සටහන – පුලී
නොවැම්බර් 07, LNW (කොළඹ): දකුණු ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත්ගේ රංගනයෙන් හැඩවුණු දැවැන්ත සිනමා නිර්මාණයක් වන ‘Jailer 2’ චිත්‍රපටය තිරගත වීමෙන් දින 24ක් ගතවී ඇතත් තවමත් බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා අතර සිය ස්ථානය රැකගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටිනවා. ඉන්දීය සිනමා ලෝලීන් අතර දැඩි කතාබහකට ලක්ව ඇති මෙම චිත්‍රපටය මේ වනවිට ඉන්දියාව තුළ පමණක් ඉන්දීය රුපියල් කෝටි 470ක ආදායම් සීමාවට ඉතා ආසන්න වී තිබීම විශේෂත්වයක්.
වාර්තාවලට අනුව, තිරගත වීමේ 24 වැනි දිනය වන විට ‘Jailer 2’ චිත්‍රපටය ඉන්දීය රුපියල් ලක්ෂ 40ක ශුද්ධ ආදායමක් (Net Collection) උපයාගෙන තිබෙනවා. එම ආදායම වාර්තා වී ඇත්තේ දර්ශන වාර 235ක් හරහායි. ඒ අනුව චිත්‍රපටයේ සමස්ත ඉන්දීය ශුද්ධ ආදායම රුපියල් කෝටි 468.65ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි සමස්ත ඉන්දීය දළ ආදායම (Gross Collection) රුපියල් කෝටි 548.12ක් ලෙස සටහන් වනවා. කෙසේ වෙතත්, 24 වැනි දිනයට අදාළ ආදායම් සංඛ්‍යාලේඛන තවදුරටත් යාවත්කාලීන වෙමින් පවතින බවත් සඳහන්.
භාෂා හතරකින් ආදායම් වාර්තා අතර පෙරමුණේ!
මෙම චිත්‍රපටයේ ආදායම් බෙදීයාම දෙස බැලීමේදී දෙමළ භාෂාවෙන් තිරගත වූ පිටපත ඉදිරියෙන්ම සිටිනවා. ඒ අනුව දෙමළ භාෂාවෙන් රුපියල් කෝටි 324.58ක ආදායමක් උපයාගෙන ඇති අතර, තෙළිඟු භාෂාවෙන් කෝටි 85.74ක් සහ හින්දි භාෂාවෙන් කෝටි 50.20ක් උපයාගෙන තිබෙනවා. කන්නඩ භාෂා පිටපතෙන් වාර්තා වී ඇති ආදායම රුපියල් කෝටි 8.13ක්.
මෙම සංඛ්‍යාලේඛන අනුව චිත්‍රපටයේ ප්‍රධාන ආදායම් දායකත්වය ලැබී ඇත්තේ දෙමළ ප්රේක්ෂකයන්ගෙන් වුවත්, අනෙකුත් භාෂාවලින්ද සැලකිය යුතු ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගැනීමට ‘Jailer 2’ සමත් වී තිබෙනවා.
නැවතත් ටයිගර් මුතුවේල් පාණ්ඩියන්ගේ මෙහෙයුමෙන්!
චිත්‍රපටයේ කතාවේදී රජිනිකාන්ත් නැවතත් විශ්‍රාමික බන්ධනාගාර නිලධාරියකු වන ටයිගර් මුතුවේල් පාණ්ඩියන්ගේ චරිතයට පණ පොවනවා. සාමකාමී ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරන ඔහුගේ ජීවිතය ජාත්‍යන්තර පිළිම ජාවාරම් කල්ලියක් නිසා නැවතත් අර්බුදයකට ඇද වැටෙනවා.
තම පවුල ආරක්ෂා කරගැනීමත්, මෙම ජාවාරම් ජාලය විනාශ කිරීමත් අරමුණු කරගනිමින් ඔහු රියැදුරකු ලෙස වෙස්වලාගෙන රහසිගත මෙහෙයුමකට එක්වනවා. ක්‍රියාදාම, අපරාධ, පවුලේ බැඳීම් සහ ත්‍රාසජනක සිදුවීම් එකට මුසු කරමින් දිගහැරෙන මෙම කතාව චිත්‍රපටයේ ප්‍රධාන ආකර්ෂණය බවට පත්ව තිබෙනවා.
සුපිරි තරු රැසක ගෙන් හැඩවුණු දැවැන්ත නළු නිළි එකතුවක්!
රජිනිකාන්ත්ට අමතරව එස්. ජේ. සූර්යා, සුරාජ් වෙන්ජාරමුඩු, මිතුන් චක්‍රබෝර්ති, රම්‍යා ක්‍රිෂ්ණන්, විද්‍යා බාලන්, යෝගි බාබු, මිර්නා, රිත්වික්, ජටින් සර්නා සහ අන්නා රාජන් ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වනවා.
එමෙන්ම මෝහන්ලාල්, ශිවා රාජ්කුමාර්, හ්රිතික් රෝෂන්, ජැකී ශ්රොෆ් සහ විජේ සේතුපති වැනි සුපිරි තරු කිහිපදෙනකුගේ විශේෂ ආරාධිත රංගන දායකත්වයද චිත්‍රපටයට තවත් ආකර්ෂණයක් එක්කර තිබෙනවා.
සංගීතයෙන් අනිරුද්, නිෂ්පාදනයෙන් සන් පික්චර්ස්!
කලානිධි මාරන් විසින් Sun Pictures ආයතනය යටතේ නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේ ජනප්‍රිය සංගීත අධ්යක්ෂ අනිිර රවිචන්දර් විසිනුයි. කැමරාකරණයෙන් විජේ කාර්තික් කන්නන් දායක වී තිබෙනවා.
2026 ඔක්තෝබර් 15 වැනිදා දෙමළ, තෙළිඟු, කන්නඩ සහ හින්දි යන භාෂාවලින් තිරගත කිරීම ආරම්භ කළ ‘Jailer 2’ චිත්‍රපටය මේ වනවිටත් බොක්ස් ඔෆිස් වාර්තා අභිබවා යෑම පිළිබඳ අවධානය දිනාගෙන සිටිනවා.

