ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී

ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ සිට ගීත කලාවේ ස්වර්ණමය යුගය දක්වා සිය දක්ෂතාවයෙන් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ ගායනයෙන්, රංගනයෙන් සහ වේදිකා රංග කලාවෙන් අද්විතීය දායකත්වයක් ලබාදුන් රුක්මණී දේවීගේ 48වන ගුනානුස්මරණය ඊයේ(28) දිනට යෙදී තිබිණි.

මෙරට සිනමාවේ මුල් යුගයේ ප්‍රමුඛතම කලාකාරිනියක ලෙස සැලකෙන ඇයගේ මියුරු හඬ සහ ආකර්ෂණීය රංගන හැකියාව නිසාවෙන්ම “ශ්‍රී ලංකාවේ ගීත කෝකිලාවිය” ලෙස ද ප්‍රකට වූවාය.

1923 ජනවාරි 15 වැනිදා නුවරඑළිය දිස්ත්‍රික්කයේ රම්බොඩ ප්‍රදේශයේ උපත ලැබූ ඇයගේ උපන් නම ඩේසි රසම්මා ඩැනියෙල්ස් (Daisy Rasammah Daniels) ය. කුඩා කල සිටම ගායනයට, නර්තනයට සහ රංගනයට ඇය තුළ විශේෂ දක්ෂතාවක් දැක්වූ ඇය පාසල් වේදිකාවෙන් සහ නාට්‍ය කලාවෙන් සිය කලා ගමන ආරම්භ කළ ඇය, පසුව සිංහල වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වූවාය.

1947 ජනවාරි 21 වැනිදා ප්‍රදර්ශනය වූ කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ රංජනීගේ චරිතයට පණ පෙවීම රුක්මණී දේවීගේ සිනමා ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් විය. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ එම චිත්‍රපටය මෙරට ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය ලෙස සැලකේ.

එතැන් සිට දශක තුනකට අධික කාලයක් සිනමාවේ රැඳී සිටි ඇය, චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදුන්නාය. ඇය රංගනයෙන් පමණක් නොව ගීත ගායනයෙන් ද චිත්‍රපටවලට සුවිශේෂී වටිනාකමක් එක් කළාය.

රුක්මණී දේවීගේ ගායන දිවිය ද ඇයගේ රංගන දිවිය මෙන්ම සාර්ථක විය. එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් සමඟ ගායනා කළ “සිරි බුද්ධගයා විහාරේ” ගීතය ඇයගේ මුල් යුගයේ පටිගත කළ ගීත අතර සුවිශේෂී ස්ථානයක් ගනී.

“සැන්දෑවේ ශ්‍රියා”, “පින්සර මගේ සොයුරා” සහ “මැණිකේ ඔබේ සිනාවේ” වැනි ගීත ඇයගේ ගායන හැකියාව මතකයට නංවන නිර්මාණ අතර වේ. ඇයගේ හඬ ග්‍රැමෆෝන් තැටි යුගයේ සිට ගුවන්විදුලිය සහ චිත්‍රපට සංගීතය දක්වා විශාල ප්‍රේක්ෂක පිරිසක් අතර ජනප්‍රිය විය.

ඇයගේ කලා මෙහෙවර වෙනුවෙන් විවිධ සම්මාන හා ඇගයීම් හිමිවිය. 1979 වසරේ සරසවිය සම්මාන උළෙලේදී ඇයගේ ජීවිත කාලීන කලා දායකත්වය වෙනුවෙන් “රණතිසර” සම්මානය පිරිනමන ලදී.

ඇයගේ නාමය අදටත් ශ්‍රී ලාංකේය සිනමාවේ මුල් යුගය සමඟ බැඳී පවතින්නේ ඇයගේ දක්ෂතාව, කැපවීම සහ කලා ක්ෂේත්‍රයට කළ මෙහෙවර හේතුවෙනි.

රුක්මණී දේවී 1978 ඔක්තෝබර් 28 වැනිදා තුඩැල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූවාය. ඇයගේ වියෝව ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයට විශාල පාඩුවක් විය.

කෙසේ වෙතත්, ඇය ගැයූ ගීත, රඟපෑ චිත්‍රපට සහ මෙරට කලා ඉතිහාසයට එක් කළ දායකත්වය අදටත් රසික හදවත් තුළ ජීවමානව පවතී.

රුක්මණී දේවී යනු අතීතයේ ජනප්‍රිය වූ කලාකාරිනියක පමණක් නොවේ. ඇය ශ්‍රී ලාංකේය සිනමාවේ සහ ගීත කලාවේ ගමන් මඟ හැඩගැස්වීමට දායක වූ පුරෝගාමී කලාකාරිනියකි. ඇයගේ නාමය ඉදිරි පරම්පරාවන් අතර ද සදා මතකයේ රැඳෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි ගැහිල්ල – කෝප් කමිටුවේදී සියල්ල හෙළි වෙයි

කොළඹ LNW:ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු...