣රෙන් එකකට හිමිකම් කියන ඩඩ්ලි සිරිසේන වර්තමාන ප්‍රකෝටිපති තත්ත්වයට පත්වීමේදී එම ක්‍රියාවලියේ කොඳුනාරටිය වූයේ අද වන අලින්ගෙන් වඩාත්ම පීඩාවට පත්ව සිටින අහිංසක ගොවි ජනතාව බව මතක් කර දීමටය. වන සත්ව උවදුර ඇතුළු විවිධ පීඩාවන් ගෙන් බැට කමින් මහ පොළව සමග ඔට්ටු අල්ලා බත සරි කරනා ගොවියා දහදිය මුගුරු වගුර වමින් පාපැදිය තම එකම වාහනය කරගත්තද ගොවියා නිපදවන වී සහල් කර වෙළඳෙ පොළට නිකුත් කරන ව්‍යාපාරිකයා සිටිනුයේ ගොවි මහතාට වඩා ගව් ගණනක් උඩිනි.

කෙසේ වුවද අලි මිනිස් ගැටුම ඉතා උග්‍ර තත්ත්වයක පවතින බව නම් සත්‍යයකි. එහෙත් මේ හා බැඳුණු චමත්කාරජනක අතිශයෝක්තීන්ද බොහෝ ය. මෙහෙම ගියොත් පෙරහැ⁣රේ ගෙනි යන්න අලි පිටරටින් ගේන්න සිද්ධ වෙයි. අනාගතේ දරුවන්ට ඡායාරූපවලින් තමයි අලි දකින්න වෙන්නෙ වැනි කතා රැල්ලට ගසා ගෙන ආ ප්‍රලාපය.

අලින්ගේ ව්‍යාප්තිය අනුව ගණන් බැලීමේ දී දැනට එවැනි බරපතල තර්ජනයක් නොපෙනේ. නමුත් අනාගතයේ එවැනි තැනකට තල්ලු වී යෑමට ප්‍රථම දැන් සිටම අලි මිනිස් ගැටුම අවම කර ගැනීමට පියවර ගත යුතුය.

අලි 12000 ක් පමණ සිට ඇත්තේ සුද්දා ඒමට පෙරය. එම යුගයේ අලි මිනිස් ගැටුම දැනට වඩා උග්‍රව පැවතිණ. අලින් මරා දමන ලෙස සුදු ආණ්ඩුවට වැඩිපුරම ඇවිටිලි කර ඇත්තේද සාමාන්‍ය ජනතාවය.

කෙසේ වුවත් රජයේ සංගණනය අනුව අලින් ගේ ව්‍යාප්තිය මෙසේය .

1993 දී 1967 ,2011 දී 5879,2024/ 25 දී 8000 කට ආසන්න ව.

එසේ වුවද අලි මරණ අනුපාතයදඉහළම අගයක පවතී. දැනට වාර්ෂිකව අලි 350 – 400 සිදුවන බව හෙළිවී තිබේ. සංචරණ සත්වයකු වන අලින් පිළිබඳ සංඛ්‍යා ලේඛන සම්පූර්ණයෙන් නිරවද්‍යයැයි කිවනොහැක . කෙසේ වුවත් ගණන් ගත යුත්තේ ආසන්න අගයය.

එසේම අලින් ඝන කැළෑවල ජීවත් වන සත්ත්ව විශෙෂයක් වශයෙන් පවත්නා මතයද සාවද්‍යයය. අලින් ඝන කැළෑවල ජීවත් වීමට කැමති නැති බවය සත්ව විශේෂඥ මතය. ඝනත්වයෙන් වැඩි කැළෑවල ඇති රූස්ස ගස් අතර පවත්නේ බොහෝ විට කුඩා ඉඩකි. කඳ මහත රූස්ස වෘක්ෂ අතරින් වැඩුණු ඇතකුට ගමන් කිරීම අසීරුය. එමෙන්ම අලින් සිය ආහාර සපුරා ගන්නේද ගම් ආශ්‍රිතවය. වැඩුණු අලියකු දිනකට කිලෝග්‍රෑම් 150 ක් පමණ ආහාරයට ගන්නා අතර ඔවුන් බොහෝ විට ආහාරයට ගනුයේ තෘණ හා එම පවුල⁣ට අයත් පැළෑටිය.

ඒවා ළඳු කැළෑ වලින් පමණක් සොයා ගත හැකි ආහාර වන අතර අලි ඇතුන් ගම් ආශ්‍රිතව ජීවත් වීමට වැඩි කැමැත්තක් දක්වනුයේද ඒ නිසාය. මේ උභතෝකෝටිකය නිසාය අලිස් මිනිස් ගැටුම මෙතරම් උග්‍රවී ඇත්තේ. මෙම ගැටුම සම්පූර්ණයෙන්ම නතර කිරීම ගැටලු සහගතය. එහෙත් එම තත්ත්වය අවම කිරීමය අප කළ යුත්තේ. මේ සඳහා රාජ්‍ය මැදිහත් වීම අත්‍යවශ්‍යය. එමෙන්ම අලි ඇතුන් නිසා විපතට පත්වන ජනතාව වෙනුවෙන්ද දැනට වඩා ප්‍රායෝගික වැඩසටහනක් අවශ්‍ය ය.

අලින් ජාතික වස්තුව ක් බව ඇත්තය. එහෙත් එම වස්තුවට කකුල් ඇත. අලින් මිනිසාට හානි කරනුයේ ගම් වැදීමෙනි. එය සම්පූර්ණයෙන් වළක්වා ගත නොහැකි වුණත් මිනිස් ජීවිත හා ඔවුන්ගේ දේපොළ ආරක්ෂා කිරීම රජයේ වගකීමකි.

අවම වශයෙන් වන්දි ගෙවීමේ දී දැනට වඩා සාධාරණ ක්‍රමයකට යායුතුය. දැනට මිනිස් ජීවිතයකට ගෙවනු ලබන්නේ රු.10 ලක්ෂයකි. වර්තමානයේ එම මුදල කෙසේවත් ප්‍රමාණවත් නැත.

මිනිස් ජීවිතයක වටිනාකම මුදලින් ගණන් බැලීමට නොහැක. එසේ නම් කළ යුත්තේ අලින් හා මිනිස්සුන්ට අන්‍යොන්‍ය සහයෝගයෙන් යුතු පරිසරයක් නිර්මාණය කිරීමය. අනික අලින්ගෙන් කොපමණ පීඩාවට පත්ව සිටියත් අලියකු වගා ලිඳකට වැටීහෝ වෙනත් උපද්‍රවයකට ලක්වූ විට ඔවුන් බේරා ගැනීමට පළමුවෙන්ම ඉදිරිපත් වනුයේ මේ අහිංසක ගැමියාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞඛ්‍ය හා ආර්ථික ක්ෂේත්‍ර නංවාලීමට තායිලන්තයේ පූර්ණ සහාය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : තායිලන්ත උප...

විජයදාසගේ පුත්‍ රකිතගේ බැංකු ගිණුම් අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : හිටපු අධිකරණ අමාත්‍ය...

විශ්ව විද්‍යාල ආචාර්යවරු හෙට වැඩ වැරුමක!

කොළඹ LNW:ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට (30) දිනයේ...

නාමල්ගේ මුදල් විශුද්ධිකරණ නඩුව කල් යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...