*
Friday, May 3, 2024
spot_img

Latest Posts

රටේ සියයට හැටක් දෙලොවක් අතර – SLT අලිරාජාටද – අදානිටද? මැක්සිස් මැලේෂියා මොබිටෙල් අයිති කර ගනීද? මෛත්‍රී යලිත් අගමැති? සජිත් බුද්ධික ගැන දැඩි තීරණයක!

  • රටේ සියයට හැටක් දෙලොවක් අතර
  • SLT  අලිරාජාටද – අදානිට ද? 
  • මැක්සිස් මැලේෂියා මොබිටෙල් අයිති කර ගනී ද?
  • මෛත්‍රී යලිත් අගමැති?
  • සජිත් බුද්ධික ගැන දැඩි තීරණයක
  • පාස්පෝට්  ලොක්කෙකුට චෝදනා
  • හොර දොස්තරලා හතලිස්දාහක්

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): ජනාධිපතිවරණය හා මහා මැතිවරණය ලබන වසරේ පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇතත් තවමත් සියයට 60 ත් 62 ත් අතර ප්‍රමාණයක් මීළඟ මැතිවරණයක ඡන්දය භාවිත කරන්නේ කාටදැයි තීරණයක් නැති බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. එම නිසා තවමත් ඇත්තේ විවෘත තරඟයකි. 2022 සංඛ්‍යාලේඛන අනුව 16692932 ක් වන ශ්‍රිලංකාවේ ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 2024 වන විට ලක්ෂ 170 ක් හෝ 175 ක් වෙතැයි අනුමාන කළ හැක.

සාමාන්‍යයෙන් උපරිම වශයෙන් මෙයින් සියයට අසුවක් ඡන්දය භාවිත කළහොත් එය ලක්ෂ 140 කි. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නට බලාපොරොත්තු වන්නේ නම් එම පුද්ගලයා අවම වශයෙන් සියයට පනහක් එනම් ලක්ෂ 70 ක් ඡන්ද ලබා ගත යුතුව තිබේ. රටේ වර්තමාන තත්ත්වය මත මෙය කිසිවකුට සරල කටයුත්තක් නොවේ. ප්‍රධාන පක්ෂ වලට කිසියම් හෝ  ඡන්ද දායකයන් එනම් ආධාරකරුවන් ප්‍රමාණයක් ඇතත් එසේ නොමැති අපේක්ෂකයෙක් නම් මුලසිටම ආරම්භ කළ යුතුව තිබේ. කවුරුන් ජනාධිපතිවරණයට තරඟ කළ ද මීළඟ ජනාධිපතිවරයා වන්නට මේ අභියෝගය ජය ගත යුතුව තිබේ.

අලුත් ඡන්ද ලක්ෂ 9 ක් සමග ජයග්‍රාහී ඉලක්කය ඡන්ද ලක්ෂ 70ක්

මෙවර ඡන්ද දායකයන් ලෙස අලුතින් එක්වන ලක්ෂ නවයක පමණ ප්‍රමාණය මුළුමනින්ම තරුණ ඡන්ද වන අතර මේ ලක්ෂ නවය රටේ අතීතය ගැන අවබෝධයක් හෝ සමාජය ගැන අත්දැකීම් හෝ නැති වර්තමානය ගැන සිතා පළමු වරට ඡන්දය භාවිතා කරන පිරිසකි. මේ පිරිස සාම්ප්‍රදායික දේශපාලනය ප්‍රතික්ෂේප කරන නව කෝණයකින් ලෝකය දකින පිරිසකි. අනික් අතට මෙවර සුළුජාතික ඡන්ද ප්‍රතිශතය සියයට 31 ක් දක්වා ඉහල නැඟ ඇති අතර සිංහල ඡන්ද ප්‍රතිශතය සියයට 69 කි. එම නිසා සුළු ජාතික ඡන්ද ප්‍රතිශතය මෙවර තීරණාත්මක සාධකයයි.

