සටහන : සශිකලා මධුෂාණී
හෙළයේ මහා ගාන්ධර්වයා දැයෙන් සමුගෙන දස වසරයි… අමරදේවයන්ගේ අමරණීය සංගීත උරුමය යළි සිහිපත් කරමු!
කාලය ගෙවී යයි. පරම්පරා වෙනස් වෙයි. එහෙත් ඇතැම් මිනිසුන් තමන් ජීවත් වූ යුගය ඉක්මවා ගොස් ඉතිහාසයේ සදාතනික සලකුණු තබා යති. ඔවුන්ගේ ජීවිතය නිමාවට පත්වුව ද ඔවුන් නිර්මාණය කළ සෞන්දර්යයත්, හඬින් ජීවය ලැබූ ගීතත්, සමාජයට දායාද කළ සංස්කෘතික උරුමයත් කිසිදා මිය නොයයි. ශ්‍රී ලාංකේය සංගීත ඉතිහාසයේ එවැනි අසමසම නාමයක් වන්නේ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ය.
සිංහල සංගීතයට නව අනන්‍යතාවක් නිර්මාණය කරමින්, දේශීය ජන සංගීතය හා භාරතීය රාගධාරී සංගීතය අපූර්ව ලෙස මුසු කළ ඒ මහා සංගීතවේදියා දැයෙන් සමුගෙන අදට වසර දහයක් සපිරේ. 2016 නොවැම්බර් 03 වැනිදා ඔහු මෙලොවින් සමුගත්තත්, දශකයක් ගතවී ඇතත් ඔහුගේ හඬින් ගැයුණු ගීත අදටත් ශ්‍රාවක හදවත් තුළ ජීවමානය.
කුඩා වයලීනයකින් ඇරඹුණු සංගීත ගමන
1927 දෙසැම්බර් 05 වැනිදා මොරටුවේ කොරළවැල්ල ප්‍රදේශයේදී වනක්කුවත්ත මිටිවඩුගේ දොන් ඇල්බට් පෙරේරා නමින් උපත ලැබූ අමරදේවයන්ගේ සංගීත ගමන ආරම්භ වූයේ කුඩා අවධියේදීමය.
වයලීන නිෂ්පාදනය හා අලුත්වැඩියා කිරීමේ නිරත වූ ඔහුගේ පියා සංගීතයට දැක්වූ ඇල්ම දරුවා තුළ ද සංගීතය කෙරෙහි විශේෂ ආකර්ෂණයක් ඇති කිරීමට හේතු විය. කුඩා කල සිටම ගායනයට සහ වාදනයට දැක්වූ දක්ෂතාව නිසා පාසල් අධ්‍යාපනය ලබන කාලයේදීම විවිධ ගායනා හා වයලීන් වාදන තරගවලින් ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට ඔහු සමත් විය. 1945 වසරේ ජනකලා මණ්ඩලය පැවැත්වූ ගායනා හා වයලීන් වාදන තරගයකින් රන් පදක්කම දිනා ගැනීම ඔහුගේ මුල්කාලීන සංගීත ජීවිතයේ සුවිශේෂී ජයග්‍රහණයකි.
එම දක්ෂතා හේතුවෙන් ලංකා ගුවන්විදුලි සේවය සමඟ සම්බන්ධ වීමටත්, ප්‍රවීණ සංගීතඥ මොහොමඩ් ගවුස් මාස්ටර්ගේ ඇසුර ලැබීමටත් ඔහුට අවස්ථාව උදාවිය. ‘අශෝකමාලා’ චිත්‍රපටයේ සංගීත කටයුතු සඳහා දායක වූ ඔහු එහි වාදක මණ්ඩලයේ ප්‍රධාන වයලීන් වාදකයකු ලෙස කටයුතු කළේය.
භාරතීය සංගීතයත් දේශීය ජන සංගීතයත් එක් කළ අපූර්ව නිර්මාණකරුවා
අමරදේවයන්ගේ සංගීත ජීවිතයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් වූයේ ඉන්දියාවේ ලක්නව්හි භාත්ඛණ්ඩේ සංගීත අධ්‍යයනායතනයෙන් උසස් සංගීත අධ්‍යාපනය ලැබීමයි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මැදිහත්වීම සහ ලංකාදීප පුවත්පතේ ශිෂ්‍යත්ව ආධාරය ඒ සඳහා මඟ විවර කළේය.
