ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා විසඳා ගැනීමට න්‍යෂ්ටික ශක්තිය කෙසේ උපකාරී වේවිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW :

ලෝකය පුරා රටවල් වඩාත් පිරිසිදු හා විශ්වාසදායක බලශක්ති ප්‍රභවයන් තහවුරු කර ගැනීමට තරගයක යෙදී සිටින අතරතුර, ශ්‍රී ලංකාව ද සිය විදුලිබල අනාගතය මූලික වශයෙන් වෙනස් මගකට යොමු කළ හැකි තාක්ෂණයක් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් සිටියි. ඒ න්‍යෂ්ටික බලශක්තියයි.

දකුණු කොරියාවේදී ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන බලශක්ති උපායමාර්ගය පිළිබඳව අදහස් දක්වමින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා ප්‍රකාශ කළේ, දේශගුණික ඉලක්කයන් සපිරීමට සහ සාම්ප්‍රදායික බලශක්ති ප්‍රභවයන් මත ඇති රැඳී පැවැත්ම අඩු කිරීමට සහාය වන අතරම, අනාගත විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා න්‍යෂ්ටික බලශක්තියට යම් කාර්යභාරයක් ඉටු කළ හැකිද යන්න ශ්‍රී ලංකාව පරීක්ෂාකාරීව ඇගයීමට ලක් කරමින් සිටින බවයි.

ආරක්ෂිත, විශ්වාසදායක, දැරිය හැකි සහ තිරසාර විදුලිබල පද්ධතියක් ගොඩනැගීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවත්, එම පුළුල් දැක්ම ඇතුළත, ඉදිරි දශක සඳහා අධ්‍යයනය කරනු ලබන විකල්ප කිහිපය අතුරින් කක් ලෙස න්‍යෂ්ටික බලශක්තිය ඉස්මතු වී ඇති බවත්,අමාත්‍යවරයා පවසයි.

“ලංකා විදුලිබල මණ්ඩලයේ ‘අඩුම පිරිවැය සහිත දීර්ඝකාලීන ජනන ව්‍යාප්ති සැලැස්ම 2025-2044’ හි මූලික සැලසුමට (base case) න්‍යෂ්ටික බලශක්තිය ඇතුළත් කර තිබෙනවා. කෙසේ වෙතත්, මෙය න්‍යෂ්ටික බලශක්තිය කරා යාමට ගත් අවසාන ජාතික තීරණයක් නෙවෙයි.”

ශ්‍රී ලංකාව තවමත් න්‍යෂ්ටික බලශක්තිය හඳුන්වා දීමට තීරණය කර නොමැති අතර, මෙවැනි වැඩසටහනක් රටට සුදුසු ද යන්න ඇගයීම සඳහා දැනට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ (IAEA) පියවරෙන් පියවර එළඹෙන ක්‍රමවේදය (milestone approach) අනුගමනය කරමින් සිටින බව මහාචාර්ය අබේසේන මහතා අවධාරණය කළේය.

“ශ්‍රී ලංකාව දැනට පසුවන්නේ පළමු අදියරේ (Phase One) අවසාන භාගයේයි. එහිදී අප ඇගයීමට ලක් කරන්නේ න්‍යෂ්ටික බලශක්තිය අපගේ රටට සුදුසු ද යන්නයි. අපගේ ප්‍රමුඛතාවය වන්නේ නොවිසඳී ඇති යටිතල පහසුකම් ගැටලුවලට විසඳුම් සෙවීම සහ තොරතුරු මත පදනම් වූ නිවැරදි තීරණයක් ගැනීමට රජයට ශක්තිමත් පදනමක් සපයා දීමයි.”

ඉදිරියට යාමට යම් හෙයකින් තීරණයක් ගත්තද, න්‍යෂ්ටික බලශක්ති ව්‍යාපෘතියක් සැබෑවක් බවට පත්වීමට පෙර සැලකිය යුතු මට්ටමේ මූලික වැඩකටයුතු ප්‍රමාණයක් ඉටු කිරීමට සිදුවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

“ස්ථානය තෝරා ගැනීම, රියාක්ටර් තාක්ෂණය, විදුලි බලපද්ධතියට එකතු කිරීම (grid integration), මුල්‍ය සම්පාදනය, නියාමනය සහ ආයතනික ධාරිතාව වර්ධනය කිරීම යන කරුණු සම්බන්ධයෙන් තවදුරටත් වැඩකටයුතු කිරීමට සිදු වෙනවා.”

තීරණ ගැනීමේ ක්‍රියාවලිය පුරාවටම ආරක්ෂාව පිළිබඳ කරුණ සාකච්ඡාවෙන් තොරව අනිවාර්යයෙන්ම සුරැකිය යුතු බව ඔහු අවධාරණය කළේය.

“ආරක්ෂාව, සුරක්ෂිතතාව සහ ආරක්ෂණ ක්‍රමවේද (safeguards) මූලිකම කාරණා ලෙස පවතිනවා. සක්‍රීය නියාමනය, හදිසි අවස්ථා සඳහා සූදානම, විකිරණශීලී අපද්‍රව්‍ය කළමනාකරණය සහ තිරසාර මූල්‍යකරණයේ ඇති වැදගත්කම අප හඳුනාගෙන තිබෙනවා.”

අනාගත න්‍යෂ්ටික වැඩසටහනකට සහාය වීම සඳහා අවශ්‍ය වන ඉහළ කුසලතාවලින් යුතු මානව සම්පතක් ගොඩනැගීමේ හැකියාව කෙරෙහි ද ශ්‍රී ලංකාව අවධානය යොමු කරමින් සිටියි.