එම නිසා කිසියම් නව වැඩපිළිවෙලක් එනම් ප්‍රයෝගිකව ශ්‍රී ලාංකික මහපොළවේ ක්‍රියාත්මක කළ හැකි නව වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන අතරේ සිංහල, දෙමල, මුස්‌ලිම් ජාතීන් සියල්ලටම එක්ව ජීවත් විය හැකි ශ්‍රී ලංකාවක් නිර්මාණය කළ හැකි අපේක්ෂකයෙකුට මේ සියයට පනහේ සීමාව පසු කිරීම එතරම් අපහසු ද නොවේ. එම නිසා ජනාධිපතිවරණය ජයගැනීමට කල්පනා කරන සියලු දෙනා මේ සංඛ්‍යාලේඛන පදනම් කර ගෙන තම මැතිවරණ ව්‍යාපාරය දියත් කරන්නේ නම් ජයග්‍රහණය අපහසු ද නොවේ. ඒ සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා සේවාවන් සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලකට ලබා දිය හැකි ක්‍රමවේදයක් මෙන්ම බස් ගාස්තු, විදුලිය ගාස්තු හා ජල ගාස්තු සාධාරණ මිලකට ලබාදී අවම ජීවන තත්වයක් හෝ සාමාන්‍ය ජනතාවට සහතික කරදීම ප්‍රමාණවත්ය. එහෙත් වර්තමානයේ ජනාධිපතිවරණයට තරඟ කරන්නට අපේක්ෂා කරන බහුතරයක් මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින්නේ රටේ සුළුතරයක් වන ඉහළ වැටුප් ලබන වෘත්තීයවේදීන් සමග ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමට මිස රටේ බහුතර සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න විසඳීමට නොවේ. මීළඟ ජනාධිපතිවරණය ජයගන්නට නම් මේ රටේ බහුතරය හඳුනාගෙන එම ජනතාවගේ එදිනෙදා දැවෙන ප්‍රශ්න වලට ප්‍රයෝගික විසඳුම් ලබා දිය යුතුය.

රට ගොඩනගන්නට එක්වන්නැයි සියලු පාර්ශවවලට ජනපති රනිල්ගෙන් ආරාධනා

මේ අතර රට නැවත ගොඩනැගීමේ කාර්යය සඳහා සියලු දේශපාලනඥයන්ට එකතු වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ ආරාධනයක් කළේය. ඒ කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් පැවති “රීඩ් මාවතේ සියවස් සැමරුම” උත්සවය අමතමිනි.

බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින දේශපාලනික වෙනස්කම් එලෙසම පවත්වා ගනිමින්, නව රටක්, නව ආර්ථිකයක් සහ නව දේශපාලන ක්‍රමයක් ඇති කිරීම මඟින් පමණක් රට නැවත ගොඩනැඟිය හැකි බව ජනාධිපතිවරයා පැවසීය.

අයවැයට පෙර යලිත් කැබිනට් සංශෝධන

කැබිනට් මණ්ඩලය  අයවැයට පෙර යළිත් වතාවක් සංශෝධනය කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍ය ධුරය ඇතුළු අමාත්‍ය ධූර තුනක් ජනාධිපතිවරයා විසින් පසුගියදා වෙනස්  කරනු ලැබීය. එහෙත් ඊට පොහොට්ටුවෙන් එල්ලවූයේ බරපතල විරෝධයකි. පොහොට්ටු මහලේකම්වරයා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් කළේය. පොහොට්ටුවේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවා මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් පවා ලබාදුන් බව පැවසේ.

අමරවීර හා හම්බන්තොට දේශපාලනය

මහින්ද අමරවීරහට තවත් ඇමති ධුරයක් ලබාදීම සම්බන්ධයෙන් ද රාජපක්ෂවරුන්ගේ යම් විරෝධයක් මතුව ඇතැයි ඇතැම් පාර්ශව පවසති. හම්බන්තොට දේශපාලනය තුල රාජපක්ෂවරු හැර වෙනත් කිසිදු පාර්ශවයක් බලවත්වීම රාජපක්ෂවරු ඉවසන්නේ නැත. එහෙත් මහින්ද අමරවීර කුල පදනම මත හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් සියලු මැතිවරණ වලදී ජයගැනීමද කිසිවකුට වැළක්විය නොහැක. එම නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මහින්ද අමරවීරට නව ඇමති තනතුරු ලබාදීම සම්බන්ධයෙන් රාජපක්ෂවරු බලන්නේ සැකයෙනි. මේ අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාර්ශ්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගද නව සන්ධානයක් සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයිද පැවසේ.

එජාප – ශ්‍රීලනිප සන්ධානයක අගමැති ධුරය මෛත්‍රීට?

