කථානායකගේ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට නොගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද (03) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්න මතු කළ අතර එම වරප්‍රසාද ප්‍රශ්න මතු කිරීමට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් හට ගැනුණි.

එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු රැගෙන සභාගර්භය මැදට පැමිණ විරෝධතාවක නිරත විය.

මෙම අවස්ථාවේ සභාව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ තමන්ට හිමි වරප්‍රසාද ප්‍රශ්නය මතු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.

“ස්ථාවර නියෝග අංක 29(1) සහ 29(2) යටතේ වරප්‍රසාද ප්‍රශ්නයක් මම යොමු කළා. එය මම පෞද්ගලිකවම කථානායකතුමාගේ කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරීතුමාට භාර දුන්නා. ඒ වගේම මම එය ඔබතුමාටත් භාර දුන්නා. විශේෂයෙන්ම මම ඉල්ලීමක් කරනවා, කරුණාකරලා මගේ වරප්‍රසාද ප්‍රශ්නය මතු කිරීමට අවස්ථාව ලබා දෙන්න කියලා. විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ට කතා කිරීමට ඇති අයිතිය, යෝජනා ඉදිරිපත් කිරීමට ඇති අයිතිය සහ ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව තුළ කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් තමයි මම මේ වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කළේ.ඒ නිසා කරුණාකරලා විපක්ෂ නායකවරයා හැටියට මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මට මේ වරප්‍රසාද ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී මේ මොහොතේ මතු කිරීමට අවස්ථාව ලබා දෙන්න කියලා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මගේ වරප්‍රසාද ප්‍රශ්නය යොමු කරන්න අපි වෙලාවක් ඉල්ලුවාම, කථානායකවරයාගේ කාර්යාලයට උදෑසන 9.15ට පැමිණෙන ලෙස දැනුම් දුන්නා. ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදාය. එතකොට අපි වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කරන දිනයේ ඒ සඳහා කථානායකතුමාගෙන් වෙලාවක් වෙන් කරගන්නවා. ඒ අනුව උදෑසන 9.15ට අපි එය භාර දීමට ගියා. නමුත් ඔබතුමාවත්, කථානායකතුමාවත් කාර්යාලයේ සිටියේ නැහැ. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, කථානායකතුමා එනවාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. මට වෙලාවක් ලබා දී තිබුණේ උදෑසන 9.15ට වරප්‍රසාද ප්‍රශ්නය භාර දීමටයි. එතකොට අපි කොහොමද දන්නේ මේ පුටුවට ඔබතුමා පැමිණෙන බව? ඔබතුමාගේ කාර්යාලයට එන්න ඕනෑ කියලා අපි කොහොමද දන්නේ? ඒ නිසා කරුණාකරලා මේ අවස්ථාවේ මට වරප්‍රසාද ප්‍රශ්නය මතු කිරීමට අවස්ථාව ලබා දෙන්න.”

මෙහිදී සභා ගර්භය තුළ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විමසුවේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට කථානායකවරයා එකඟ නම් එය නැවැත්වීමේ අවශ්‍යතාව ඇත්තේ කාටද යන්නයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වීසා නීති කඩකරලා : මරදානේදී විදේශිකයන් 21 දෙනෙකු අත්අඩංගුවට

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : මරදාන, ටෙක්නිකල් හන්දිය...

ඩේසි ආච්චි නඩුවෙන් නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණ චෝදනාවකට ලක්ව සිටි යෝෂිත...

ශ්‍රී ලංකා ගුවන් සේවය Raid Amazones පිළිගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් සේවය...

නව ලෝකයට ඉඩ තබා මහත්මාගතියෙන් සමුගත් Maxwell..

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: ක්‍රිකට් ලෝකය කැළඹූ ග්ලෙන්...