සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: මෙක්සිකෝවේ ප්‍රසිද්ධ ග්වාඩලහාරා මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියේ නිර්මාතෘවරයා වූ මිගෙල් ඇන්ජල් ෆෙලික්ස් ගැලාර්ඩෝ රෝහලකදී මියගොස් තිබේ.
මියයන විට 80 හැවිරිදි වියේ පසුවූ ඔහු, දශක ගණනාවක් බන්ධනාගාරගතව සිටි අතර, මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම් ඉතිහාසයේ ප්‍රධාන චරිතයක් ලෙස සැලකේ.
1989 වසරේදී අත්අඩංගුවට පත්වූ ෆෙලික්ස් ගැලාර්ඩෝ, 1985 වසරේදී එක්සත් ජනපද මත්ද්‍රව්‍ය පාලන ඒජන්සියේ (DEA) නිලධාරියෙකු වූ එන්රික් ‘කිකි’ කැමරීනා සහ මෙක්සිකානු ගුවන් නියමුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු කරනු ලැබීය.
එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට වසර 37ක සිරදඬුවමක් නියම වූ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අනෙකුත් චෝදනා සම්බන්ධයෙන්ද දීර්ඝ සිරදඬුවම් නියම කර තිබුණි. මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයේ ආරම්භක යුගයට සම්බන්ධ ප්‍රබල චරිතයක් වූ ඔහුගේ මරණය එරට අපරාධ ඉතිහාසයේ වැදගත් සිදුවීමක් ලෙස සැලකේ.