එහිදී නව සන්ධානයක් බිහිකිරීම සඳහා මීළඟ රජයක අගමැති ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන හට යෝජනා කර ඇතැයිද පැවසේ. මේ රාවයන් නිසා රාජපක්ෂවරු ජනාධිපති රනිල් සම්බන්ධයෙන් කිසියම් සැකයකින් පසුවන බවටද පැවසේ. කෙසේ වෙතත් මහින්ද හා රනිල් අතර දශක ගණනාවක් තිස්සේ ඇති මිතුදම එසේමෙසේ එකක් නොවේ. එක මන්ත්‍රී ධුරයක් හිමිව තිබු තම මිතුරා ජනාධිපති කල මහින්දට මේ ගැටළු රනිල් සමග විසඳා ගැනීමද අසීරු නැත. එහෙත් දේශපාලනයේ සදාකාලික හතුරන්  හෝ මිතුරන්ද නොමැත. රනිල්  වික්‍රමසිංහ හා මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන්ද මෙය පොදුය. 

කෙසේ වෙතත් පොහොට්ටුව හා රනිල් වික්‍රමසිංහ අතර ඇමති ධුර සම්බන්ධයෙන් මතුව එජාප ඇති ගැටලුකාරී තත්ත්වය සමනය කිරීම සඳහා රවී කරුණානායක ඇතුළු එජාප ජ්‍යෙෂ්ඨ නායකයන් කටයුතු කර තිබිණි. ඒ අනුව නැවත වරක් අයවැයට පෙර කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට යන බවට පැවසෙන්නේ මෙම පාර්ශව අතර ගැටළු සමනය කරන්නට ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ  මන්ත්‍රීවරුන් දස දෙනකුට අමාත්‍ය ධුර දෙන ලෙස එම පක්ෂයේ නායකයන් මීට පෙර අවස්ථා ගණනාවකදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලීම් කර තිබිණ. එහෙත් එම ඉල්ලීමට සාර්ථක ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්  ඒ සම්බන්ධයෙන් තවදුරටත් ඉල්ලීම්  නොකිරීමට එම පක්ෂය තීරණය කර තිබිණ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අයවැය යෝජනා නොවැම්බර් 13 වැනිදා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. විසර්ජන කෙටුම්පත තෙවැනි වර  කියවීම සඳහා ජන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 13 වැනිදා ය. ඇතැම් ඇමතිවරුන්ගේ අයවැය පරාජය කරන බවට ඇතැම් පොහොට්ටු මන්ත්‍රීවරු තර්ජනය කර තිබිණි. හැකිනම් අයවැය පරාජය කර පෙන්වන ලෙස නිමල් ලන්සා පසුගියදා අභියෝග කර තිබිණි.

කෙසේ වෙතත් අයවැය ජයග්‍රහණය කිරීම සඳහා මන්ත්‍රීවරුන්ගේ සහාය ගැනීම ඉලක්ක කර මෙම කැබිනට්  සංශෝධනය කෙරෙන බව  පැවසේ. අමාත්‍ය ධුරවල වෙනස්කම් සඳහා  පොදුජන පෙරමුණ දැනටමත් යෝජනා ඉදිරිපත් කර ඇති බවද පැවසේ.

හදිසි මහමැතිවරණයකට වැඩි ඉඩක්

කෙසේ වෙතත් මේ වන විට රටේ මතු වෙමින් පවතින දේශපාලන යථාර්තය අනුව ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණය පැවැත්වීමට වැඩි ඉඩකඩක් පවතී. ජනාධිපතිවරයා අයවැයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මාර්තු මාසයේ මහමැතිවරණයක් පවත්වනු ඇතැයි දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි රාවයක් පවතී. මැති ඇමතිවරුන් ජනාධිපතිවරණයකදී කර ඇරියත් මහමැතිවරණයක් පැවැත්වුවහොත් සියලුදෙනා පාර්ලිමේන්තුවට යන්නට තමතමන් වියදම්කර මැතිවරණ ව්‍යාපාරය කරගත යුතුය. වර්තමාන දේශපාලන වටපිටාව තුල කිසිදු පක්ෂයකට තනිවම 113 ක බහුතරයක් ලබා ගෙන තනි ආණ්ඩුවක් බිහිකර ගත නොහැක. එසේම එජාප මන්ත්‍රීවරුන් යම් පිරිසක් ද ඉදිරි මහමැතිවරණයක දී පත්වනු ඇත. එවිට ජාතික ආණ්ඩුවක් පිහිටුවාගෙන තමන් කැමති ඇමතිවරුන් පත් කරගෙන ඔවුන් සමඟ ඉදිරි ජනාධිපතිවරණයට මුහුණදීම රනිල්ට වඩා වාසිදායකය. එවිට තම ඇමති ධුර ආරක්ෂා කරගන්නට මේ ඇමතිවරුන්ට රනිල්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් වැඩකරන්නට සිදුවේ. එසේ නොමැතිව දැනට එජාපයේ ඉතිරිවී සිටින බහුතරයක් රට ඉදිරියේ රනිල්වත් පක්ෂයත් විහිලුවට ලක්වන හෑල්ලුවට ලක්වන ප්‍රකාශ සිදු කරනු විනා රනිල්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කිසිවක් සිදු කරන්නේ නැති බව රනිල්ට දැනටමත් තෙරුම්ගොස් ඇතිවාට සැකයක් නැත.