ඉන්දියානු රාගධාරී සංගීතය පිළිබඳ ගැඹුරු දැනුමක් ලබා මෙරටට පැමිණි ඔහු දේශීය ජන සංගීතයේ අනන්‍යතාව සොයා යමින් නව සංගීත සම්ප්රදායක් ගොඩනැඟීමට කටයුතු කරනු ලැබූ අතර එම කාලයේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් ඔහුට ‘අමරදේව’ යන නාමය ලබාදීම ද ඔහුගේ ජීවිතයේ සුවිශේෂී සිදුවීමක් විය.
අනතුරුව චන්ද්‍රරත්න මානවසිංහ, මහගම සේකර වැනි ප්‍රවීණ සාහිත්‍යවේදීන් හා කලාකරුවන්ගේ ඇසුර ලබමින් ඔහුගේ නිර්මාණශීලී ගමන තවදුරටත් පුළුල් විය. විශේෂයෙන් මහගම සේකරයන් සමඟ එක්ව කළ නිර්මාණ සිංහල ගීත සාහිත්‍යයට අමරණීය දායාද රැසක් එක් කළේය.
අමරදේවයන්ගේ සුවිශේෂීත්වය වූයේ භාරතීය සංගීතය අනුකරණය කිරීම හෝ දේශීය ජන සංගීතයට පමණක් සීමා වීම නොවේ. ඒ දෙකෙහිම සෞන්දර්යාත්මක ගුණාංග හඳුනාගෙන සිංහල භාෂාවේ රිද්මය, පදමාලාවේ අර්ථය සහ ගීතයේ හැඟීම්වලට ගැළපෙන පරිදි ඒවා මුසු කිරීමයි. එම නිසාම ඔහුගේ නිර්මාණ සිංහල සරල ගීතයට නව මඟක් විවර කළේය. එය හුදෙක් සංගීත ශෛලියක වෙනසක් නොව, ශ්‍රී ලාංකේය සංගීතයේ අනන්‍යතාව ගොඩනැඟීමේ වැදගත් පියවරක් ද විය.
පරම්පරා ගණනාවක හදවත් දිනාගත් අමරණීය ගීත
අමරදේවයන්ගේ ගීතවල විශේෂත්වය වූයේ සරල වචන හා මධුර ස්වර තුළින් ගැඹුරු මානුෂීය හැඟීම් ප්‍රකාශ කිරීමට ඔහු සතු වූ හැකියාවයි.
ආදරය, විරහව, මව්බිම කෙරෙහි ඇති බැඳීම, සොබාදහමේ සුන්දරත්වය, ජීවිතයේ අනිත්‍යතාව සහ මනුෂ්‍යත්වය වැනි විවිධ හැඟීම් ඔහුගේ ගීත තුළින් අපූර්ව ලෙස නිරූපණය විය.
‘රත්නදීප ජන්ම භූමි’, ‘පෙර දිනයක මා පෙම් කළ යුවතිය’, ‘ආරාධනා’, ‘සසර වසන තුරු’ වැනි ගීත අදටත් ශ්‍රාවකයන්ගේ මතකයේ රැඳී තිබෙන්නේ එම නිර්මාණවල ඇති සදාතනික සෞන්දර්යය නිසාය.
‘මහ බෝ වන්නම’, ‘ජගත් මෝහිණී’ වැනි සංගීතමය වශයෙන් සංකීර්ණ නිර්මාණවල සිට ජනප්‍රිය රසවින්දනයට සමීප ගීත දක්වා විවිධ ශෛලීන්හි නිර්මාණ කිරීමට ඔහු සතු වූ හැකියාව අසමසමය.
ඔහුගේ ගායනයේ තිබූ සංයමය, වචන උච්චාරණයේ පැහැදිලි බව, ස්වර පාලනය සහ හැඟීම් ප්‍රකාශ කිරීමේ අපූර්ව හැකියාව නිසාම අමරදේවයන්ගේ ගීතයක් ශ්‍රවණය කිරීම හුදෙක් ගීතයකට සවන් දීමක් නොව සෞන්දර්යාත්මක අත්දැකීමක් බවට පත්විය.
දේශීය සංගීතයට ජාත්‍යන්තර ගෞරවයක් එක් කළ මහා සංගීතවේදියා
අමරදේවයන්ගේ සංගීත මෙහෙවර ශ්‍රී ලංකාවට පමණක් සීමා වූයේ නැත. ඔහුගේ ප්‍රතිභාව ජාත්‍යන්තරය දක්වා විහිදී ගියේය.
