මීමුරේ ගුහාවෙන් සොයාගත් දැරිය සහ දරුවා ආරක්ෂා කිරීමට රජයෙන් පියවර!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW:

මාස පහකට ආසන්න කාලයක් අතුරුදන්ව සිටි වයස අවුරුදු 15ක දැරියක් සහ ඇයගේ මාස දෙකක් වයැදි කුඩා දරුවා නකල්ස් කඳුකරයේ ලගා වීමට අපහසු ගුහාවක ජීවත්ව සිටියදී පොලිස් භාරයට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, මව සහ දරුවා මේ වන විට රෝහල්ගත කර වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් පවතී.

ළමා අපයෝජන සහ ආරක්ෂාව පිළිබඳව දැඩි කණගාටුව පළ කර ඇති අමාත්‍යවරිය, පවුල් තුළ විශ්වාසය හා සන්නිවේදනය වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළාය.

ළමයින්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම සඳහා රාජ්‍ය ආයතන වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතු බව ඇය ප්‍රකාශ කළාය.

නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිඳාගේ සිදුවීම පිළිබඳව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත.

එම ප්‍රකාශය පහතින්

නකල්ස් ප්‍රදේශයෙන් වාර්තා වූ වයස අවුරුදු 15ක පමණ දියණියක් අනාරක්ෂිත දරු ප්‍රසූතියකින් අනතුරුව බිළිඳෙකු සමඟ සොයාගැනීමේ සිදුවීම මවක් ලෙස මටද අතිශය කම්පනකාරී පුවතකි.

කෙසේ වුවද, මෙම සිදුවීමට මුහුණ දුන් එම බාලවයස්කාර දියණියගේ සහ අලුත උපන් බිළිඳාගේ ජීවිත මේ වන විට ආරක්ෂිතව තිබීම සහනයට කරුණකි.

එම දරුවන් දෙදෙනාගේම ශාරීරික හා මානසික සෞඛ්‍යය මෙන්ම ඔවුන්ගේ අනාගත යහපැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් රජයේ පාර්ශවයෙන් සිදුකළ යුතු සියලුම මැදිහත්වීම් කඩිනමින් සහ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.

මෙම සිදුවීම හුදෙකළා සිදුවීමක් ⁣ලෙස අප නොසළකන අතර වත්මනේ පවතින ආර්ථික, සමාජයීය, දේශපාලනික ඇතුළු විවිධ සංකීර්ණතා හේතුවෙන් අප දරුවන් විවිධ මට්ටම් වලින් සහ විවිධ ආකාරයන්ගෙන් අනාරක්ෂිත වන බව පැහැදිලි අතර දෙමව්පියන් සහ දරුවන් අතර පැවතිය යුතු අන්‍යොන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය ක්‍රමයෙන් ගිලිහෙමින් යාම මෙවන් සිදුවීම්වලට දැඩි ලෙස සාධක වන බවද නිරීක්ෂණය වේ.

මේ හේතුවෙන් දරුවන්ට වඩාත් ආරක්ෂිත විය යුතු තම සමීපතම පරිසරය තුළ ඔවුන් අනාරක්ෂිත භාවයට පත්වීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇත.

කවර තත්ත්වයක් යටතේ වුවද “තම දෙමව්පියන් ළඟ තමා සුරක්ෂිතය” යන නොසැලෙන විශ්වාසය දරුවන් තුළ ගොඩනැගීමට දෙමව්පියන් ලෙස අප සැම උත්සාහ කළ යුතු බව මගේ හැඟීමයි.

පවුල තුළ එවැනි සුරක්ෂිත පරිසරයක් සහ විවෘත සංවාදයක් ඇති කිරීම තුළින් මෙවැනි අනතුරුදායක සහ කම්පනකාරී සිදුවීම් ඇතිවීම බොහෝ දුරට අවම කර ගත හැකි බව මාගේ විශ්වාසයයි.

එමෙන්ම, මෙවැනි තත්ත්වයන්හිදී අවදානමට හෝ අනාරක්ෂිතභාවයට පත්වූවන් සමඟ සෘජුව සහ වක්‍රව කටයුතු කරන, මැදිහත් වන සියලුම පාර්ශවයන් සහ රාජ්‍ය ආයතනද තව තවත් ජනතාවට සමීප, පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ විශ්වාසවන්ත විය යුතුය යන පණිවිඩයද මෙම සිදුවීම තුළ ගැබ්ව ඇති බව අප පිළිගනිමු.

මෙවැනි සමාජයීය ගැටලු සහ අනාරක්ෂිත තත්ත්වයන් දීර්ඝකාලීනව නිරීක්ෂණය කරමින්, අනාරක්ෂිත භාවයට පත්වන දරුවන් වෙනුවෙන් විධිමත් විසඳුමක් ලෙස එළඹෙන 2027 වසරේ සිට නව “විකල්ප රැකවරණ ප්‍රතිපත්තියක්” ක්‍රියාත්මක කිරීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය මේ වන විටත් අයවැය ප්‍රතිපාදන වෙන්කර ගැනීම ඇතුළු සියලු කටයුතු වල නියැලෙමින් සිටින්නෙමු.

දරුවන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් තහවුරු කිරීම සමස්ත සමාජයේම වගකීමක් වන බැවින්, රටේ දරුවන් පිළිබඳව වඩාත් සංවේදීව හා අවධානයෙන් කටයුතු කරන ලෙස සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමි”

තවද, මෙම ගැටලුවට දිගුකාලීන විසඳුමක් ලෙස 2027 වසරේදී නව විකල්ප සත්කාර ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි. සමාජයේ සෑම පුරවැසියෙක්ම ළමා ආරක්ෂණය වෙනුවෙන් සාමූහිකව එකතු විය යුතු බවට බලධාරීන් දැඩිව පෙන්වා දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් බෙලරුස් රජයෙන් සහනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා...

තඹ රැහැන් පද්ධතිය නවීකරණයේ දෝෂයක් හේතුවෙන් ඇමෙරිකාවේ ගුවන් ගමන් අත්හිටුවූ බවට අනාවරණයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 15 : ඇමෙරිකාව පුරා...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි !

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ. ශිවාජිලිංගම්...