ලේකම් ධුර රැසක් සංශෝධනයට?

මේ අතර සමහර ඇමැතිවරුන්ගේ සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කාර්ය සාධනය ඉතා පහළ මට්ටමක පවතින බව රජයට පෙනී ගොස් ඇත. මේ අනුව අමාත්‍යංශ ලේකම්වරුන් කිහිපදෙනකුද ඉදිරි දිනවල වෙනස් කිරීමට නියමිත ය. ඇතැම් ලේකම්වරුන් ජනාධිපතිවරයාගේ හෝ රජයේ වැඩපිළිවෙලට කිසිදු සහයක් ලබා නොදෙන බවටද චෝදනා එල්ලවී තිබේ.

සජිත් බුද්ධික ගැන දැඩි තීරණයක ………

සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාට නීති විද්‍යාලයේ දෙවන වසරේ විභාගය අතරතුර විභාග වංචාවක යෙදුනු බවට චෝදනා ඉදිරිපත්ව තිබේ. මේ සම්බන්ධයෙන් මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් දියත් වූ අතර ඒ සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ දැඩි අවධානය යොමු විය. මාධ්‍ය ඔස්සේ මේ සඳහා ලබාදෙන සුවිශාල ප්‍රචාරය පසුපස සිටින්නේ කවුදැයි බොහෝ දෙනා සජිත්ගෙන් විමසා සිටියහ. ඒ සියලු දෙනාට සජිත් ගේ පිළිතුර වී තිබුනේ “අපේ මන්ත්‍රීවරයා කෙරූ දේ නිසානේ ඒ ප්‍රචාරය යන්නේ, ඒ හින්දා මේකේ මහා මොලකරු ඒ මන්ත්‍රීවරයා මයි, වැරදි කළා නම් දඬුවම් වින්දින්න ඕනෑ, අපි දේශපාලනඥයෝ හැටියට ආදර්ශමත් වෙන්න ඕනෑ,” යනුවෙනි.

මේ අතර නීති විද්‍යාලයේ දෙවන වසර විභාගයේ ඉදිරි ප්‍රශ්න පත්‍ර තුන අවසන් වූ පසු මේ සම්බන්ධයෙන් තමන් විශේෂ ප්‍රකාශයක්  සිදු කරන බව බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.

පසුගිය කාලයේ වැරදි කළ මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීම නිසා අපේ රටේ දේශපාලනඥයෝ කිසිඳු වැරදි වැඩක් කරන්නට බිය නොවුහ. එම තත්ත්වය සජිත් විසින් නිවැරදි කරන්නට යාම යහපත් තත්ත්වයකි.

මේ අතර බරපතල වැරදි සිදුකරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි කළහැකි නව නීති පද්ධතියක් ඇති කිරීම සඳහා මේ වන විට රජය ද කටයුතු කරමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන හා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විසින් විශේෂ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතය.

සමගි ජන පවුර රට පුරා

මේ අතර සමගි ජනබලවේගයේ සමගි ජන පවුර සංවිධාන ජාලය දිස්ත්‍රික් මට්ටමින් දිනපතා ක්‍රියාත්මක කෙරෙන්නේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහ තිස්ස අත්තනායකගේ සහභාගිත්වයෙනි. ඒ හරහා ගම නගරය හා රට වටා සංවිධාන කටයුතු ශක්තිමත් කරගන්නට සමගි ජනබලවේගය කටයුතු කරමින් සිටී. මෙතෙක් කිසිදු විපක්ෂ නායකයකු සිදු නොකළ සංවර්ධන කයුතු රැසක් රටපුරා සිදු කරන සජිත් දැන් කළ යුත්තේ එක් ස්ථානයක සිට ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් තම වැඩපිළිවෙලත් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙලත් සංවිධාන කිරීමය.

