පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ දිවයින පුරා විශේෂ වැඩසටහන නොවැම්බර් 02 වැනිදා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව වාර්තා වන පියයුරු පිළිකා රෝගය කලින් හඳුනාගැනීම සහ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ  සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් නොවැම්බර් මස 02 වැනිදා දිවයින පුරා විශේෂ ජාතික වැඩසටහනක් පැවැත්වීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි, ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සභාපතීත්වයෙන් එම සංසදය පසුගියදා (22) රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබිණි.

පියයුරු පිළිකා පිළිබඳ වත්මන් තත්ත්වය සහ පූර්ව හඳුනාගැනීමේ වැදගත්කම මෙහිදී  සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පැහැදිළි කළහ. ශ්‍රී ලංකාව තුළ වසරකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 6,000ක් පමණ වාර්තා වන අතර, වසරකට කාන්තාවන් 1,000ක් පමණ මෙම රෝගයෙන් මිය යති. පියයුරු පිළිකාවක් ආරම්භක අවස්ථාවේදීම හඳුනාගතහොත් එය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි වුවද, බිය, ලැජ්ජාව හෝ දැනුවත්භාවය අඩුකම හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමු වීම ප්‍රමාද වීම ප්‍රධාන ගැටලුවක් ලෙස පෙන්වා දී ඇත.

මේ අනුව, නොවැම්බර් 02 වන සඳුදා දින, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සිය ආසන හා දිස්ත්‍රික්ක මට්ටමින් සෞඛ්‍ය සායන සහ වැඩසටහන් සංවිධානය කිරීමට හා ඒවාට සෘජුවම සම්බන්ධ වීමට නියමිතය. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් මෙන්ම පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් අතර ද රෝස පැහැති සංකේත (Pink ribbons / Pink wristbands) සහ ඇඳුම් භාවිත කරමින් පියයුරු පිළිකා මර්දන රෝස මාසය වෙනුවෙන් සක්‍රිය සහභාගීත්වය ප්‍රකාශ කිරීමට සැලසුම් කර ඇත.

ග්‍රාමීය, වතු ආශ්‍රිත, නාගරික තට්ටු නිවාස සහ සහභාගීත්වය අඩු ප්‍රදේශවල කාන්තාවන් සුවනාරී සායන වෙත යොමු කරවා ගැනීමට මෙහිදී විශේෂ අවධානය යොමු කෙරේ. දැනට වයස අවුරුදු 35-45 අතර කාන්තාවන් සඳහා වන සුවනාරී සායනවලට පැමිණෙන්නේ 50%ක පමණ පිරිසක් බැවින්, එම පිරිස ප්‍රධාන පිළිකා පූර්ව හඳුනාගැනීමේ මධ්‍යස්ථානවල පහසුකම් ප්‍රයෝජනයට ගැනීමට කාන්තාවන් දිරිමත් කරනු ලැබේ.

ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක කාන්තා සමිති ඇතුළු අදාළ අංශ ඒකාබද්ධ කරගනිමින් වයස අවුරුදු 35-45 අතර සියලුම කාන්තාවන් පරීක්ෂණ (Screening tests) සඳහා යොමු කිරීමේ පුළුල් වැඩපිළිවෙලක් ඉදිරි වසරේදී ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇත. මීට අමතරව, ජනවාරි මාසයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ මූලිකත්වයෙන් ගැබ්ගෙල පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම පිළිබඳව ද අවධානය යොමු විය.

මීට අමතරව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ අයවැයකරණය (GRP) සහ රැකවරණ ආර්ථිකය (Care Economy) පිළිබඳව ද අවධානය යොමු විය. ජාතික රැකවරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ අයවැය ක්‍රියාවලියට ස්ත්‍රී පුරුෂ සංවේදී ප්‍රතිපත්තීන් ඇතුළත් කිරීම සඳහා තාක්ෂණික උපදේශක සහාය ලබා ගැනීමට අදාළ කටයුතු පිළිබඳව  මෙහිදී සාකච්ඡා විය.

තවද, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත, නඩත්තු පනත සහ ළමුන්ට කායික දඬුවම් පැමිණවීම වැළැක්වීමේ නීතිවල පවතින අඩුපාඩු නිරාකරණය කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය හා සම්බන්ධ වී එම සංශෝධන කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවිතය ගැන බය හිතෙන අනාවරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වසරකට...

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’...