ඒ සඳහා සුවිශේෂී උදාහරණයක් වන්නේ මාලදිවයිනේ ජාතික ගීය වන ‘ගවුමී සලාම්’ සඳහා සංගීතය නිර්මාණය කිරීමයි. 1972 වසරේදී මාලදිවයිනේ ජාතික ගීයට නව තනුවක් නිර්මාණය කිරීමේ වගකීම ඔහුට පැවරුණු අතර එය ශ්‍රී ලාංකේය සංගීතවේදියකු ජාත්‍යන්තර වශයෙන් ලැබූ සුවිශේෂී ඇගයීමක් ලෙස සැලකිය හැකිය.
ඔහුගේ නිර්මාණාත්මක දායකත්වය ඇගයීමට ලක් කරමින් 2001 වසරේදී පිලිපීනයේ කීර්තිමත් රමෝන් මැග්සේසේ සම්මානය පිරිනමනු ලැබීය. 2002 වසරේදී ඉන්දියාවේ පද්ම ශ්‍රී සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබීය. මීට අමතරව 1986 වසරේදී කලාකීර්ති ජනාධිපති සම්මානයෙන් ද, 1998 වසරේදී දේශමාන්‍ය ගෞරව නාමයෙන් ද පිදුම් ලැබූ ඔහුට ප්‍රංශ රජයෙන් ද 2003 වසරේදී කලා හා සාහිත්‍ය ක්ෂේත්රයට අදාළ ගෞරව සම්මානයක් පිරිනමන ලදී.
2017 වසරේදී ඔහුට මරණින් පසු ශ්‍රී ලංකාභිමාන්‍ය ජාතික ගෞරව නාමය ද පිරිනැමුණි.
මිනිසකු නික්ම ගියද සංගීත උරුමය සදාකාලිකය
කලාකරුවකුගේ සැබෑ වටිනාකම මැනිය හැක්කේ ඔහු ලැබූ සම්මාන හෝ ජනප්‍රියත්වය මත පමණක් නොවේ. ඔහු සමාජයට ඉතිරි කර ගිය නිර්මාණ අනාගත පරම්පරාවන්ගේ ජීවිත කොතරම් දුරට පෝෂණය කරන්නේද යන්න මතය.
ඒ අර්ථයෙන් අමරදේවයන් යනු එක් යුගයකට පමණක් සීමා වූ සංගීතවේදියකු නොවේ. ඔහුගේ ගීත අදත් වැඩිහිටියන්ගේ අතීත මතක අවදි කරයි. තරුණ පරපුරට සංගීතයේ ගැඹුර හඳුන්වා දෙයි. අනාගත පරපුරට දේශීය සංගීතයේ වටිනාකම කියා දෙයි.
2016 නොවැම්බර් 03 වැනිදා ඔහුගේ නික්ම යාමත් සමඟ ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයට පිරිමැසිය නොහැකි හිඩැසක් එක්විය. එහෙත් ඔහුගේ නිර්මාණාත්මක ජීවිතය එදිනින් අවසන් වූයේ නැත.
අදත් ගුවන්විදුලියෙන් ඔහුගේ ගීතයක් ඇසෙන විට, රූපවාහිනියෙන් ඔහුගේ ගායනයක් දකින විට හෝ අලුත් පරපුරේ ගායකයකු ඔහුගේ ගීතයක් ගායනා කරන විට ඒ මහා සංගීතවේදියා යළිත් අප අතර ජීවමාන වෙයි.
මිනිසකුගේ ශරීරය කුඩා විය හැකිය. එහෙත් ඔහුගේ සිතුවිලි, නිර්මාණ සහ සමාජයට කළ මෙහෙවර සුවිසල් විය හැකි බව අමරදේවයන් සිය ජීවිතයෙන්ම පෙන්වා දී ඇත. එබැවින් අමරදේවයන්ගේ දසවැනි ගුණානුස්මරණයේදී අප සිහිපත් කළ යුත්තේ මියගිය සංගීතවේදියකු පමණක් නොවේ. සිංහල සංගීතයට නව ජීවයක් දුන්, දේශීය සංස්කෘතියට ජාත්‍යන්තර ගෞරවයක් එක් කළ, පරම්පරා ගණනාවක හදවත් සංගීතයෙන් ස්පර්ශ කළ අසහාය මිනිසෙකි.