ජනාධිපතිවරණයට තව ඇත්තේ දින තුන්සිය ගණනකි. හදිසි මහමැතිවරණයක් පැවැත්වුවහොත් ඊට ද සුදානම් කළ යුතුය. මහජන සේවය සිදුකරන අතරේම නායකයාගේ වගකීම පක්ෂය නිසි ආකාරයට මෙහෙයවීමය.

මේ අතර සමගි ජනබලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක ලෙස පක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂය විසින් නම් කර තිබියදී තමන් ජනාධිපතිවරණයට තරග කරන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයන් සිදු කරන එම පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙසට එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් පක්ෂනායක සජිත් වෙත දැඩි බලපෑමක් එල්ලවී තිබේ.

එජාපය නව වෙනස්කම් රැසක් සමග 2024 ට සුදානමින් …………..

එක්සත් ජාතික පක්ෂය 2024 ජනවාරි පළමුවැනිදා සිට නව මුහුණුවරකින් හා නව වැඩ පිළිවෙලක් ඔස්සේ අනුමාන කළ හැක. ඉදිරියට ගෙන යාමට එක්සත් ජාතික පක්ෂයේ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාප නායකයන් පිරිස මේ වන විට තීරණය කර තිබේ. ඒ අනුව නව වැඩපිළිවෙලට සමගාමීව පක්ෂයේ ප්‍රධාන තනතුරු සඳහා සුදුසු පුද්ගලයන් පත් කිරීමට නියමිතය.

පක්ෂයේ මහා ලේකම් තනතුර සඳහා සක්‍රිය දේශපාලනයේ නොයෙදෙන පක්ෂයේ ප්‍රවීණයකු පත් කිරීමට ඇතැම් පිරිස් යෝජනා කර ඇතත් එම තනතුර පක්ෂයේ හදවත වැනි නිසා එය පාක්ෂිකයන්ට නිරන්තරයෙන් සම්බන්ධ කර ගත හැකි මනා සංවිධාන ශක්තියක් ඇති ක්‍රියාශීලී පුද්ගලයකුට ලබා දිය යුතු බවට ද වැඩි පිරිසක් යෝජනා කර ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් වැඩි පිරිසක් මේ වන විට යෝජනා කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවේ ද සහය ඇතිව පොදු අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යුතු බවට ය. එසේම මහ මැතිවරණයකදී පුළුල් සන්ධානයක් ලෙස තරඟ කිරීමට ද යෝජනාවී තිබේ.

ලන්සා හා නලින් ප්‍රනාන්දු කණ්ඩායමට ඇති අභියෝගය             

ලංසා හා නලින් ප්‍රනාන්දු කණ්ඩායම රාජපපක්ෂවරුන්ගෙන් මිදී වෙනම කණ්ඩායමක් ලෙස ඉදිරි මැතිවරණ වල දී  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දීමට කටයුතු කරමින් සිටිති. එහෙත් පොහොට්ට්ටුවේ සහාය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හිමි වන්නේ නම් ලන්සා හා නලීන් ප්‍රනාන්දු කණ්ඩායමට එම කණ්ඩායම සමග කටයුතු කරන්නට නොහැකි වේ. ලන්සා හා නලීන් ප්‍රනාන්දු දෙදෙනාම නියෝජනය කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයයි. මේ දෙදෙනාම ප්‍රධාන කොට නියෝජනය කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, ජා ඇල,  මීගමුව, මිනුවන්ගොඩ, කටාන, දිවුලපිටිය ආදී ප්‍රදේශ වල කතෝලික ඡන්ද පදනමයි. පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ තත්වයන් හා එල්ලවී ඇති  චෝදනා මෙන්ම කාදිනල් තුමන් ගේ ස්ථාවරය හමුවේ මෙවර පොහොට්ටුවේ දේශපාලකයන්හට කතෝලික ඡන්ද හිමිවීම සැක  සහිතය. එම නිසා ලන්සා – නලීන්  ප්‍රනාන්දු කණ්ඩායමට පොහොට්ටුව හා රාජපක්ෂලා නොමැති කණ්ඩායමකට සහය දෙන්නට සිදුවීම වැළක්විය නොහැක.

