සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 09: ඊජිප්තුවේ කයිරෝ අගනුවරට දකුණින් පිහිටි ගීසා ප්‍රදේශයේදී මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයන් 125 දෙනෙකු තුවාල ලබා තිබේ.
ගීසා සිට ෆයූම් ප්‍රදේශය දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක්, කයිරෝ සිට අස්වාන් දක්වා ධාවනය වූ තවත් දුම්රියක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ගැටීමත් සමඟ දුම්රිය මැදිරි කිහිපයක් පීලි පැනීමට ලක්ව ඇත.
අනතුරින් තුවාල ලැබූවන් රෝහල් වෙත රැගෙන යාම සඳහා ගිලන් රථ 72ක් යොදවා තිබූ අතර, තුවාලකරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා අනතුරට වගකිව යුතු පුද්ගලයන් හඳුනාගෙන නීතිමය පියවර ගන්නා ලෙස ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි බලධාරීන්ට උපදෙස් දී ඇති අතර අනතුරට හේතුව සොයා ගැනීම සඳහා එරට මහජන නඩු පවරන දෙපාර්තමේන්තුව ද විමර්ශන ආරම්භ කර තිබේ.

