කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි ගැහිල්ල – කෝප් කමිටුවේදී සියල්ල හෙළි වෙයි

කොළඹ LNW:ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු සන්නායක පද්ධතියට අයත් තඹ පටි මීටර් 2,199ක් සොරකම් කිරීමෙන් රුපියල් 8,442,091ක අලාභයක් සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය දා (21) රැස් වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් 2023 සහ 2024 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ විශ්වවිද්‍යාලයේ වර්තමාන කාර්යසාධනය හා මෙහෙයුම් කටයුතු පරීක්ෂා කිරීම සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය කැඳවා තිබුණි.

2022 සහ 2023 වර්ෂවලදී සිදුව ඇති තඹ පටි සොරකම සම්බන්ධයෙන් සිවිල් කොන්ත්‍රාත් සේවකයෙකු සහ නාවික හමුදා සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව මෙහිදී අනාවරණය වූ අතර කෙසේ වෙතත් සොරකම් කළ තඹ පටිවල මුළු ප්‍රමාණය සහ පොලීසිය විසින් සොයාගත් ප්‍රමාණය අතර පවතින වෙනස්කම් මෙන්ම, නඩු භාණ්ඩ සම්බන්ධ වාර්තාවල සඳහන් මිනුම් අතර පවතින පරස්පරතා පිළිබඳව කාරක සභාව විසින් කරුණු විමසන ලදී.

එමෙන්ම, රෝහලේ දේපළ කළමනාකරණය හා අභ්‍යන්තර පාලන ක්‍රමවේදවල පවතින දුර්වලතා ද පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. රෝහල ආරම්භයේ සිටම දේපළ සහ ඒවායේ ප්‍රමාණ පිළිබඳ නිසි ලේඛන පවත්වාගෙන නොතිබීම, විදුලි හා අකුණු සන්නායක පද්ධති සම්බන්ධ වගකීම් නිසි පරිදි නිලධාරීන් වෙත භාර නොදීම සහ නියමිත නඩත්තු පරීක්ෂණ සිදු නොකිරීම යන කරුණු පිළිබඳව කාරක සභාව අවධානය යොමු කළේය. සොරකමෙන් පසු අකුණු සන්නායක පද්ධතිය යළි සකස් කිරීමේදී තඹ වෙනුවට ඇලුමිනියම් කම්බි භාවිත කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාව ප්‍රශ්න කළ අතර, එමඟින් පද්ධතියේ තාක්ෂණික ප්‍රමිතීන් හා ආරක්ෂාව නිසි පරිදි තහවුරු කර තිබේද යන්න පිළිබඳව කරුණු විමසා තිබුණි.

ඇඳන් 800කට අධික ධාරිතාවකින් යුත් රෝහලේ ඇතැම් වාට්ටු, ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකක පූර්ණ වශයෙන් භාවිතයට නොගැනීම මෙන්ම, වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් රෝහල් සේවා පවත්වාගෙන යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳව කාරක සභාව දීර්ඝ ලෙස කරුණු විමසීය.

රෝහල තුළ දිගින් දිගටම මතුවන ගැටලු නිරාකරණය කරගැනීම සඳහා එය රජයේ රෝහල් ආකෘතිය යටතේ පවත්වාගෙන යන්නේද,නැතහොත් පෞද්ගලික රෝහල් ආකෘතියකට අනුව පවත්වාගෙන යන්නේද යන්න කඩිනමින් තීරණය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාරක සභාව පරිපාලන නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර එසේ පැහැදිලි තීරණයකට එළඹ අවශ්‍ය ක්‍රියාමාර්ග නොගතහොත් රෝහල තුළ පවතින ගැටලු තවදුරටත් උග්‍ර විය හැකි බව ද කාරක සභාව අවධාරණය කරන ලදී.

රෝහල ඉදිකිරීම සඳහා ලබාගත් විදේශීය ණය ආපසු ගෙවීමේදී මතුව ඇති ගැටලු, ශ්‍රවණාගාර ඉදිකිරීම් ව්‍යාපෘතියේ දිගුකාලීන ප්‍රමාදය සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ CUE Technologies Lanka (Pvt) Ltd සමාගමේ මූල්‍ය හා පරිපාලන පාලනය සම්බන්ධ විගණන නිරීක්ෂණ පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමුව තිබේ.

විශ්වවිද්‍යාලයේ පාලන ව්‍යුහය වඩාත් විධිමත් කිරීම සහ හඳුනාගෙන ඇති පාලන හා පරිපාලන ගැටලු සඳහා විසඳුම් ලබා දීම වෙනුවෙන් දැනට පවතින විශ්වවිද්‍යාල පනත කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය කෙරිණි. මීට පෙර හඳුනාගෙන ඇති අඩුපාඩු සැලකිල්ලට ගනිමින් පනත සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවත්, ඒ සඳහා අදාළ නීතිමය හා පරිපාලන කටයුතු කඩිනම් කිරීමේ වැදගත්කමත් මෙහිදී පෙන්වා දෙන ලදී.

රෝහලේ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීම, කාර්ය මණ්ඩල හිඟයට විසඳුම් ලබා දීම, ඖෂධ කළමනාකරණය විධිමත් කිරීම සහ විශ්වවිද්‍යාලයේ මූල්‍ය හා පරිපාලන පාලන ක්‍රමවේද ශක්තිමත් කිරීම මඟින් රාජ්‍ය සම්පත් වඩාත් ඵලදායීව භාවිත කිරීමේ වැදගත්කම ද කාරක සභා සභාවතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මේ රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර,මුජිබුර්රහුමාන්, නීතිඥ නිලන්ති කොට්ටහච්චි ,සමන්මලී ගුණසිංහ ,වෛද්‍ය එස්. ශ්‍රී බවානන්දරාජා, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, ජගත් මනුවර්ණ, සුනිල් රාජපක්ෂ, අසිත නිරෝෂණ එගොඩ විතාන,තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත යන මහත්ම මහත්මීන් මෙන්ම, ත්‍රිවිධ හමුදා පතිවරුන් ඇතුළු ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා විසඳා ගැනීමට න්‍යෂ්ටික ශක්තිය කෙසේ උපකාරී වේවිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ලෝකය පුරා රටවල්...

රන් කිලෝග්‍රෑම් 02 කට වඩා ගෙන ඒම නිසා වසරක සිරදඬුවමක් විඳි ශ්‍රී ලාංකිකයා මාලදිවයින් මහාධිකරණයෙන් නිදහස්!

රන් කිලෝග්‍රෑම් 02 කට වඩා ගෙන ඒම නිසා වසරක සිරදඬුවමක් විඳි ශ්‍රී ලාංකිකයා මාලදිවයින් මහාධිකරණයෙන් නිදහස්!