නිදහස ජනතා සභාවේ බලතල ඩලස්ට ………

ඉදිරි මැතිවරණවලට විපක්ෂයේ පොදු දේශපාලන සන්ධානයක් පිහිටුවා තරග කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ සමග සාකච්ඡා කිරීම ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නිදහස ජනතා සභාව තීරණය කර ඇත.

නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සමග වෙන වෙනම සාකච්ඡා කිරීම කණ්ඩායමේ සමගියට බාධාවක් බැවින්, එම කටයුතු ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට තීරණය කර ඇත.

ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට විපක්ෂයේ පොදු සංධානයකින් තරඟ කිරීම කෙරෙහි එම කණ්ඩායමේ අවධානය යොමුවී ඇති අතර, ඒ සඳහා වන මූලික පියවරක් ලෙස මෙම සාකච්ඡා ආරම්භ කරනු ඇත.

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා එම සාකච්ඡාවලට සම්බන්ධ වි එහි ප්‍රගතිය පිළිබඳව මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කිරීම කල යුතු බවට එම කණ්ඩායම එකඟතාවයකට පැමිණ තිබේ.

SLT  අලිරාජාටද – අදානිටද? මැක්සිස් මැලේෂියා මොබිටෙල් අයිති කර ගනීද? ලයිකා මොබයිල්ට මිලියන 3460 ක දඩයක්

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පෞද්ගලීකරණයට මේ වන විට සියල්ල සුදානම්ය. මිල කළ නොහැකි වත්කම් රාශියක් සහ ජාතික වටිනාකමක් ඇති ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනය ලබන මාර්තු වන විට විකුණා දමන්නට නියමිතය. ලයිකා මොබයිල් හිමිකරු බාස්කරන් අලිරාජා සහ ඉන්දියානු ව්‍යාපාරික ගෞතම් අදානි අතර ටෙලිකොම් ආයතනය මිලට ගැනීම  සම්බන්ධයෙන් ඇත්තේ විශාල තරඟයකි. මේ වන විට ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් වලින් සියයට 51 ක් රජයට අයත් වන අතර සියයට 45 ක් මලයාසියානු මැක්සීස් සමාගමටත් ඉතිරි සියයට හතර මහජනතාවටත් වශයෙනි. ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය මැක්සීස් අධ්‍යක්ෂවරුන් 4 ක් සහ  ටෙලිකොම් අධ්‍යක්ෂවරුන් 5 ක් සමග නවයකි. මොබිටෙල් හා ටෙලිකොම් සමාගම් වලින් චෝදනා ගණනාවක් හේතුවෙන් ඉවත් කල දෙදෙනෙකු නැවත වරක් මේ වන විට අධ්‍යක්ෂවරුන් ලෙස එක්ව සිටින අතර මේ සම්බන්ධයෙන් ටෙලිකොම් වෘත්තීය සමිති දැඩි විරෝධය පල කරති.

මොබිටෙල් සමාගම ටෙලිකොම් සමාගමට සියයට සියයක්ම හිමිකාරිත්වය ඇති අනුබද්ධිත සමාගමකි. මෙවර ටෙලිකොම් හිමිකාරිත්වය හිමිකරගන්නා සමාගමට මැක්සීස් සමාගමට අයත් සියට 45 ක කොටස් ප්‍රමාණය ලබාදී ඒ වෙනුවෙන් මොබිටෙල් සමාගමේ අයිතිය මුළුමනින්ම හිමිකර ගැනීම සඳහා මැක්සීස් සමගම කටයුතු කරමින් සිටින බවට ටෙලිකොම් වෘත්තීය සමිති සැක පල කරති. මේ වෙනුවෙන් අවශ්‍ය පදනම් නිර්මාණය කරන්නේ ඉහතකී දෙදෙනා බව ටෙලිකොම් වෘත්තීය සමිති පවසති. මේ අතර බාස්කරන් අලිරාජාගේ ප්‍රංශ ලයිකා මොබයිල් සමාගමට එරට අධිකරණය මගින් යුරෝ මිලියන දහයක එනම් රුපියල් මිලියන 3460 ක දැවැන්ත දඩයක් නියම කර ඇත්තේ මුදල් විශුද්ධිකරණය හා වැට් බදු වංචා යන බරපතල චෝදනා යටතේය. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අයි නාලිකාව ලබාදී ඇත්තේ ද මේ සමාගමට අනුබද්ධ ආයතනයකටය.