එමෙන්ම, වඩාත් නම්‍යශීලී සහ පහසුවෙන් ව්‍යාප්ත කළ හැකි න්‍යෂ්ටික බලශක්ති උත්පාදන ක්‍රමයක් ලෙස ගෝලීය අවධානය දිනාගනිමින් පවතින කුඩා මොඩියුලර් රියාක්ටර (Small Modular Reactors – SMR) ඇතුළු නැගී එන තාක්ෂණයන් දෙස ද රට නිරන්තර විමසිල්ලෙන් පසුවෙයි.

“අපගේ සාපේක්ෂව කුඩා විදුලි බලපද්ධතිය සැලකිල්ලට ගැනීමේදී, සුදුසු විකල්ප ඇගයීමේදී පද්ධතියේ ස්ථායිතාව, මෙහෙයුම් නම්‍යශීලීභාවය සහ ආයෝජන අවශ්‍යතාවලට මුල් තැන හිමි වෙනවා. අපගේ ප්‍රවේශය කිසිදු තාක්ෂණයකට පාක්ෂික නොවූ (technology-neutral) සහ සාක්ෂි මත පදනම් වූ එකක් වනු ඇත.”

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනය (IAEA) විසින් තාක්ෂණික සහාය වැඩසටහන් සහ යටිතල පහසුකම් සමාලෝචන මෙහෙයුම් හරහා ලබාදෙන සහයෝගය සහ ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත්කම මහාචාර්ය අබේසේන මහතා විශේෂයෙන් සඳහන් කළේය.

“IAEA හි ජාත්‍යන්තර න්‍යෂ්ටික යටිතල පහසුකම් සමාලෝචන මෙහෙයුම්, පසු විපරම් කටයුතු සහ තාක්ෂණික සහයෝගිතා වැඩසටහන් හරහා ලැබෙන සහයෝගය අප බෙහෙවින් අගය කරනවා.”

තාක්ෂණික විකල්ප ඇගයීම, නියාමන රාමුව ශක්තිමත් කිරීම සහ ජාතික විද්‍යාත්මක දැනුම වර්ධනය කරගැනීම සඳහා ජාත්‍යන්තර පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

අවසාන වශයෙන් අමාත්‍යවරයා සඳහන් කළේ, රටේ අරමුණ නිකම්ම න්‍යෂ්ටික බලශක්තිය හඳුන්වාදීම නෙවෙයි, එයින් රටට පැහැදිලි යහපතක් සිදුවේද යන්න තීරණය කිරීම බවයි.

“අපගේ අරමුණ හුදෙක් න්‍යෂ්ටික බලශක්තිය හඳුන්වාදීම නෙවෙයි; එයින් රටට පැහැදිලි ජාතික ප්‍රතිලාභ අත්කර දෙමින්, ආරක්ෂිත, විශ්වාසදායක, දැරිය හැකි සහ අඩු කාබන් විමෝචනයක් සහිත විදුලිබල පද්ධතියකට දායක විය හැකිද යන්න තීරණය කිරීමයි.”

මෙම මාතෘකාව සම්බන්ධයෙන් තමා කළ ප්‍රබලම ප්‍රකාශය කරමින් මහාචාර්ය අබේසේන මහතා පැහැදිලි කළේ, අවසාන තීරණය ගනු ලබන්නේ දේශපාලනය හෝ මතවාද මත නොව තහවුරු වූ සාක්ෂි මත පදනම්ව බවයි.

“අපගේ ඇගයීම් මගින් ශක්තිමත් පදනමක් තහවුරු වුවහොත්, ශ්‍රී ලංකාව වගකීමෙන් යුතුව සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඉදිරියට යාමට කටයුතු කරනු ඇත. යම් හෙයකින් එසේ නොවුවහොත්, එම නිගමනයට ද අප ගරු කළ යුතුය.”

වැඩිවන බලශක්ති ඉල්ලුම, දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාවයේ අවශ්‍යතාවය මගින් හැඩගැසෙන අනාගතයක් දෙස ශ්‍රී ලංකාව බලන විට, න්‍යෂ්ටික බලශක්තිය තවමත් ස්ථිර පොරොන්දුවකට වඩා පවතින එක් සම්භාවිතාවක් (හැකියාවක්) පමණි. දැනට රට ලබා දෙන පැහැදිලි පණිවිඩය වන්නේ: සෑම විකල්පයක්ම සාකච්ඡාවට විවෘතව පවතින නමුත්, ඊළඟට සිදුවන්නේ කුමක්ද යන්න තීරණය කරන්නේ ලැබෙන සාක්ෂි සහ දත්ත පමණක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි ගැහිල්ල – කෝප් කමිටුවේදී සියල්ල හෙළි වෙයි

කොළඹ LNW:ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු...

රන් කිලෝග්‍රෑම් 02 කට වඩා ගෙන ඒම නිසා වසරක සිරදඬුවමක් විඳි ශ්‍රී ලාංකිකයා මාලදිවයින් මහාධිකරණයෙන් නිදහස්!

රන් කිලෝග්‍රෑම් 02 කට වඩා ගෙන ඒම නිසා වසරක සිරදඬුවමක් විඳි ශ්‍රී ලාංකිකයා මාලදිවයින් මහාධිකරණයෙන් නිදහස්!