රමේෂ් පතිරණට අභියෝග රැසක්

නව සෞඛ්‍ය ඇමතිවරයා ලෙස රමේෂ් පතිරණ වැඩ භාර ගැනීම පසුගිය දා සිදු විය. ඒ අවස්ථාවට රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට පමණක් ආරාධනා කර තිබුණු බවට චෝදනාවක් සෙසු සෞඛ්‍ය වෘත්තීය සමිති වලින් එල්ල විය. සෞඛ්‍ය සේවාව නැවත විධිමත් කරන්නට නම් නව සෞඛ්‍ය ඇමතිවරයා සියලු වෘත්තීය සමිති සමග එක්ව වැඩ කරන්නට කටයුතු කළ යුතුව තිබේ. සෞඛ්‍ය ඇමතිවරයා වෛද්‍යවරයකු වූ පමණින් ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පමණක් නොව සියලු සෞඛ්‍ය සේවවේම ඇමතිවරයා ලෙස පිළිගැනීමක් ඔහුට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ තිබිය යුතුය. ඔහු වෛද්‍ය සංගම් වල අභිමතය පරිදි කටයුතු කරන්නට ගිය හොත් සිදුවන්නේ සෙසු සියලු සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති වැඩ වර්ජන කරා යොමු වීම ය.

මෙරට සිටි කෘතහස්ත දේශපාලනඥයකු වන රිචඩ් පතිරණගේ පුතු වන රමේෂ් හට දේශපාලනය හා පරිපාලනය සම්බන්ධයෙන් අත්දැකීම් කුඩා කලසිටම ඇතුවාට සක නැත. එම නිසා මේ සියලු තත්වයන් පාලනය කර ගෙන ජනතාවට යහපත් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ඇති කිරීම ඔහුගේ අරමුණ විය යුතුය. මේ සියල්ල ජනතාවගේ බදු මුදලින් නඩත්තුවන ආයතන වේ. වෛද්‍යවරුන්ගේ වැටුප් හා දීමනා වැඩි කරනවාට වඩා නව සෞඛ්‍ය ඇමතිවරයා ජනතාවට යහපත් සෞඛ්‍ය සේවාවක් ලබා දීමටත් හිඟයකින් තොරව ජනතාවට ඖෂධ ලබා දීමටත් ප්‍රමුඛතාව ලබා දිය යුතුය.

රට පුරා හොර වෛද්‍යවරුන් හතලිස් දහසක් – කළුබෝවිල හොර වෙදාට නඩු අටක් …..

රට පුරා හොර වෛද්‍යවරුන් හතලිස් දහසක් පමණ සිටින බවට වාර්තා වී තිබේ. බටහිර වෛද්‍යවරුන් හෝ දේශීය වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි නොවූ සහ ඒ සම්බන්ධ නිසි සුදුසුකම් සපුරා නැති මෙම හොර වෛද්‍යවරු හතලිස් දහස රට පුරා ජනතාවට විවිධ ප්‍රතිකාර කරමින් ජනතාව විවිධාකාර වලින් ගසා කමින් සිටිති.

කළුබෝවිල ප්‍රදේශයේ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටින හොර චීන කටු වෙදෙකු සිටී. සාමාන්‍ය පෙළ විභාගය පවා අසමත් මොහුට කිසිදු වෛද්‍ය අධ්‍යාපන සහතිකයක් වත් නොමැති මොහුට එරෙහිව අධිකරණ කීපයක වංචා දුෂණ සම්බන්ධයෙන් නඩු අටකට වැඩි ප්‍රමාණයක් තිබේ. මොහුට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද පවතී. වෛද්‍ය සේවාවන්ට අමතරව විවිධ රූරජින තරඟාවලි හා විවිධ ව්‍යපාර ඔස්සේ ජනතාව රවටමින් විවිධ අපචාර ක්‍රියාවන් හි මොහු යෙදෙන්නේ ව්‍යාජ වෛද්‍ය නාමයට මුවා වෙමිනි. එම නිසා නව සෞඛ්‍ය ඇමතිවරයා මෙවැනි හොර වෙදුන් ගෙන් වෛද්‍ය නාමය ඉවත් කිරීමට කටයුතු කල යුතුය. රට පුරා හොර වෙදුන් 25,000 ක් පමණ දිවයින පුරා සිටින බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවා සනාථ කර තිබේ.

රමේෂ්ට රාජිතගෙනුත් උදව් ……..

මේ  අතර සෞඛ්‍ය සේවාව යලි නඟා සිටුවීම සඳහා දායකවන ලෙස නව සෞඛ්‍ය ඇමතිවරයා පසුගිය යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ගෙන්ද ඉල්ලීමක් කර තිබිණි. එහි දී රාජිත පවසා ඇත්තේ රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමට තමාට දේශපාලන භේද නොමැති බවත් හැකි සෑම උපකාරයක්ම ලබා දෙන බවත්ය. දැනට සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම්කරුවන්ට රුපියල් මිලියන තිස් දහසක හිඟ මුදල් ගෙවන්නට තිබේ. පසුගිය කාලය පුරා හිඟ මුදල් ගෙවා ඇත්තේ තෝරාගත් සමාගම් කීපයකට පමණි. 2019 වසර වන තෙක් සෞඛ්‍ය මිලදී ගැනීම් සඳහා රජයට වසරකට වැයවුයේ රුපියල් මිලියන හතලිස් පන්දහසක් පමණි. එහෙත් ඉන්පසුව වසරකට රුපියල් මිලියන දෙසියෙකොලොස් දහසක් වැයවී තිබේ. මේ තරම් අමතර වැයක්  වැයවීම බරපතල කාරණයකි. එසේම එතරම් මුදලක් වැය කලද අද රෝහල් වල අත්‍යවශ්‍ය ඖෂධ සියල්ල හිඟය.

රටේ පාස්පෝට් ඇත්තේ අසුදහසක් ලු – පාස්පෝට් ලොක්කෙකුට දුෂණ චෝදනා

මේ වන විට රටේ බහුතරයක් උත්සහ දරමින් සිටින්නේ කෙසේ හෝ විදෙස් රටකට යන්නටය. මේ වන විට ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පාස්පෝට් ලබා ගන්නට විශාල පිරිසක් ඉල්ලුම්කර තිබේ. එහෙත් මේ වන විට දෙපාර්තමේන්තුව සතුව ඇත්තේ නව පාස්පෝට් අසුදහසක පමණ ප්‍රමාණයක් බව එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මේ හේතුව නිසා සාමාන්‍ය සේවා යටතේ පාස්පෝට් නිකුත් කිරීම සීමා කර ඇතැයිද පැවසේ. මීට හේතුව නිසි කලට පාස්පෝට් ඇනවුම් නොකිරීම ය. මේ වන විට විශාල මුදලක් වැය කර ගුවන් මගින් පාස්පෝට් ගෙන්වීමේ උත්සාහයක්ද පවතී. මේ සඳහා වැය වන්නේ මහජන මුදල්ය. මේ අතරේ එම දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශයේ ඉහළ නිලධාරියකුට එරෙහිව දූෂණ චෝදනා රැසක් එල්ල වී තිබේ. එක්තරා සමාගමකට විශේෂතා දක්වන මොහු රටපුරා ඉඩම් සහ නිවාස ගණනාවක් මිලදී ගෙන ඇතැයි ද පැවසේ. මොහු මීට පෙර සේවය කළ දෙපාර්තමේන්තුවේදී ද අදාළ සමාගම සමග සමීපව කටයුතු කර තිබිණි.

මේ සම්බන්ධයෙන් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය ගෙන් LNW කළ විමසීමේ දී පාස්පෝට් අසුදහසකට වැඩි ප්‍රමාණයක් දෙපාර්තමේන්තුව සතුව ඇති නමුත් එම ප්‍රමාණය ප්‍රකාශ කල නොහැකි බව සඳහන් කළේය. “එසේ පැවසුවහොත් විශාල තදබදයක් ඇති වේවි, අප දැනටමත් ඇනවුම් කරලා තියෙන්නේ, අවශ්‍ය වුවහොත් එයාර් ෆ්රේට් කරනවා, දූෂණ චෝදනා එල්ලවන අදාළ නිලධාරියා ව මම කලක සිට දන්නවා, ඔහු දූෂිතයෙක් නොවන බවට මට විශ්වාසයි. මෙතන මම හදල තියෙන විදිහට කාටවත් දුෂණ කරන්න බැහැ. ලබන ජුනි මාසයේ ගුවන් තොටුපලේ E – GATE විවෘත කරනවා, E – PASSPORT  ලබන වසරේ එනවා, අපි විශාල වෙනසක් මේ වන විට සිදු කරමින් යනවා” යයි ආගමන විගමන පාලක ජනරාල්වරයා පැවසීය.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan